අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය 26 වන සංවත්සරය සමරයි

    මැයි 27, 2016

    ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය 26 වන සංවත්සරය සමරමින් නව මාවතකට පය තැබීම පසුගියදා සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ ජාතික පුස්තකාලයක් පිහිටුවා ක්‍රමානුකූලව පුස්තකාල සේවාවක් හා තොරතුරු සේවා පද්ධතියක් ආරම්භ කිරීම වෙනුවෙන් 1970 අංක 17 දරන පනත මඟින් ප්‍රලේඛන සේවා මණ්ඩලය ස්ථාපිත කෙරිණි. ඒ අනුව වර්ෂ 1970 සිට 1990 වර්ෂය දක්වා කාලය තුළ පුස්තකාල සේවා මණ්ඩලය විසින් සිදු කළ මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීම තුළ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය 1990 අප්‍රේල් 27 දින විවෘත කෙරිණි. මේ අනුව දැනුවත් සමාජයක් බිහිකිරීම උදෙසා ජාතියේ බුද්ධිමය උරුමය සුරැකීම, ජාතික පුස්තකාල හා විඥාපන සේවා පද්ධතිය සංවර්ධනය, පුස්තකාල සේවා කාර්යක්ෂමතාව පිණිස තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය භාවිතයට දිරිදීම, ග්‍රන්ථ විඥාපන පහසුකම් සැපයීම සහ ග්‍රන්ථ ප්‍රකාශනය සඳහා අනුග්‍රහ දැක්වීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ ජාතික පුස්තකාලය ක්‍රියාත්මක වෙමින් පවතී.

    ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය සතුව මේ වන විට ග්‍රන්ථ ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් පවතින අතර මීට අමතරව ප්‍රවීණ ලේඛකයන්ගේ පෞද්ගලික එකතු ද වෙන් වෙන් වශයෙන් පවත්වා ගෙන යමින් පවතී. එසේම ජාතික පුස්තකාලය සතු තවත් වැදගත්කමක් වන්නේ 1976 සිට මේ දක්වා පළ වූ සියලු ම විකල්ප හා ජාතික පුවත්පත්වල එකතුවක් පවත්වාගෙන යාමයි. ජාතික පුස්තකාලයේ එකතුව ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ පළ වන සියලු ම ප්‍රකාශන, ශ්‍රී ලාංකික කතුවරුන්ගේ සියලු ම ප්‍රකාශන හා ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රකාශයට පත්වන සියලු ම ප්‍රකාශන ඇතුළත් ව අංග සම්පූර්ණ ශ්‍රී ලංකා එකතුවක් ගොඩනැගීමේ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වෙයි.

    "තොරතුරු හා නව තාක්ෂණයෙන් පුස්තකාල බලගන්වමු" තේමාව යටතේ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ 26 වන සංවත්සරය නිමිත්තෙන් පැවති සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහ හා අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. සුනිල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල පරිශ්‍රයේ දී පැවැත්විණි.26 pustakala samaruma 1

    මෙහිදී අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපනයට කරන වියදම අනාගත ආයෝජනයක් බවත් අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් වියදම් කිරීමේදී සැලැස්මක් අනුව කටයුතු කරන බවත් පැවසීය.

    ජාත්‍යන්තර ක්‍රමවේදයන් අනුව ගුරුවරුන් පුහුණු කිරීම සිදු කරනවා. අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළ යුතුයි. කොළඹට ඇවිත් සුපිරි පාසල් සංකල්පය ඇති කිරීම නොව ළඟම පාසලයි අපේ හොඳ ම පාසල, එම සංකල්පය බිහිකිරීම අපේ අරමුණයි. හැම විෂයකට ම අඩු ගුරුවරුන් බඳවා ගැනීම ඉතා ඉක්මනින් සිදු කරනවා. දේශපාලනය ඈත් කර, විභාග තියා අධ්‍යාපන පරිපාලන සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීම ඉදිරි දිනවල සිදු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අධ්‍යාපනය, අනාගත සංවර්ධනය සඳහා අවශ්‍ය වන අතර ඒ සඳහා තරුණ පරපුර දැනුමින් සන්නද්ධ කළ යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සඳහා විශාල කාර්යභාරයක් සිදු කරනවා. භෞතික සම්පතට වඩා මානව සම්පත ගොඩනැගිය යුතුයි. ඒ බව මේ රජය හොඳින් තේරුම් ගෙන ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ගංවතුර නිසා මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත විශාල මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව ද සඳහන් කළේය. ගංවතුරට හසුවූ දරුවන්ට නොමිලේ අච්චු පොත්, අභ්‍යාස පොත් හා නිල ඇඳුම් ලබා දෙනවා. කලාප අධ්‍යාපන කාර්යාල හරහා එම කාර්ය සිදු කරනු ඇත. කෑගල්ලේ සිදු වූ නාය යෑම නිසා පාසල් ඒමට නොහැකි ව සිටින දරුවන්ට කැමති ඇඳුමකින් සැරසී පාසලට පැමිණියාට ගැටලුවක් නොමැති බවට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණ්‍යක් ගෙන තියෙනවා. නැතිවුණු සහතික වෙනුවෙන් ග්‍රාමසේවා නිලධාරියා හරහා දැනුවත් වීම් සිදු කර නැවත ලබා දීම සිදු කරන ලෙස ට විභාග කොමසාරිස්වරයා දැනුවත් කර තිබෙනවා. එම දරුවන්ගේ පාඩම්වලට අදාළ ව නැති වුණු සටහන් වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සහයෙන් ෆොටෝ කොපි ලබා දීමට කටයුතු කරනවා. කෙටි කාලයක් තුළ අපේ අරමුණුවලට ළඟා වීමට හැකි වී ඇත්තේ අලුතින් සිතා කැප වී වැඩ කිරීමෙන් බවත් එවිට ඉදිරියට ගමන් කිරීමට ඉතා පහසු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. සුනිල් මහතා සමාරම්භක උත්සවය අමතමින් ප්‍රකාශ කර සිටියේ, ඉදිරියේ දී නව තාක්ෂණය හා නවීන ශිල්පීය ක්‍රමෝපායන් භාවිත කරමින් ජාතික පුස්තකාලය තව තවත් පාඨක සමාජය වෙත සමීප කරවීමට ක්‍රියාකරන බවයි. එසේම ජාතික පුස්තකාලය හුදෙක් පර්යේෂකයන්ට හා අධ්‍යයන කාර්යයන් සඳහා පමණක් නොව සාමාන්‍ය ජනතාවට සිය දැනුම හා ප්‍රඥාව වැඩිදියුණු කර ගැනීම සඳහා පොදු පුස්තකාලයක් ලෙස භාවිත කළ හැකි බවයි.

    මෙම ඉදිරි දැක්මෙහි ක්‍රියාත්මක මෙහෙවරට ඉඩහසර ලබා දෙමින් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය නව තාක්ෂණය හා සම්බන්ධ වෙමින් නූතන සමාජයට කියවීම හුරුකිරීම හා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ජාතික වගකීමක් ඉටුකරලීම උදෙසා ජාතික ඩිජිටල් පුස්තකාලය විවෘත කිරීම හා Kiyawamu.lk වැඩසටහන ප්‍රගතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මුල් පියවර ද සිදු කරනු ලැබීය.

    26 pustakala samaruma 4එසේම නූතන සමාජය තුළින් වියැකී යන මුඛ පරම්පරාගත ව පැවත ආ ජන ගී ඇතුළත් සංයුක්ත තැටියක් (CD) එළිදැක්වීම ද අධ්‍යාපන අමාත්‍යතුමා සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා හා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    මීට අමතරව 26 වන ජාතික පුස්තකාල සැමරුම වෙනුවෙන් විශේෂ කාර්යයන් ලෙස මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාගේ ආලේඛ්‍ය සිතුවම නිරාවරණය කිරීම ද සිදු විය.

    මධ්‍යම ප‍ළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ "හොඳම පාසල් ගෘහ පුස්තකාලය " පවත්වාගැනීම වෙනුවෙන් සම්මානලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ භාග්‍යා සචින්තනී දියණිය ජාතික කියවීම් මාසය වෙනුවෙන් පසුගිය වසරේ (2015) දී ජාතික පුස්තකාලය මඟින් ඇගයීමට ලක් කෙරිණි. එහි දිගුවක් ලෙස අද දින ඇගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජීවිත කාලය පුරා ශිෂ්‍යත්වයක් ප්‍රදානය කිරීම Fashion Bug ආයතනයේ "සමාජ සත්කාරක ව්‍යාපෘතිය" මඟින් සිදු කෙරිණි.

    ප්‍රකාශනාධාර ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ලේඛකයන් 15දෙනෙක් වෙත ලක්ෂ 5කට අධික මුදල් පරිත්‍යාග පිරිනැමීම ද සිදු කිරීම, තෝරා ගත් පාසල් 12ක් වෙනුවෙන් සංඛ්‍යාත්මකව පොත් කට්ටල බෙදාදීම ද සිදු ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

    දින තුනක් පුරා පැවැත්වෙන මෙම උත්සවය ලබන 30 දින ද පැවැත්වීමට නියමිතය. එසේම විද්වතුන්ගේ දේශනවලින් හා පාඨක සමාජ දැනුවත් කිරීමේ වැඩසටහන්වලින් මෙන්ම ආයතනයේ සියලු ම අංශවලින් සිදු කරනු ලබන විවිධ සේවා හා කාර්යභාරයන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමකින් ද සංවත්සර වැඩසටහන් මාලාව සමන්විත වේ. විශ්වවිද්‍යාල හා විශේෂ පුස්තකාල වෘත්තිකයන් සඳහා සිදු කරනු ලබන "තොරතුරු ප්‍රචාරණය උදෙසා සංඛ්‍යාංකකරණය භාවිතයට ගැනීම" පිළිබඳ සම්මන්ත්‍රණය පසුගියදා පැවති අතර ලබන 30 දින වයඹ හා බස්නාහිර පළාත්වල මහජන පුස්තකාලයාධිපතීන් වෙනුවෙන් සිදුකරනු ලබන "පුස්තකාල ස්වයංක්‍රීයකරණය සඳහා විවෘත මෘදුකාංග භාවිතය" පිළිබඳ සම්මන්ත්‍රණ පැවැත්වෙනු ඇත.

    මෙම අවස්ථාවට මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, ගොඩගේ ප්‍රකාශන සමාගමේ අධිපති සිරිසුමන ගොඩගේ, Fashion Bug සාමාන්‍යාධිකාරී ආචාර්ය ෆරාස්, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය සරෝජා වෙත්තසිංහ ඇතුළු මහත්ම මහත්මීහු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පුස්තකාලයාධිපතිවරුන්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    සජන්ති බෝපිටිය
    ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya