අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රනිල් සිවුවැනි වරටත් ශ්‍රී ලංකාවේ අගමැති

    අගෝස්තු 20, 2015

    - සම්පත් බණ්ඩාර

     

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජවාදී ජනරජයේ අගමැති තනතුරට සිවුවැනි වරටත් දිවුරුම් දීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරට පත්වන්නේ ලෝක වාර්තාවක් සම කරමිනි.

     

    ‘විකිපීඩියා” අන්තර්ජාල ශබ්දකෝෂය හා ගිනස් වාර්තාවන්ට අනුව සිවුවරක් අගමැති තනතුරේ දිවුරුම් දුන් ප්‍රථමයා බ්‍රිතාන්‍යයේ විලියම් එවර්ට් ග්ලැඩ්ස්ටන් (1809 – 1898) මහතා ය. ලිබරල් පක්ෂය නියෝජනය කළ විලියම් එවර්ට් ග්ලැඩ්ස්ටන් 1868 වසරේ සිට 1894 වසර දක්වා සිවුවරක් අගමැති තනතුරට පත් විය. මේ අනුව මෙවැනි වාර්තාවක් සම කෙරෙන්නේ වසර 121 ක තරම් දීර්ඝ කාලයකට පසුවය.

     

    නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ අභාවයෙන් පසුව 1952 වසරේ මාර්තු මස 26 වැනිදා අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමිවරයා ඩඩ්ලි සේනානායක මහතා අගමැති තනතුරට පත් කළ අතර, එම වසරේම පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් ඔහු යළිත් අගමැති තනතුරට පත් වූ අතර යළි දිවුරුම් දීමක් සිදු නොවූ බැවින්. 1960 හා 1965 යන වසරවල ද අගමැති තනතුරට පත් වූ ඩඩ්ලි සේනානායක මහතා සැලකෙන්නේ තුන් වරක් දිවුරුම් දුන් අගමැතිවරයකු වශයෙනි.

     

    මේ අනුව සිවුවැනි වරටත් සිදුවන මේ අගමැති පදවි ප්‍රාප්තිය දකුණු ආසියානු, ආසියානු පමණක් නොව ජගත් දේශපාලන වංශ කතාවේද අතිශය විරල සිදුවීමකි. එය ජගත් දේශපාලන වංශ කතාව නැවත ලිවීමක් බඳුය.

     

    ඩඩ්ලි සේනානායක මහතාට අමතරව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද තෙවරක් ම අගමැති තනතුරෙන් පිදුම් ලැබීමට තරම් භාග්‍යවන්ත වූවාය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 1993, 2001 හා 2015 යන වසරවල අගමැති තනතුරට පත් විය.

     

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිවරයා ‍බවට පත් වූ ඩී. බී. විජේතුංග මහතා සිය අගමැතිවරයා ‍බවට පත් කරගන්නා ලද්දේ ඒ වන විට හතළිස් හතර හැවිරිදි වියේ පසු වූ රනිල් වික්‍රමසිංහ මහතා ය. ඒ මහතා ප්‍රථමවරට අගමැති ධුරයේ දිවුරුම් දෙන ලද්දේ 1993 වසරේ මැයි මස 7 වැනිදාය. රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති පදවියට අමතරව කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ කැබිනට් ඇමැති තනතුර ද හිමි විය. විජේතුංග - රනිල් කෙටි පාලන සමය බෙහෙවින් සාමකාමී හා සමෘද්ධිමත් එකක් විය. උතුරු - නැ‍ඟෙනහිර යුද වාතාවරණය හේතුවෙන් රට හැරගිය ආයෝජකයන් රැසක් යළි කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ආකර්ෂණය විය. 1994 මාර්තු මාසයේ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය 1386.8 ක් දක්වා වාර්තාගත අන්දමින් ඉහළ ගියේය. මෙම මිල දර්ශක වාර්තාව යළි බිඳවැටුණේ 2003 ඔක්තෝබර් මාසයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ය. නියමිත කාලයට මාස කිහිපයකට පෙර කැඳවූ මහ මැතිවරණයක් හා ඒ සමඟ සිදුවූ ආණ්ඩු පෙරැළියක් නිසා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රථම අගමැති ධුර කාලය මාස දහ තුනකුත් දින දහහතක ඉතා කෙටි කාලසීමාවකින් අවසන් විය.

     

    දෙවැනි වරට...

     

    රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි වරටත් අගමැති තනතුරට පත්වූයේ 2001 ‍වසරේ දෙසැම්බර් මාසයේ පැවැති මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වාර්තාගත මනාප ඡන්ද හාරලක්ෂ පහළොස්දහස් හයසිය අසූ හයක් (415,686) ලබා ගනිමිනි. ලංකා මැතිවරණ ඉතිහාසයේ මේ මනාප ඡන්ද සංඛ්‍යාව දෙවැනි වන්නේ 1994 මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ලබාගත් මනාප ඡන්ද 464,588 ට පමණි.

     

    රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි වරට අගමැති තනතුරට පත්වන විට අපේ රට බරපතළ අර්බුද දෙකකින් දැඩි ලෙස පීඩා විඳිමින් තිබිණි. පළමු අර්බුදය උතුරු නැ‍ඟෙනහිර යුද්ධය යි. දෙවැන්න කඩාවැටුණු ආර්ථිකය යි. නොනවතින විනාශකාරී යුද්ධයකට හේතු සාධක වී තිබෙන ජනවාර්ගික අර්බුදයට සියලු ජාතීන්ට පිළිගත හැකි අන්දමේ දේශපාලන විසැඳුමක් ලබා දී රටේ ආර්ථිකය නඟාසිටුවමින් ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම ඔහු හමුවේ ඇති දැවැන්ත අභියෝගය විය.

     

    මේ අභියෝග ජය ගැනීම උදෙසා ඉතාමත් ප්‍රශස්ත පියවර වූයේ ලොව බලවත් රටවල විශ්වාසය හා සහයෝගය මත සාම ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමයි. සාම ක්‍රියාමාර්ගයේ වැදගත් ම සිදුවීම වූයේ සටන් විරාම ගිවිසුමයි. කෙතරම් කර්කශ විවේචන හා මඩ ප්‍රහාර දිගින් දිගටම එල්ල වුවද රනිල් වික්‍රමසිංහයන්ගේ සාම ක්‍රියාදාමය අතිශය සද්භාවයෙන් යුතුව කළ එකක් විය. එහි මුඛ්‍ය පරමාර්ථය වූයේ දිනපතා ජීවිත, ධනය විනාශවන බිහිසුණු යුද්ධය නතරකොට රටට සාමය උදා කිරීමය. යුද්ධයට විරාමය තැබීම සඳහා විසඳුම් දෙකක් විය. පළමුවැන්න නම් ලොව බලගතු රටවල් ඇතුළු ජාත්‍යන්තරයේ සහයෝගය ඇතිව සාමයේ මාවත තෝරා ගනිමින් එල්. ටී. ටී. ඊ. සංවිධානය සාකච්ඡා මේසයට කැඳවා උතුරේ ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාන විසඳුමක් ලබා දී යුද්ධය නතර කිරීමයි. එය සියලු රට වැසියන්ට පිළිගත හැකි එකක් විය යුතු බව වික්‍රමසිංහ මහතාගේ මතය විය. දෙවැන්න නම් විනාශවන දේපොළ හා ධනය පිළිබඳ තැකීමක් නොකර බිහිසුණු යුද්ධයකට අවතීර්ණ වීමයි. මින් ඔහු තෝරාගත්තේ ජීවිත කිසිවක් අහිමි නොවන, ධන විනාශයක් සිදු නොවන අඩුම වැයක් සහිත පළමු ක්‍රමයයි.

     

    රනිල් වික්‍රමසිංහ මහතාගේ උපක්‍රමශීලී පිළිවෙත ‍වූයේ කොටි සංවිධානයට එරෙහිව ප්‍රබල ජාත්‍යන්තර දැලක් එළීමයි. එවිට කොටි සංවිධානය ජාත්‍යන්තරව හුදෙකලා කොට ඔවුන්ගේ සැපැයුම් ජාලා අඩපණ කොට සාකච්ඡා මේසයට කැඳවිය හැකිය. සටන් විරාමයක් පවතින විට, සාම කතා දිග්ගැස්සෙන විට ඕනෑම ගරිල්ලා කණ්ඩායමක් නිසි පුහුණුව නොමැති, අකර්මණ්‍ය ක්‍රීඩා කණ්ඩායමක තත්ත්වයට පත් වෙයි. සාමාජිකයන් සංවිධානය හැර යයි. සාම කතා අතරතුර බැංකොක්, ටෝකියෝ, ඔස්ලෝ, බර්ලින් යන නගරවලදී දැඩි සැපවත් හා කාමභෝගී ජීවිතයකට හුරු වූ එල්ටීටීඊ සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන් සංවිධානයෙන් ඉවත් වීම සාම සාකච්ඡා නිසා සිදුවූ අතුරු ඵලයකි. එය ඔවුන්ගේ යුදමය පරාජයට ප්‍රබලම හේතුවක් විය. පසු කලෙක එල්. ටී. ටී. ඊ. කඳවුරු හා ආයුධ ගබඩා පෙන්වමින් යුද මාර්ග සිතියමේ වැදගත් කාර්යය භාරයක් ඉටුකෙළේ කරුණාය. 2002 සැප්තැම්බර් මස 16 වැනිදා ඇරැඹි සාම සාකච්ඡා සත් මසක් තුළ වට හයකින් සමන්විතව පැවැත්විණි.

     

    රනිල් වික්‍රමසිංහ මහතා සාමය විෂයට පසුව දෙවැනි ස්ථානයෙහිලා සැලකුවේ රටේ ආර්ථීක සංවර්ධනයයි. ඔහු එය සාම ක්‍රියාදාමයට සමාන්තරව ක්‍රියාවට නැංවිය. ලිබරල් ආර්ථික න්‍යාය ගුරු කරගත් නායකයකු වූ ඔහු තම ආර්ථීක සංවර්ධන වැඩපිළිවෙළ “යළි පුබුදමු ශ්‍රී ලංකා” ලෙස නම් කෙළේය.

     

    අගමැති රනිල් සහ යසුෂි අකාශි මුලසුන දැරූ 2003 වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවැති ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන රටවල සමුළුවේදී ඉදිරිපත් කරන ලද්දේ “යළි පුබුදමු ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ සවිස්තර ව්‍යාපෘති වාර්තාවයි. එම වැඩපිළිවෙළ කෙතරම් ජාත්‍යන්තර ඇගැයීමට පාත්‍ර වූයේ ද යත් ලංකා ඉතිහාසයේ වැඩිම ණය ආධාර මුදල අනුමත කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි විය. එම මුදල අමෙරිකානු ඩොලර් බිලියන 4.5 (රුපියල් කෝටි 59,400) ක අති දැවැන්ත මුදලකි. ඔහුගේ සාම ක්‍රියාදාමය හා පාලනය කෙතරම් ජාත්‍යන්තර ඇගැයීමට පාත්‍ර වූයේ ද යත් ජාත්‍යන්තර “ටයිම්” සඟරාවේ 2003 අප්‍රේල් 21 කලාපය රනිල් වික්‍රමසිංහ මහතා 2003 වසරේ ආසියානු විරුවන් අතරට නම් කෙළේය. එහෙත් නියමිත කාලයට සිවු වසරකට පෙරාතුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කැඳවූ මහ මැතිවරණයත් සමඟ සිදුවූ ආණ්ඩු පෙරැළිය හේතුවෙන් සාම ක්‍රියාවලිය මෙන්ම විදෙස් ආධාර වැඩපිළිවෙළ ද නතර විය. රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙවැනි අගමැති ධුර කාලය මේ නිසා වසර දෙකකුත් මාස තුනකට සීමා විය.

     

    තෙවැනි වරටත්

     

    2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති සටනෙන් ඉවත් වී තමාගේ හා මෙරට විශාලතම දේශපාලන පක්ෂයේ සහයෝගය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය කිරීම මෙරට දේශපාලන ඉතිහාසයේ මහා කැපකිරීම හා පරිත්‍යාගය ලෙස හැඳින්විය හැකිය. රනිල් වික්‍රමසිංහ මහතා 2010 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ද මෙබඳුම පරිත්‍යාගයක් ජනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් ඉටු කෙළේය. මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගත් ඓතිහාසික ජයග්‍රහණයත් සමඟ 2015 ජනවාරි 9 වැනිදා තෙවැනි වරටත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ‍ජනරජයේ අගමැතිවරයා ලෙස පත් විය. මෛත්‍රී - රනිල් යුගය මෙරට සමාජ, දේශපාලන ව්‍යුහයේ සාධනීය වෙනසකට ප්‍රවේශයක් ලැබූ වකවානුවක් ලෙස හැඳින්විය හැකිය. දින සියය වැඩසටහන යටතේ ජනතා සහන රැසක් හිමි විය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කැර ගැනීම විශාල ජනතා ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය.

     

    තෙවරක් අගමැති වූවෝ...

     

    තෙවරක් අගමැති තනතුරට පත් වූ වැඩිම නායකයන් සංඛ්‍යාව වාර්තා වන්නේ දකුණු ආසියාතික රටවලිනි. ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක හැරුණු විට ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි හා අතල් බිහාරි වජ්පායි තෙවරක් බැගින් අගමැති තනතුරෙන් පිදුම් ලැබූහ. ඉන්දිරා ගාන්ධි මැතිනිය 1966 – 70, 1971 – 1977 හා 1980 – 1980 යන වකවානුවල ද අතල් බිහාරි වජ්පායි 1996 (දින 12 ක් පමණක්), 1998 හා 1999 යන වසරවල අගමැති තනතුරට පත් විය. නවාස් ෂෙරීෆ් තෙවරක් අගමැති තනතුරට පත් වූ එකම පාකිස්තානුවාය.

     

    බංගලාදේශයේ කලීඩා සියා තෙවරක් අගමැති ධුරයට පත් වුවද ඉන් එක් වරක් කටයුතු කෙළේ වැඩබලන අගමැතිනිය ලෙසය.

     

    ලිවර්පූල් සාමිවරයා (1812 – 1827) ගෙන් පසුව පිට පිටම මහ මැතිවරණ තුනකින් ජයග්‍රහණය කළ එකම බ්‍රිතාන්‍ය අගමැතිවරිය මාග්‍රට් තැචර් මහත්මියයි.

     

    ඇය පිට පිටම තෙවරක් අගමැති තනතුර හෙබවූ අතර සම්පූර්ණ ධුර කාලය වසර 11 ක් විය. තෙවරක් අගමැති තනතුරට පත්වූ අනෙක් එකම බ්‍රිතාන්‍ය ජාතිකයා රැම්සෙ මැක්ඩොනල්ඩ් (1924, 1924 – 31, 1931 – 35) ය.

     

    කැනඩාවේ විලියම් කිං ද තෙවරක් අගමැති තනතුර දැරූ අතර, මෑත ඉතිහාසයේ මෙම භාග්‍යය ලැබූ අනෙක් පුද්ගලයා වන්නේ අයර්ලන්තයේ චාල්ස් හියුග්ලිය.

     

    නව ලෝක වාර්තාවක් සම කරමින් ජගත් දේශපාලන වංශකතාව අලුතින් ලියමින් වසර පහකින් අලුත් රටක් නිර්මාණය කිරීමට සැරසෙන ‍රනිල් වික්‍රමසිංහ අගමැතිතුමන්ට චිරං ජයතු

     

    උපුටා ගැනීම - දිනමිණ අන්තර්ජාල පුවත්පත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya