සෞඛ්‍යයෙන් තොර අධ්‍යාපනයකින් පලක් නැත. නිසි සෞඛ්‍ය තුළ නිසි අධ්‍යාපනයට මං සැලසේ. සරලවම කිවහොත් ලෙඩුන්ට නිසි ලෙස ඉගෙනිය නොහැක. ඉගෙන ගත්තද ලෙඩුන්ට යම් කාර්යයක සාර්ථකව නිරත විය නොහැක. ශ්‍රී ලංකාවේ අපි මෙය තදින්ම හිතට නොගැනීම තුල නිධන්ගත රෝග ළමා කාලයේ සිටම පුද්ගලයා තුළ වැඩෙන්නට පටන් ගෙන තිබේ.
වර්තමාන රජය විශේෂයෙන්ම ජනාධිපතිතුමා ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව දැඩි ප්‍රතිපත්තියක සිටී. පෝෂණය නැංවීමට පියවර ගැනීම ඉන් එකකි. දේශීය ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල පෝෂණ ක්‍රියාවලිය හා බද්ධ වේ. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල අනෙක් කතිකාවතයි. මේ සියල්ල සාර්ථකව නිම වුවහොත් පෝෂණයද, සෞඛ්‍යයද, අධ්‍යාපනයද, ආදායම ද යන සියල්ලෙන්ම පිරිපුන් වීමට ඇති ඉඩ විවරවන බව අවිවාදිතය. දේශපාලන කෝණයකින් නොව ස්වාධීනව බැලූ විට ජනාධිපතිවරයා ගන්නා මෙම උත්සාහය ජනතාවට ළංවීමට දරණ උත්සාහයක් නොව කාලීන අර්බුදයන් මෙන්ම කෙමෙන් වර්ධනය වන අර්බුද මර්දනයට ගත් පියවරක් බව කාටත් වැටහේ. ප්‍රතිපත්ති ගරුක තීරණ ගෙන එම තීරණ ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක කිරීමේදී රජය හා ජනතාව අතර සිටින නිලධාරී ධූරාවලිය විනිවිදව එම ප්‍රතිපත්ති රකිමින් ක්‍රියාත්මක වීම ඉතා වැදගත්වේ. ඔවුන් ඉතා යහපත් ජනමත නායකයින් බවට පත්ව රජය හා ජනතාව අතර නිසි සම්බන්ධීකරණයක් ඇතිකළ හොත් රජය ගන්නා සෑම පියවරක්ම ජනතාභාලාභී වේ. නැතහොත් අතරමැදියන් අතර මුදල් බෙදන අසාර්ථක පියවර බවට පත්වීම වැළැක්විය නොහැකියි. විශේෂයෙන්ම ගමක පවුලේ සාමාජිකයින් වෙතටම ගොස් සිය රාජකාරිය කළ හැකි මට්ටමේ ප්‍රාදේශීය ,ග්‍රාමීය නිලධාරීන් හතකට අටකට වැඩි සංඛ්‍යාවක් මේ වන විට එක් වසමක කටයුතු කරයි.
කෘෂි නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක්ම මේ අතර සිටී. මේ සෑම කෙනෙකුටම බැඳුණු රාජකාරී රැසකි. මෙම නිලධාරීන්ගේ ක්‍රියාත්මක වීම පවතින්නේ අදක ඊයේක සිට නොවේ. එහෙත් ඔවුන්ට පැවරී ඇති සෑම ක්ෂේත්‍රයකම දිනෙන් දින අර්බුද මතුවූවා මිසෙක සමනය වන තත්ත්ව සැලකිය යුතු මට්ටමින් දක්නට ඇත්තේ නැත. අප නිතරම අධිෂ්ඨාන කළ යුත්තේ පහළින් ඉහළට සංවර්ධනයයි. ඒ සඳහා බිම් මට්ටමේ සහභාගීත්වය අවශ්‍යයි. එලෙස බිම් මට්ටමින් ජනතාව ඒකරාශී කර සාමූහිකත්වය නංවා සංවර්ධනය අදාල සෑම ක්ෂේත්‍රයකම වර්ධනයක් ඇතිකිරීමට ජනතාව සවිබල ගැන්වීමේ පරම හැකියාවක්, වගකීමක් පවතින්නේ බිම් මට්ටමේ නිලධාරීන්ට බව ඔවුන් වගබලාගත යුතුය.
පෝෂණ ඌණතාවය ගැන කීම මුඛ්‍ය වුවද ඉහත කරුණු කිහිපය සඳහන් කළේ පෝෂණය මෙන්ම නැංවිය යුතු හැම ක්ෂේත්‍රයකටම එම පසුබිම අදාල වන හෙයිනි. මිනිසුන් යහ අතට ගත හැක්කේ දැනුවත් කිරීමෙන් පමණි. එය පුන පුනා මනා හැඩයකින් විවිධත්වයකින් කළ යුතුය. දිගු කාලීන අවධානයක් නොමැති වීමෙන් පෝෂණය තදින්ම බිඳ වැටිණි.
දේශීය ආහාර භාවිතයෙන් ජනතාව කෙමෙන් දුරස් විය. විදේශීය කෘතිම ආහාර යනු වස විෂය. දේශීය ආහාර යනු ඹෟෂධය. ඹෟෂධීය දේශීය ආහාර නවතා විෂ මුසු ආහාර අනුගමනය මත මෙරට පෝෂණීය තත්ත්වය පිරිහීම දැන් අතිශය භයානක තත්ත්වයක තිබේ. පාසල් දරුවන්ගෙන් 11% ට පමණ දියවැඩියාව පවතින්නේ යැයි වෛද්‍යවරු පවසති. එහෙයින් මෙම නිදන්ගත රෝග එන්නේ කුඩාකල සිටය. ඒවාට පිළියම් ලෙස තවතවත් බටහිර වෛද්‍ය ක්‍රම වැළඳ ගනී. එවිට සෞඛ්‍ය හෝ පෝෂණය නැත. රෝගීන්ගෙන් පිරි රටක සංවර්ධනයක් ද නැත. සෞඛ්‍ය සුබසාධනයක් පවතින රටක රෝගීන් වැඩිවන විට තව තවත් රෝහල් තැනීමට සිදුවේ. ජාතික ආදායම ලෙඩුන් සුවපත් කිරීමට වැඩිවැඩියෙන් යෙදවීමට සිදුවේ. ශ්‍රී ලංකාවට සිදුව ඇත්තේ එයයි.
ශ්‍රී ලංකාවේ ජනතාව ඌණ පෝෂණයට , එයින් අයහපත් සෞඛ්‍යයට ගොදුරුවීමට හේතුවී තිබෙන්නේ ආර්ථික දුප්පත්කම නොවේ. දැඩි නොසැලකිලිමත් කමයි. එක්කෝ නොදන්නාකමයි. අපි සෑම දෙයකම ඇත්ත දැනගන්නේ බොහෝ කල්ගතවූ පසුවය. හැකිනම් යමක් අයහපත් යැයි ප්‍රායෝගිකව ඔප්පු වූ පසුවය. පෝෂණයටද අත්ව ඇත්තේ එම ඉරණමය.
එංගලන්තය වැනි අධි සංවර්ධිත රටක කිරිපිටි බීම නවතා ඇති කලෙක ශ්‍රී ලංකාවේ කිරිපිටි වලට දැඩි ඉල්ලුමක් තිබේ. එංගලන්තය කිරිපිටි භාවිතය නතර කරන්නේ ඇයිදැයි අපි සිතුවේ හෝ දන්නේ නැත. ගැටළුව මෙයයි. මෙරට කුඩා දරුවන්ට උදෑසනට දිය යුතු ප්‍රධානතම පානයක් ලෙස දෙමව්පියන් සලකන්නේ කිරිපිටි වලින් හැදූ කිරී වීදුරුවයි. කිරිපිටි පානයෙන් දරුවෙකුට කුසගින්න ඇතිවන්නේ නැත. එමෙන්ම රසකාරක අඩංගු ආහාර නිතර නිතර ගැනීමෙන් ආහාර රුචිය අඩුවේ. එහෙත් කුඩා දරුවන්ට ආදරය පිණිස හෝ කුසගිනි නිවීම පිණිස හෝ පෙරැත්තයෙන් ඉල්ලා සිටීම නිසා හෝ නිතර ලබාදෙන්නේ රසකාරක පිරි ආහාරයි. වෛද්‍යවරුන් පවසන්නේ රසකාරක ආහාර නිතර ගැනීමෙන් ආහාර දිරවීම අතිශයින් අපහසුවන බවයි. සත්‍යම කරුණ නම් වර්තමානයේ කුඩා දරුවන්ට බත් වැනි ආහාරයක් ලබාදීමට මව්වරුන්ට විශාල ප්‍රයත්නයක් දැරීමට සිදුව තිබේ.
එලෙස නිතර ආහාර නොගැනීමෙන් දරුවන්ට අඩු පෝෂණයක් ඇතිවීම සාමාන්‍යය. දැනට වේගයෙන් වර්ධනය වන්නේ මෙම අභාග්‍ය තත්ත්වයයි.මෙරට දියර කිරි නිෂ්පාදනය සැලකිය යුතු ප්‍රතිශතයක පවතී. එහෙත් දියර කිරි නිෂ්පාදනය කරන ජනතාව හෝ දියර කිරි පානය කරන්නේ නැත. සියල්ලම අලෙවි කරයි. පසුව වෙළඳපොලෙන් කිරිපිටි මිලදී ගෙන දරුවනට ලබාදෙයි. මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය පැවතියේ නැත. මෙම ගැටළුවට හේතුව අගහිඟකම නොව නොදන්නාකම බව මෙයින් ම පැහැදිලි වේ. විශේෂයෙන්ම ගම් මට්ටමේ නිලධාරීන් සාමාන්‍ය ජනතාවගේ වැරදි ආකල්ප හා පුරුදු ඉවත්කල යුතුව ඇත. එසේ නොමැතිව “කොච්චර කිව්වත් ඔය මිනිස්සු අහන්නෙ නෑ” යන අදහස නිලධාරීන් විසින් ඉදිරිපත් කිරීම යෝග්‍ය නොවේ. දක්ෂ නිලධාරීයා නිතරම මිනිසුන් අතර ගැවසෙමින් ඔවුන් හා සුහද වී ක්‍රමානුකූලව ඔවුන්ගේ හිත් දිනාගෙන ඉලක්කය කරා යා යුතුය. උපදෙස් දුන් පමණින් මේ නිධන්ගත වැරදි ඔවුන් මකා ගන්නේ නැත. මෙතැනදී නිලධාරීන් අවධානයෙන් හා කැපවීමෙන් ක්‍රියා කළ යුතුය. එහෙත් බහුතර නිලධාරී පිරිසකගෙන් කලින් කී පරිදි මෙම කාර්යය ඉටු නොවේ. මීට හේතුව පහළ තලයේ නිලධාරීන් පිළිබඳව නිසි නියාමනයක් නොමැතිකම බවද මෙහිලා සිහිපත් කළ යුතුය. අවසානයේ විවිධ වාර්තා සංඛ්‍යලේඛන මගින් පමණක් ඉදිරියටත් ප්‍රගති සමාලෝචන කිරීම පමණක් සිදුවීම වළකාගත හැකි වන්නේ නිලධාරීන් නිසි ලෙස අත්‍යවශ්‍යම සාධක ජනගත කළහොත් පමණි.
ආකල්ප වෙනස් නොවීමේ ප්‍රබලතාවය සාමාන්‍ය ජනතාව අතර මෙන්ම නිලධාරීන් තුළ ද තිබේ. මුලින්ම නිලධාරීන් යෝග්‍ය පරිදි තම ආකල්ප වෙනස් කරගත යුතුයි. ඒ හරහා ජනතා ආකල්ප යහ අතට හැරවීමේ පාර කැපේ. පවුල් සෞඛ්‍ය සේවිකාවගේ දරුවාටත් ඇය උදෑසනට ලබාදෙන්නේ කිරිපිටි නම් , ඇයගේ සේවා දායකයනට කිරිපිටි පානය යහපත් නැතැයි කීමේ ඵලයක් නැත. ප්‍රායෝගික ද නැත. අප වෙනස්කර ගත යුත්තේ මෙබදු තත්ත්වන් ය.බුද්ධිමත්ව සිතා බැලුවහොත් අප නිකරුණේ නාස්ති කරන මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරිකරගත හැකිය. එමෙන්ම ඒවා යහපත් දේට යෙදවීමට ද හැකිය. බෝතල් කල පානිය ජල ලීටරයක් සදහා රුපියල් හැත්තෑවක් පමණ ලබාදී මිලදී ගනී. නමුත් පෝෂණිය දියර කිරි ලීටරයක් රුපියල් හැටක් ලබාදී මිලදී ගන්නේ නැත. බෝතල් කල පානීය ජලය යනු මුදල් උපයන මහා පාරිමාණ ව්‍යාපාරයකි. අප විසින් එය පෝෂණය කරනු ලබයි. මේ ටික හෝ තේරුම් ගැනීමට තරම් අභ්‍යන්තරික කල්පනිකත්වයක් අප ජනතාවට නොමැති වීම පුදුමයකි. මේ සියල්ල තුලින් පෙනෙන්නේ ජීවිතය තුල අපි බොරු ආටෝප වල රැදී සිටිමට දැඩි උනන්දුවක් දක්වන බවයි.
කුසීතකම, යැපුම් මානසිකත්වය මෙරට ඉහල යමින් තිබේ. සැමෙකක් රජයෙන් ආධාර වශයෙන් ලැබෙනවා නම් ඒවා බුක්ති විද දිවි ගෙවීමට ජනතාව ඉතා උනන්දුය. කය නොවෙහෙසීම තුල ලෙස රෝග වැලදීම සාමාන්‍යය. පෙර දවසේ වයස අවුරුදු හැත්තෑව , අසූව ඉක්මවු අය පවා හොදින් හේනෙහි කුඹුරෙහි වැඩ කල නමුත් අද එවැන්නක් නැත. එකල මිනිසුන් තම ගමෙහි වැව ප්‍රතිසංස්කරණය කරගත්තේ ඔවුන්ම ය. නමුත් දැන් වැව් බැම්මෙහි වැවෙන තණකොළ ටික පවා කපා ඉවත්කිරිම රජයෙන් කරන තුරු බලා සීටී, එනම් තමන්ගේ යන හැගීම ජනතාව තුල පොදු දෙයක් පිළිබදව ඇත්තේ නැත. මෙය නව පන්නයේ යැපුම් මානසිකත්වයකි. උද්ඝෝෂණ , උපවාසයන් සදහා ඉහළ පෙළඹීමක් ඇතිවන්නේත් මේ හරහායි. නමුත් එම තීරණ සැමෙකක් යුක්ති සහගත නැත. ක්‍රමයෙන් ජනතාව ප්‍රජා සහභාගීත්ව ක්‍රමවේද වලින් ඉවත් වීම මීට හේතුවයි. බිම් මට්ටමේ නිලධාරින් හා ජනතාව අතර දුරස්ථ බව මීට බලපා ඇති විශේෂ තත්ත්වයකි.
පෝෂණ සංවර්ධනයේ ඌණතාවය අනෙක් සෑම අංශයක්ම බිදීමට හේතුවකි. නමුත් බහු ජාතික සමාගම් මගින් ජනමාධ්‍ය යොදාගෙන සිදුකරන ප්‍රචාරණ හරහා විවිධ අයෝග්‍ය ආහාර අපි පරිභෝජනය කරමින් සිටිමු. වෙළද ව්‍යාපාර මාධ්‍ය හරහා අපිව රවටා තිබේ. බොහෝ මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වන්නේ ව්‍යාපාරික ආයතන වල නියෝජිතයින් මෙනි. එහිදී සියලුම ජනමාධ්‍ය මගින් ජනතාව ඔවුන්ගේ මාධ්‍ය ග්‍රාහකයින් නොව පාරිභෝගිකයින් බවට පත්කරගෙන සිටී. ආකර්ශනීය වෙළද දැන්වීම් වලට අනුව සෑම ආහාරයක්ම ඉතා යෝග්‍ය , සිරුරට අවශ්‍ය පෝෂණය කඩිනමින් ලබාදෙන ආහාරයන් ය. එහෙත් වෛද්‍යවරුන් ලගට යන රෝගීන් විශාල පිරිසකට අනුමත නොකරන ආහාර වන්නේ ද ඒවාය. පුදුමය එය නොවේ. කෘත්‍රීම ආහාර වර්ග වලට ජනතාව පොළඹවා, ඒවා පරිභෝපනය කළ පසුව වැළදෙන ලෙඩ රෝග වලට අවශ්‍ය බෙහෙත් වර්ග ගැන කියන්නේ ද මාධ්‍යයන් ය. ඇතැම් විට එම ආහාරම ශරීරයට ඖෂධයකි. කෙසේ වෙතත් ආහාර වලට වියදම් කලාටත් වඩා වැඩි වියදමක් බෙහෙත් වර්ග වලට ගෙවන්නට සිදුවිම සාමාන්‍යය. මෙම ඖෂධ ලබාගැනීමේ ප්‍රතිඵල හැටියට තවත් අතුරු ආබාධ ද ඇතිවේ. යලි ඒවාට ද ඖෂධ ලබාගනී. එවිට පුද්ගලයා මියෙන තුරුම නිධන්ගත රෝගියකු බවට පත්වේ.
මෙම තත්ත්වය කෙටි කලෙකින් ගරු කොට කියා හෝ දැඩි කොට කියා හෝ ජනතාවට පැහැදිලිකර නොදුන හොත් හෝ ජනතාව පැහැදිලිකර නොගත හොත් පෝෂණ ඌණතාව , සෞඛ්‍ය ගැටළු ආදි තත්ත්ව තව තවත් ශීඝ්‍රයෙන් උග්‍ර වන්නට පටන් ගනී. රෝගීන් ගෙන් පිරි රටක් කිසි විටෙක සංවර්ධනය වන්නේ නැත.
වත්මන් ගමෙහි ගොවීන් නැත. ඉන්නේ මුදලාලිලා ය. එවිට මුදල් අපේක්ෂාවෙන් විශාල වපසරියක වගා කරන්නේ එක් බෝගයකි. ඒවාද මෙහි පරිභෝජනයට නොවේ. මුදල් ඉපයීම මෙහි පරම පරමාර්ථයයි. අද ජනතාවට අවශ්‍යව ඇත්තේ නිදහස් නිරෝගී, සාමකාමී ජිවිතය නොව මුදල් ය. කෙතරම් මුදල් තිබුණ ද අයහපත් සෞඛ්‍ය හමුවේ එම මුදල් මගින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව වැටහෙන දිනයක් මෙම තරගකාරී සමාජයේ එළඹේ යැයි අනුමාන කළ නොහැකිය. “ සුව විමට වඩා වැලකී සිටිම යෝග්‍ය ය. ,, යන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුඛ්‍ය තේමාවයි. එලෙස ලෙඩ රෝග වලින් වැලකී සිටිමට නම් අද කළ යුතු හොදම දේ වන්නේ අයහපත් ආහාර පුරුදු හා අයහපත් වගා ක්‍රම අත්හැර දැමීමයි. තමන්ට අවශ්‍ය එළවළු, පළතුරු ප්‍රමාණය තම ගෙවත්තේ ම වගා කිරිමයි. එවිට සෑම දිනකම විෂ මුසු නොවු මෙන්ම සමබර ආහාර
වේලක් ලබාගත හැකිය. එමෙන්ම නිවසේ අය එක්ව ගෙවත්තක් වවා ගැනිම යනු පවුලේ සමගිය සමග විවේකය විනෝදයෙන් ගතකිරිමකි. මෙහි අරුත කියාදී ජනාතව ඊට අභිප්‍රේරණය කළ යුත්තේ බිම් මට්ටමේ සිට සිටින සියලුම නිලධාරින් බව මම නැවතත් කියමි.
දේශිය ආහාර තිබේ. එමෙන්ම දේශිය ඖෂධ වර්ග ද තිබේ. විටෙක දේශිය ආහාරම ඖෂධ ය. එහෙත් ඒ පිලිබදව නොදන්නා කම හා ගණන් නොගැනීම ඉහළය. ප්‍රබලය. දරුවන්ගේ පෝෂණයට මුං ඇට , සෝයා බෝංචි වැනි ධාන්‍ය වලින් විශාල පිටිවහලක් ලැබේ. එක් අවස්ථාවක දී අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ගාමිණි එරබදුපිටිය මහතා අවධාරණය කලේ, සෝයා බෝංචි කිලෝ ග්රෑම් එකකින් සෝයා කිරි ලීටර් 10 ක් සකස්කල හැකි බවයි. එමෙන්ම පශු අස්වනු තාක්ෂණය හරහා අපේ රටේනිෂ්පාදනය කරන ධාන්‍ය වලින් විශාල ප්‍රමාණයක් පරිභෝජනයට සුදුසු විවිධ ක්‍රමවේද වලට සැකසීමේ හැකියාව තිබේ. එහෙත් එම ආයතන ද නිසි සක්‍රීයතාවක නැත. සෝයා බෝංචි ගොවීයෝ සිය අස්වැන්නට නිසි මිලක් නැතැයි මැසිවිලි නගති. ඒ අතහැර ඔවුනොවුන් සිතා බැලිය යුත්තේ අප ලබාගන්නා අස්වැන්නෙන් තමන්ගේ පරිභෝජනය හෝ නිසි පරිදි සිදුකරගන්නවාද යන්නය. ඔවුන් පිටි සහිත අහාර වලටත් , විදේශිය විවිධ කෘත්‍රීම ආහාර වලටත් ඇබ්බැහි වීම ඉතා සීග්‍රය.
පාසල් දරුවනට පිටි සහිත, තෙල් සහිත ආහාර ලබා නොදිය යුතු බවත්, පාසලේ ආපන ශාලාව තුල ඒවා තහනම් බවත් කියන්නේ දිගු කලෙක සිටයි. එහෙත් මෙහි නිසි නියාමනයක් ඇත්තේ නැත. පාසලේ ආපන ශාලව තුලත් , පාසල ඉදිරිපිට ඇති හෝටල් තුලත් හැකි තරම් ගොඩගසා ඇත්තේ පිටි සහිත , තෙල් සහිත ආහාරය . දරුවා ගෙදරින් ගෙන යන හිස් කෑම පෙට්ටියට බනිස් ගෙඩියක් හෝ දෙකක් දමා එය දරුවාගේ දිවා අහාරය බවට පත්කරන දෙමාපියන් කොතෙකුත් සිටීද ?
අධ්‍යාපනය ලබාදෙන තැනදිම මෙය සිදුවේ නම් එයින් ඔබ්බට සිදුවන දේ අතිශය භයානකය. පාසල් දරුවනට මෙම අයෝග්‍ය අහාර ලබාදීම වැලැක්වීම සදහා වන දැඩි තීරණ වහ වහා කඩිනම් කළ යුතුයි.වි වලට මිලක් නැතැයි කීමට වඩා මෙතරම් වී අස්වැන්නක් පවතින රටක තුන් වේළම බත් කන තත්ත්වයක් ඇතිකිරිමෙන් සෞඛ්‍ය සම්පන්න බවත්, දේශියත්වයත් යන දෑ අංශයම ආරක්ෂා වේ. එම ආකල්පයම වෙනස ඇති කිරිම වචන වලට සීමා නොකර කඩිනම් කළ යුතුයි.
පෝෂණය සදහා වු ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටුවීම මේ සදහා ගත් කදිම පියවරකි. ඒ හරහා පෝෂණය සදහා වන දිස්ත්‍රික් පෝෂණ කමිටු පිහිටුවීම දැන් ආරම්භ කර තිබේ. මේ තුලින් වැඩිහිටියන්, ළමුන්, තරුණ තරුණියන් පෝෂණය පිළිබදව මනාව දැනුවත් කළ යුතුව ඇත. සමස්තයක් ලෙස ජනාධිපතිතුමා කෙටි කාලයක් තුල ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ පිළිබදව දැඩි මහජන කතිකාවක් ඇති වී තිබේ. එය තව තවත් බලගැන්විය යුතුය. දේශීය ආහාර වර්ධනය , නිසි පෝෂණය , මත‍් ද්‍රව්‍ය නිවාරණය, ආදි අංශ සියල්ලෙහිම අතිශය සමීප සබදතාවක් තිබේ. සමාන්තරව මේ සියල්ලක්ම ක්‍රියාත්මක විය යුතුයි. ඒ සදහා දැන් සැලසුම් සකස්කර හමාරය. ඉලක්ක සහ අරමුණු තීරණය කර හමාරය. ඉතිරිව ඇත්තේ සමස්ත රටෙහි ප්‍රගතිය පිණිස සියලු නිලධාරින් ජනතාවාදීව කටයුතු කිරිමත් , එම කටයුතු නිසි ලෙස නියාමනය කිරිමත් පමණි. එය එසේම වුව හොත් මෙරට අධ්‍යාත්මික මෙන්ම භෞතික යන දෑ අංශයේම සමබර නැගීම හරහා අපේක්ෂිත
ධරණිය සංවර්ධනය නුදුරේදීම සාක්ෂාත් කරගත හැකිය.
-ෂෙල්ටන් බණ්ඩාර -