පෙර රජ දවස රට සහලින් ස්වයංපෝෂිත කිරීමට දායක වූ වියළි කළාපයේ මහ වැව් මෙන්ම කුඩා වැව් පද්ධතීන්ද, ජල හැරවුම් අමුණු ව්‍යාපෘති ද බොහෝමයක් ඒ වන විට අබලන්ව පැවතිනි. 1900 වසරේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමෙන් අනතුරුව මෙසේ අබලන්ව තිබු බොහෝ වාරිමාර්ග යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ජනපද යෝජනා ක්‍රම බිහිවී, රජරට තෙත් බිම් යලි පෝෂණය වී ගොවිජන ජීවිත වලට ක්‍රමයෙන් යහපත් තත්ත්වයක් උදා විය. මෙයට සමගාමීව ආරම්භ වූ විවිධ දෙපාර්තමේන්තු හා ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය ආදී වාරි සංවර්ධන යෝජනා හරහා ලද දායකත්වයෙන් බොහෝ වාරික්‍රම සංවර්ධන මාවතට යොමු වුව ද, මහවැලි ගංඟා ද්‍රෝණිය මඟින් ලැබෙන සුවිසල් ජල කඳ නිසිලෙස කෘෂිවාරි සංවර්ධනයට යොදා ගැනීමටත්, ජල විභව ප්‍රභවයන් ආශ්‍රිතව ජල විදුලිබල නිශ්පාදනයට යොදා ගැනීමටත් සැලසුම් ඇරඹුනේ එක්දහස් නවසිය හැටේ දශකයේය. ඒ අනුව සැලසුම් කෙරුන “මහවැලි මහා සැලැස්ම” ප්‍රකාරව 1970 හා 1977 පැවති රජයන් විසින් විවිධ වාරි හා විදුලිබල ජනන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කර, ඒවායේ ප්‍රතිලාභ ගොවි ප්‍රජාවට මෙන්ම මුළු මහත් ජාතියට ද අත්කර දුනි. එහෙත් මෙකී සැලැස්මේ අවසන් අදියරට යෝජිතව තිබූ “මොරගහකන්ද ජලාශය ඉදිකිරීමේ හා උතුරු මැද පළාත් ඇළ ඉදිකර එකී පළාත් වලට ජලය සැපයීමේ සැලැස්ම’’ ඉටු කිරීමට අවකාශ නොලැබිනි.
නමුත් අවුරුදු 30 ක් පමණ කලක් පැවති දීර්ඝ යුද්ධයේ නිමාවත් සමඟම, “ මහවැලි මහා සැලැස්මේ’’ අවසන් අදියර ක්‍රියාත්මක කර, එමඟින් උතුරුමැද හා වයඹ පළාත් වල පානීය ජල හා වාරිජල හිඟයෙන් පීඩා විඳින ජනතාවට සෙත සැලසීමට රජයේ අවධානය යොමුවිය. ඊට සමගාමිව මහවැලි ගංඟා ජල හැරවුම් වලින් වාරිපහසුකම් සලසා තිබූ දැනට අබලන්ව පවත්නා වාරි ක්‍රම ප්‍රතිසංස්කරණය කිරිමටත් ප්‍රමුඛතාවය ලැබිනි.
මේ හේතුවෙන්, මහවැලි මහා සැලැස්මේ අවසන් අදියර ක්‍රියාත්මක කිරීමට යෝජිතවු “ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ’ ට, උතුරු මැද පළාතට ජලය සැපයෙන ඉහළ ඇලහැර ව්‍යාපෘතියත්, වයඹ පළාතට ජලය සැපයෙන වයඹ පළාත් ඇල ව්‍යාපෘතියත් සමඟම, මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතියද ඇතුලත් කෙරිනි.
“මිණිපේ ප්‍රදේශයට මෙන්ම මිණිපේ ජල හැරවුමට” (මිනිපේ වම් ඇළට) සුවිශේෂ ස්ථානයක් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ හිමිව ඇත. ඉතිහාස කරුණු අධ්‍යයනයේදී ලග්ගල කඳු වැටිය පාමුළ සිට නැගෙනහිර මායිමේ දිවෙන මහවැලි ගඟ දක්වා වූ මිටියාවතේ , කඳු වැටියට සමීපව පිහිටි මිණිපේ ප‍්‍රදේශය මැණික් ලැබෙන ප‍්‍රදේශයක් ලෙස අතීතයේ සිට ප‍්‍රකටය. අතීතයේදී මිණිපේ ඇළ ශ‍්‍රී පරාක‍්‍රමබාහු රජුගේ රජ සමයේදීද පැවැතිව තිබී, පසුව ක‍්‍රි.ව.459 දී දාස්කෙලිය රජු විසින් නිසිලෙස කරවන ලදැයි සැලකේ. එමෙන්ම ජාතික මෙහෙවරක් ලෙස සලකා, මහවැලි ගඟ ජල කඳ හැරවීමට මිණිපේ අමුණ සහ ඇළ සංවර්ධනය කිරීම ක‍්‍රි.ව.571- 604 සමයේ 1 වන අග්බෝ රජු විසින් විශිෂ්ඨ උත්සාහයක් දරණ ලද බවද ඉතිහාසයේ සනිටුහන්ව ඇත.
වරින් වර කාලානුරූපිව සිදු කෙරෙන වැඩි දියුණු කිරීම් සමඟ මිණිපේ අමුණ හා ඇළ මාර්ගය භාවිතයට ගැනුන අතර, මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යපෘතිය නිසි ලෙස සැලසුම් කෙරුණේ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේය.
මෙම ව්‍යපෘතියට මීටර් 280 ක් පමණ දිගැති අමුණේ වේල්ල අවශ්‍ය ප‍්‍රමාණයට (මීටර් 3.5දක්වා* එසවීම සහ කි.මී.74ක දිගින් යුතු මිණිපේ වම් ඉවුරු ප‍්‍රධාන ඇළ පුනරුත්ථාපනය කිරීමද ඇතුළත් වන අතර එයට දළ වශයෙන් රුපියල් මිලියන දෙදහස් හයසීයක් පමණ වැය වන බවට ඇස්තෙමින්තු කර ඇත. ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ක‍්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය 2016 වසරේ අග භාගයේ ආරම්භකර වසර හතරකින් නිම කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියේ යෝජිත සංවර්ධන කාර්යයන් පහත දැක්වෙන අයුරින් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
දැනට මිණිපේ අමුණේ ඇති වේල්ලෙහි උස වැඩිකර, රාත‍්‍රී කාලයේ වැඩිම විදුලි ඉල්ලූම සපුරාලීමට බලාගාරය ක‍්‍රියාත්මක කිරීමේදී රන්ටැඹේ ජල විදුලි බලාගාරයෙන් පිටවන ජලය වැඩි ප‍්‍රමාණයක් එහි රඳවා තබා,එම ජලය දිවා කාලයේ දී මිණිපේ වම් ඉවුරු ඇළට ක‍්‍රමවත්ව ලබා දීම.
මිණිපේ අමුණේ ඇති වම් ඉවුරු සොරොව්ව සහ එයට යාබදව ඇති මඩ සොරොව් ගේට්ටු නවීකරණය කර එ්වා විදුලි බලයෙන් ක‍්‍රියා කරවීමට සැලැස්වීම.
උස වැඩි කර ඉදිකරනු ලබන අමුණෙහි මැද, මඩ සොරොව්වක් සහ දකුණු ඉවුරු ඇළට හදිසි පිටවාන් නිර්මිතයක් අලූතින් ඉදිකිරීම.
පියවර හතරකින් යුතු, කි.මී.74ක් දිගින් යුතු වම් ඉවුරු ඇළ මුළුමනින්ම ප‍්‍රතිසංස්කරණය කිරීම
මෙම ව්‍යාපෘතියෙන් පහත දැක්වෙන ප‍්‍රතිලාභ අපේක්ෂා කෙරේ.
*මිණිපේ අමුණේ වේල්ලෙහි උස වැඩිකර ඉදිකිරීම මඟින් අතිරේක ජලය ගබඩා කිරීමට හැකිවීමෙන් ප‍්‍රමාණවත් ලෙස ජලය නොලැබුණු වම් ඉවුරු ඇළේ දැනට ජල හිඟය පවතින අදියර 3 සහ 4 හි ප‍්‍රදේශ සහ ජලය ලබා ගැනීමට අපහසු සෙසු කොටස් සඳහා ප‍්‍රධාන ඇළෙන් ජලය පහසුවෙන් ලබා දීමට හැකියාව ලැබීම.
* එ් අනුව මිණිපේ වාරි ව්‍යාපාරයෙහි දැනට හඳුනාගෙන ඇති වගා බිම් හෙක්ටයාර හත්දහස් පන්සීයක් දෙකන්නයේම වගා කර අස්වැන්න වැඩි කර ගැනීමට හැකියාව ලැබීම.
* මිණිපේ ව්‍යාපාරය යටතේ පදිංච් ගොවි පවුල් පහළොස්දහසකට වඩා වැඩි සංඛ්‍යාවකට ප‍්‍රතිලාභ හිමි වීම.
* ඇළ මාර්ගයෙහි ජල හිඟතාවයේ අවදානම් තත්ත්වයන් පහව ගොස් අවට ප‍්‍රජාවන් සඳහා පාරිසරික සහ සමාජීය වශයෙන් වඩා සුරක්ෂිත වටපිටාවක් නිර්මාණය වීම.
* වස්ගමුව ජාතික වනෝද්‍යානයේ පිහිටි ”කඳුරුපිටිය” කුඩා වැවට ජලය ලබා දී , වියළි කාලයේ වන සතුන් මුහුණ දෙන පානීය ජල හිඟයට පිළියම් සැලසීම.
මිණිපේ ව්‍යාපෘතිය මඟින් , වම් ඉවුරේ ප‍්‍රධාන ඇළ දෙපස තෝරා ගත් ප‍්‍රදේශවල රුක් රෝපණ වැඩසටහනක් ක‍්‍රියාත්මක කර පාරිසරික තත්ත්වයන් තුලනය තව දුරටත් වර්ධනය කරනු ලැබේ.
මෙම ව්‍යාපෘතිය අදියර හතරකින් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ප‍්‍රදේශයේ ජනතාවගේ දැනට පවත්නා සමාජීය හා සෞඛ්‍ය තත්ත්වයන් වැඩි දියුණු වීම මෙන්ම කෘෂි නිෂ්පාදනය වැඩි වීමෙන් ආරථික දියුණුවක් ඇති වීමටද අවස්ථාව සැලසේ.එමෙන්ම ව්‍යාපෘති කටයුතු හේතුවෙන් ග‍්‍රාමීය මාර්ග වැඩි දියුණු වීම,රැකියා අවස්ථා සුලබ වීම ආදී අතිරේක ප‍්‍රතිලාභද ජනතාවට හිමි වේ.මේ අයුරින් සංවර්ධනය කරනු ලබන ව්‍යාපෘති නිසි ලෙස නඩත්තුකර විනාශ නොවී පවත්වාගෙන යාම
ප‍්‍රතිලාභී ප‍්‍රජාවගේ මෙන්ම ජාතියේද අවශ්‍යතාවයකි.
AP