අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    ජූලි 15, 2015

    මහින්ද රාජපක්ෂ මහතා සමඟ කිසිදු ගනුදෙනුවක් නොමැති බවත්, ඔහුට නාමයෝජනා දීම ගැන තමා තදින්ම විරුද්ධවූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

    කොළඹ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (14) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    තමා ජනවාරී 8 වැනිදාට පෙර සිටි ස්ථාවරයේ තවමත් සිටින බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති පදවිය භාර ගැනීමට ගත් තීරණය වැරදි බවට ඇතැමුන් චෝදනා කළද එය නිවරදි තීරණයක් බවත්, එසේ නොවී මහින්ද රාජපක්ෂ සභාපති වූයේ නම් සුළුතර රජයේ දින සියයේ වැඩපිළිවෙළට සහාය නොදෙනු ඇති බවත්, එමගින් මහජනයාට යහපතක් නොවනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

     

    ජනාධිපතිතුමා මාධ්‍යවේදීන් හමුවේ පැවැත්වූ සම්පුර්ණ කතාව පහත දැක්වේ.

     

     වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය ජනවාරී මස 8 වැනිදා මේ රටේ ජනතාවගේ ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට විශේෂයෙන් ජනතාවට ඉදිරිපත් කරන ලද මැතිවරණ ප්‍රකාශයේ කරුණු පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුයි යන කාරණාව. ජනවාරී 8 වැනි දා මේ රටේ සිදු වූ වඩාත් දේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය, සාමාන්‍යෙයන් එවැනි පරිවර්තනයක් කෙටි කාලයක්, ඒ කියන්නේ මම ආණ්ඩුවෙන් එළියට බැහැලා දින 42ක් වැනි කාලයක් තුළ අපට රටේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස, සිවිල් අයිතිවාසිකම්, මානව හිමිකම්, නිදහස් මාධ්‍ය මේ සියල්ල පෝෂණය කිරීම සඳහා අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන් වුනේ.එහිදී මම ඉදිරිපත් කරපු මැතිවරණ ප්‍රකාශය විශේෂයෙන්ම මෛත්‍රීපාලනයක් පිළිබඳ ප්‍රකාශනය බොහොම වැදගත් ප්‍රකාශනයක් අපේ රටේ ජනතාවට ඉදිරිපත් කළා.මේ ප්‍රකාශනයේ තිබෙන කරුණු වගේම එදා පොදු අපේක්ෂකයා වගේම මාව තෝරා ගැනීමට මූලික වූ පසුබිමක් තිබුණු. අවුරුදු 49ක මගේ විශේෂයෙන් දේශපාලන ජීවිතේ අත්දැකීම් සමඟ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය ඇමැති වරයෙක් ඇමැතිවරයෙක් ලෙස කටයුතු කරලා ඒ වසර 49 කාලය තුළ මේ රටේ පොදු ජනතාව තුළ මම විශ්වාස කළා මම පිළිබඳ පුද්ගලික පිළිගැනීමක් තිබුණා මම දූෂිතයෙක් නොවේ ඒ වගේම පැහැදිලි ලෙස ම නිදහස හා ප්‍රජාතන්ත්‍රවිදය ආරක්ෂා කරන කෙනෙක් ඒ වගේම තමන් ලැබෙන බලය අනසි විදියට පාවිච්චි නොකරපු කෙනෙක්, ඒ නිසා මොහු මේ තනතුරට හොඳයි කියන විශ්වාසයක් ජනතාව තුළ ඇති වුනා කියලා මම විශ්වාස කරනවා. මගේ චරිතයත් මගේ පෞරුෂත්වයත්, මගේ දීර්ඝකාලීන අත්දැකීම් සමඟ රට තුළ ගොඩනගාගෙන තිබුණු ප්‍රතිරූපයත්, ජනතාව තුළ තැබූ විශ්වාසය හා බලාපොරොත්තුවයි.

     

    ඒ වගේම ඒ විශ්වාස හා බලාපොරොත්තු සමඟ විශේෂයෙන්ම මැතිවරණයට මම ඉදිරිපත් වී පොදු අපේක්ෂකයා වශයෙන් තෝරා ගන්නා විට මම ඒ කාලෙත් කිවුවා මැතිවරණ ව්‍යාපාරය තුළ ආණ්ඩුවෙන් ඒ කියන්නේ නොවැම්බර් 21කට කලින් එක දවසක්වත් රනිල් වික්‍රමසිංහ මහත්තයා හමු වුණේ නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය එක දවසක් හම්බවුණා ඊට දවස් දෙකකට කලින්. පැයකට අඩු කාලයක් සාකච්ඡා කළේ. ඒ වගේම අපි මැතිවරණ ප්‍රකාශයක් එක් සංවිධාන දේශපාලන කණ්ඩායම් පක්ෂ 49ක් අත්සන් කලා. ඒ 49 වැඩි පිරිසක් මම දැක හඳුනාගෙන තිබුණෙත් නෑ. එතකොට විශේෂයෙන් මැතිවරණ ප්‍රකාශය ඇති වෙද්දී මැතිවරණ ව්‍යාපාරය සකස් කළේත් අත්සන් කළ සංවිධානවල නියෝජිතයින් ප්‍රමුඛව ප්‍රධාන පිරිස් තමයි. එත් එක්කම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව, සරත් ෆොන්සේකා මහත්මයාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ඒවගේම මුස්ලිම් ජාතික පක්ෂය , මුස්ලිම් ජාතික පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය ගිවිසුමක් නැතිව, ජනතා විමුක්ති පෙරමුණ ගිවිසුමක් නැතිව, මේ විදියට මේ විදියට විශාල සහයෝගයක් ලැබුණා. ඒ ලැබුණු විශාල සහයෝගය තුළ අපිට ජයග්‍රහණය ලබා ගැනීමට පුළුවන් වුනා.

    මේ ජයග්‍රහනය ලැබිලා ඒත් එක්කම ජනාවාරි මස 9 වැනි දා ජනාධිපති වශයෙන් දිවුරුම් දීලා මැතිවරණ ප්‍රකාශයේ තිබුණු කරුණු සහ මම එකඟතායකින් ක්‍රියාත්මක කළ කරුණු තිබුණා.මම ජනාධිපති ධූරයේ දිවුරුම් දීලා ඉතාම සුළු මොහොතකින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් මම පත් කළා. මම ජනවාරී 8ට කලින් අත්සන් කළ එකඟතාවයන් දෙකක් තිබුණා. ඒ දෙකෙන් එකක් තමයි මේ මැතිවරණ ප්‍රකාශයට සම්බන්ධ කරුණු පක්ෂ සංවිධාන ඔක්කොම කණ්ඩායම් 49ක් එකතු වෙලා අත්සන් කරපු ප්‍රකාශනය එකක්. ඊළඟ එකඟතාවය තමයි මම ජනාධිපති ධූරයට පත් වෙලා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරනවා කියන එක. ඒ අනුව මම දිවුරුම් දීලා පොදු වේලාවකින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත් කළා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරනකොට පාර්ලිමේන්තුවේ තත්ත්ය කුමක්ද? පාර්ලිමේන්තුව ඔබ දන්නවා කවුරුත් 225යි මන්ත්‍රි සංඛ්‍යාව. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරනකොට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 47යි. 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ 47ක් ඉන්න පක්ෂයෙන් නායකයා මම අගමැති විදියට පත් කළා.

     

    අද පවතින දේශාපාලන වාතාවරණය තුළ මට ඇතැම් අය, මම මේ ධූරයට පත් කරපු අය, හිතවතුන් ඔවුන් දැඩි ලෙස දෝෂාරෝපනය කළා. චෝදනා පත්‍ර දෙනවා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභාපති ධූරය භාර ගත් එක වැරදි ඒක භාර ගන්නේ නැතිව ඉන්නයි තිබුණේ කියලා. දැන් පාර්ලිමේන්තුවේ 225න් 47ක් ඉන්න පක්ෂයෙන් නායකයා කරලා ඒ එක්කම මේ අත්සන් කරපු එකඟතාවය තුළ මගේ නම් කැමැත් තිබුණේ මේ අත්සන් කිරීමට පෙර ජනවාරී 9 වැනි දා දිවුරුම් දීලා 10 ජනවාරී 10 පාර්ලිමේන්තුව විසුරුවන්න මාගේ බලාපොරොත්තුව තිබුණේ. ඡන්දයකට යන්න. පහසුම දේ කියලා මම දැක්කේ. නමුත් මේ ප්‍රකාශනය හදපු මැතිවරණ ව්‍යාපාරය සංවිධානය කරපු ඒ සියලු ඒකාබද්ධ සංවිධාන එකඟතාය හා තීන්දුව පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව දින 100 වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. දින 100 වැඩපිළිවෙළ කියන එක ඔබ දන්නවා එහි කාර්ය භාර්ය හා එසේ මෙසේ දෙයක් නෙවෙයි තිබුණේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න. මම ජනතාවට දුන් පොරොන්දුව විධායක ජනාධිපති ධූරයට අහොසී කිරීම හෝ බලතල අඩු කර ස්වාධීන කොමිෂන් සභාවලට දෙන්න අනෙක් ආයතනවලට දෙන්න. දැන් මම අහන ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාර ගත්තා කියලා චෝදනා කරන මගේ මිත්‍රයින්ගෙන් 47ක් ඉන්න පක්ෂයේ නායකයා කරලා කියනවා මට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා. විධායක ජනාධිපති ධූරයේ බලතල අඩු කිරීම හෝ බලතල සම්පූර්ණයෙන් කප්පාදු කිරීම, මම මේ තනතුරට එන්න කලින් මම අත් දෙකම උස්සගෙන ආවේ බලතල අඩු කිරීම හෝ අහෝසි කිරීම ඕනෑ එකට මම එකඟයි. මගේ ඒ තත්ත්වය අදත් එහෙමයි, හෙටත් එහෙමයි . ඒක තමයි මගේ ප්‍රතිපත්තිය. මේ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා රටේ පොදු මහජනතාව වෙනුවෙන්.

     

    එතකොට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය මං භාර ගත්තේ ජනවාරී 16. ජනවාරී 9 දිවුරුම් දුන්නේ. ඒකත් මම බලෙන් භාර ගත්තෙ නෑ. මම ඉල්ලුවෙත් නෑ. මට ආරාධනා කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් කිහිප දෙනෙක්. ඒ ගොල්ල කිවුවා මහින්ද රාජපක්ෂ මහතා හමු වෙමු කියලා. තමුන්නාසේලා දන්නවා මහින්ද රාජපක්ෂ මහතා හමු වුනා කතානායක නිල නිවසේ . ඒක විනාඩි 10ක 15ක සාකච්ඡාවක්. පක්ෂය භාර ගන්න පුළුවන් ද කියලා ඇහුවා. මම පුළුවන් කිවුවා. පසුදා විධායක කාරක සභාව රැස් වී භාර දුන්නා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභාපතිවරයා එකසත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා. පාර්ලමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 142ක් නියෝජනය කරන එ.ජ.නි.සයේ නායකයා හා සභාපතිවරයා වුණා. ඒ නිසා මේ දින 100 සාර්ථකත්වය ගන්න පුළුවන් වුනා. 19 වැනි සංශෝධනය කිරීමට හැකි වූනා. ඒ විතරක් ද? අද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ කතා කරන ජනතාවට දුන්න සහන රජයේ සේවකයිනට පඩි වැඩි කරපුවා, තෙල් මිල ගෑස් මිල අඩුකරපුවා ඒ සියල්ල කරන්න පුළුන්වන් වුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සන්ධානයේ සභාපති ධූරය මම  භාර ගත්ත නිසා. මේ මැතිවරණ ප්‍රකාශයේ කාරණා ඉටු කිරීමට හැකි වුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය මම මෙහෙයපු නිසයි. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නොවී මහින්ද රාජපක්ෂ මහතා සභාපති විදියට හිටියනම් 19 වැනි සංශෝධනය සම්මත කරන්න දෙන්නේ නෑ ඒ ගොල්ල. පාර්ලිමේන්තුවේ ගරු මුදල් ඇමැතිවරයාගේ අයවැය යෝජනාව පාස් කළේ ඒකමතිකව. මහින්ද රාජපක්ෂ මහතා සභාපති ධූරයේ හිටියා නම් බඩු මිල අඩු කිරීම, තෙල් ගෑස් මිල අඩු කිරීම, පඩි වැඩි කිරීම් මේ කිසි දෙයක් කරන්න ඒ අයවැය සම්මත කරන්න දෙන්නේ නෑ. එතකොට අද කතා කරන මේ දින 100හි සාර්ථකත්වය මේක අද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මගේ ජයග්‍රහණයට වැඩකළ සංවිධාන පක්ෂ 49ක් මේ වැඩපිළිවෙළ නිර්මාණය කරා වගේම ඒ නිර්මාණය කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ ගෞරවය පාර්ලිමේන්තුවේ සහයෝග දුන්න අත උස්සපු සෑම කෙනෙකුට ම ලැබෙනවා. 19 සාශෝධනයට 225න් 215ක් ඡන්දය පාවිච්චි කළා.

     

    මම මම කියපු දේවල් නොකරන කෙනෙක්නම් ඒ වගේම දැන් සමහර අය මේ දවස්වලට මට කියනවනේ දුෂ්ටයා, ද්‍රෝහියා, පාවා දෙන්නා මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මල් පිපිලා. මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෝරේ ගලා යනවා ලංකාවේ ජනවාරි 08 වෙනිදායින් පස්සේ. මේ රටේ විධායක ජනාධිපති ධූරය 78 හදපු දවසේ ඉදලා ජනවාරි 08 වනදා මේ රට පාලනය කරපු රාජ්‍ය නායකයින්, ජනාධිපතිවරු ඒ කිසි කෙනෙකුට මේ සුමානයේ දෙකේ මට ගහන ගැහිල්ල ගහලා නැහැ.

    ද්‍රෝහියා, දුෂ්ටයා, පාවා දෙන්නා ඒ එක් එක් යුගවල මාධ්‍යවේදින්ට සිද්ධ වුණ දේවල් මාධ්‍ය හිර කරපු හැටි, නිදහස් මාධ්‍ය වළලපු හැටි එක් එක් යුගවල මම ඒවා කියන්න කාලය ගන්නේ නැහැ, ඔබ වගේම මේ රටේ විශේෂයෙන්ම විධායක ජනාධිපති ධූරය හදපු දවසේ ඉදලා මේ රටේ වුණ දේවල් දන්න සියලුදෙනා ඒ ගැන දන්නවා.

     

    සමහර වෙලාවට මට හිතෙනවා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා 56 පොදු ජන ආණ්ඩුව පිහිටුවලා රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී කරලා කම්කරු අයිතිවාසිකම් දීලා නිදහස දීලා ප‍්‍රගතිශීලි අන පනත් සම්මත කරලා මහ පරිවර්තනයක් රටේ කරනකොට බණ්ඩාරනායක මැතිතුමා අවුරුදු තුන හමාරයි ආණ්ඩු කළේ වැඩ වර්ජන 459 යි.

     

    බණ්ඩාරනායක මැතිතුමාගේ කැබිනට් මණ්ඩලයත් කැබිනට් එක වර්ජනය කෙරුවා. ඇමති මණ්ඩල රැස්වීම වර්ජනය කෙරුවා. වැඩ වර්ජන එක දිගට යනකොට ඊට කළින් හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මැතිතුමා කිව්වා ‘මම බැඳපු බල්ලෝ බණ්ඩා ලෙහෙලා දැම්මා කියලා. දැන් බණ්ඩාට හපා කනවා කිව්ව.‘

    ජනාවරි 08 වෙනිදා මේ රටේ ජනතාව කරපු පරිවර්තනයට නායකත්වය දුන්න, මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැහැදිළි ලෙස ස්ථාපිත කරපු ඒ සඳහා වගකීම් අරගෙන කටයුතු කරපු මට මේ ඇතැම් මාධ්‍ය ආයතන සහ ඇතැම් දේශපාලන විවේචකයෝ, විචාරකයෝ මේ අත තද කරල ලියනකොට ද්‍රෝහියා, දුෂ්ටයා, පාවා දෙන්නා කියලා මම ඒගොල්ලන්ට කියනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ රස හොඳට භුක්ති විදින්න. ජනවාරි 08 වෙනිදා කරපු පරිවර්තනයෙන් මේ රටේ නිර්මාණය කරපු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජය විනාශ කරන්න එපා.

     

    මාස 06 ක් ඇතුළත මේ වචන පාවිච්චි කරනවනම් මම දන්නවා ජනවාරි 08 කළින් අද මට මේ පාවිච්චි කරන වචන පාවිච්චි කරලා තිබුණා නම් එහෙම මේ මට ගහන ගැහිලිවලින් සියයෙන් එකක් ගැහුවානම් ඒ ගහන අයට වෙන්නේ මොනවද කියලා වෙච්චි දේවල් එක්ක මේ රටේ ජනතාව තමුන්නාන්සේලා හැම කෙනෙක්ම දන්නවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. රාජාණ්ඩුවක්නේ තිබුණේ. තමුන්නාන්සේලාගේ මාධ්‍ය ආයතනවලට කොහොමද උපදෙස් දීලා තිබුණේ ජනවාරි 08 ට කළින්. ඇමතිවරුන්ට ගහන්න ඕන තරම්, හැබැයි රාජපක්ෂ පවුලේ කාටවත් ගහන්න එපා.

    ඉතින් මේ මාස 06 තුළ මේ රටේ ඝාතන නැහැ, ලේ වැගිරීම් නැහැ, මහ කෝළහාල නැහැ,මේ රට සාමකාමී, නිදහස්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී. ඉතින් මේ දේශපාලන කළමණාකරනය පාර්ලිමේන්තුවේ 225 ක් ඉන්න තැන 47 කින් අගමැති කෙනෙක් පත් කරගෙන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා අය වැය ඒකමතිකව සම්මත කරලා මේ සියල්ල එක්ක විශේෂයෙන්ම යන විට මේ රටේ අවශ්‍ය වෙනස්කම් පැහැදිළි ලෙස කිරීමේ අවශ්‍යතාවය මට තිබුණා.

     

    මේ සිදුවීම් එක්ක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ සන්ධානය තුළ අර්බුද ඇති වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා මට පක්ෂය භාරදුන්නට භාර දීලා සුමාන දෙක යනකොට අනිත් පැත්තට හැරිලා කකුලෙන් අදින්න පටන් ගත්තා. පක්ෂය නිර්මල, පිවිතුරු, පවිත‍්‍ර පක්ෂයක් විදිහට දූෂණයෙන්, වංචාවෙන් එවැනි පුද්ගලයින්ගෙන් තොර අවස්ථාවාදින්ගෙන් රාජ්‍ය දේපළ මංකොල්ල කන මිනිස්සුන්ගෙන්, බලය වැරදි විදිහට පාවිච්චි කරන අයගෙන්, පවුල්වාදයෙන් තොර පක්ෂයක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ගොඩ නගන්න මම විශාල උත්සාහයක් අරගෙන තමයි කටයුතු කළේ.

    එක් පැත්තකින් පාර්ලිමේන්තුවෙන් 47 ක් ඉන්න නායකයෙක් අගමැති කරලා ආණ්ඩුක් ගෙනියන්න ඕන. අනෙක් පැත්තෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන. මම කියපු වෙනස්කම් කරන්න ඕන පාර්ලිමේන්තුවේ කැමැත්ත අරගෙන.

     

    ඊළඟට මට විරුද්ධව රට පුරා රැස්වීම් තියන්න පටන් ගත්තා සන්ධානයේ නායකයෝ. රට පුරා රැස්වීම් තියලා කියන්න ගත්තා මේකට 10 ක් නැග්ගා, අරකට 25 ක් නැග්ගා, මේකට 40 නැග්ගා, මේකට 50 ක් නැග්ගා කාටද මේ අභියෝගය කළේ මේ අභියෝගය කළේ එක්සත් ජාතික පක්ෂයට නෙවේ, ඒ අභියෝගය කළේ කවුරුත් දන්නවා මටයි.

     

    එතකොට එක්ක පැත්තකින් කියනවා ඇයි මේ විනය කි‍්‍රයාමාර්ග ගන්නේ නැත්තේ. ඇයි මේ මන්ති‍්‍රවරුන්ට චෝදනා පත‍්‍ර දෙන්නේ නැත්තේ. ජාතික ආණ්ඩු සංකල්පයට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව එකඟතාවය පළ කළා.

     

    පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීන්දු ගත්තා. කිසිම විරෝධයක් නැතිව. නමුත් එහෙම තීන්දු අරගෙන විරුද්ධව කටයුතු කරනකොට පක්ෂය තුළිනුත් කිව්වා, රටෙනුත් කිව්වා දේශපාලන ප‍්‍රතිවාදිනුත් කිව්වා ඇයි මේ විනය පරික්ෂණ කරන්නේ නැත්තේ ඇයි මන්ත්‍රීවරු සංවිධායක කම්වලින් අස් කරන්නේ නැත්තේ, ඇයි ඒගොල්ලන්ට විනය පරික්ෂණ කරලා මන්ති‍්‍ර ධූර ඉවත් කරන්න කටයුතු කරන්නේ නැත්තේ. විනය පරික්ෂණ කරන්න කොහොමද, සංවිධායක ධූරවලින් අස් කරන්නේ කොහොමද. ඇයි මේ පාර්ලිමේන්තුව ගෙනියන්න එපැයි 47 ක මන්ත්‍රීවරුන් ඉන්න අගමැතිවරයෙක් එක්ක. පනතක් සම්මත කරන්න එපැයි පාර්ලිමේන්තුවේ. පනත් සම්මත කරන්න පුළුවන්ද, ව්‍යවස්ථා සංශෝධනය පුළුවන්ද, අය වැය යෝජනා සම්මත කරන්න පුළුවන්ද, ස්වාධීන කොමිසන් සභා ගේන්න පුළුවන්ද, ඒ එකක්වත් කරන්න බෑ. ඒ නිසා ඒ සියලූ විනය විරෝධි වැඩ කරද්දි මේ දින 100 වැඩපිළිවෙල කි‍්‍රයාත්ම කරන්න, මම භාරගත්ත රටේ ජනතාවගේ වගකීම් ඉටු කරන්න මම ඒවා නොදැක්කා වගේ හිටියා. මම ඉතාම නම්‍යශීලි වුණා. මම දන්න විදිහට මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙක් මේ විදිහට නම්‍යශීලි වෙලා නැහැ තමන්ගේ පක්ෂයේ ඉන්න පිරිස් මේ විදිහට හැසිරෙනකොට.

    ඉතින් මේ සියල්ල එක්ක ගත්තහම අපි දන්නවා මේ පසුබිමත් එක්ක අපි අද මහ මැතිවරණයකට ගිහිල්ල තියනවා මේ මහ මැතිවරණයේ ප‍්‍රතිඵල තුළ ප‍්‍රධාන වශයෙන්ම ඉදිරි අවුරුදු 05 මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඒ වගේම ආර්ථිකය පිළිබඳ ප‍්‍රධාන වශයෙන්ම වගකීම, රට හැසිරවීම, කළමනාකරණය ප‍්‍රධාන වශයෙන් එන්නේ මේ මැතිවරණයෙන් බලයට පත්වෙන ආණ්ඩුවට.

    දැන් මේ මහින්ද රාජපක්ෂ මහත්තයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලැබීම පිළිබඳව දැන් මට චෝදනා තුනක් එල්ල කරනවනේ මේ දවස්වල. එකක් තමයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාර ගැනීම වැරදියි කියලා, මම ඒකට උත්තර දුන්නා. අනෙක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාව හමුවීම වැරදියි කියනවා. ඊළඟට තුන්වැනිව කියනවා අපේක්ෂකත්වය දුන්න එක බරපතල වැරුද්දක් කියලා.

    දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා මාව හමුවුණේ මම හිතන්නේ ඔබ කවුරුත් දන්නවා අවස්ථා තුනක හමුවුණා. පළමු අවස්ථාව තමයි කථා නායක නිල නිවසේ පක්ෂය භාරගන්න පළමු හමු වීම, දෙවැනි හමුවීම තමයි මුළු රටම දැක්කා දෙපාර්ශවයේම නියෝජිත පිරිස් ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ හමුවීම්. ඒ හමුවට ඇවිල්ලා වාඩිවෙලා ඒ ආපු නියෝජිතයෝ ඉස්සෙල්ලම පටන් ගත්තේ ඉදිරි මැතිවරණය එනවා ඒකදී ඒ ඉල්ලීම් 04 ක් ඉල්ලුවා.

     

    පළමු ඉල්ලීම මහින්ද රාජපක්ෂ මහත්තයාව ඡන්දයෙන් පස්සේ අගමැති කරන්න. අගමැති අපේක්ෂකයා කරන්න. ඊළගට ඒ දිනවල තිබුණු පසුබිමත් එක්ක පාර්ලිමේන්තුවේ තිබුණු යම් යම් යෝජනාවලට විරෝධය පළ කරන්න මේ වගේ කරුණු තමයි ඉදිරිපත් කළේ. මම මහින්ද රාජපක්ෂ මහත්තයා හමුවෙලා පාර්ලිමේන්තුවේ කථා කරපු සාකච්ඡාවේදී එකහෙළාම මම ප‍්‍රතික්ෂේප කෙරුවා අගමැති ධුරය දෙන්න මම කැමතිත් නැහැ, අගමැති අපේක්ෂකයෙක් විදිහට පත් කරන්න මම කැමැතිත් නැහැ. කිසිසේත්ම මම මේවට එකඟතාවයක් දක්වන්නේ නැහැ. එතකොට මගෙන් ඇහුවා ඇයි විරුද්ධ වෙන්නේ කියාල. මම කිව්වා ජනවාරි 08 වෙනිදා ලැබු ජයග‍්‍රහණය ආපසු හරවන්න මට දෙන්න බැහැ කියලා.

    අනිත් එක මම කිව්වා ඔබතුමා ඡන්දයකට ආපුහම ඡන්දයක් ජයග‍්‍රහණය කරන්න අවශ්‍ය මූලික කාරණා සම්පූර්ණ වෙන්න ඕන. මොනවද ඒ මූලික කාරණා. මම කිව්වා මේ රටේ දමිළ, මුස්ලිම් ඡන්ද හම්බවෙන්නේ නැහැ තමුන්නාන්සේ ආපුහවම ඒ පක්ෂයට.

     

    ඊළඟට මුළු ලෝකය පුරාම ගලා යන නව දේශපාලන සංස්කෘතියත්, රටවල්වල රාජ්‍යයන්හි තිබෙන දූෂණ විරෝධි රැල්ල, බලය වැරදි විදිහට පාවිච්චි කිරීම, මේ රටේ උගත්, බුද්ධිමත් පිරිස් වගේම මධ්‍යම පාන්තික පිරිස් තුළින් ප‍්‍රධාන වශයෙන් මේ රටේ යහපාලනයක් සඳහා මාව පත් කරනකොට ඒ තැබු විශ්වාසය තුළ මම කටයුතු කරනවිට ඒ පැත්තෙන් ඔබ සම්පූර්ණ වෙලා නැහැ. යහපාලනයට අවශ්‍ය සුදුසුකම ඔබ ලබලා නැහැ. අනෙක් පැත්තෙන් තරුණ පරපුර ඔබට ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ. ඔබේ පාලන කාලය තුළ බරපතල වැරදි නිසා. රාජාණ්ඩු ක‍්‍රමය නිසා. වංචා දූෂණ පවුල් වාදය නිසා ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මැතිවරණයකට ඇවිල්ලා මේ පක්ෂය පරද්දන්න එපා කියලා මම කිව්වා. ඒ සාකච්ඡාව අවසන් වුණා ප‍්‍රතිඵලයක් නැතිව.

     

    ඒ අතරවාරයේ අපි ආණ්ඩුව විදිහට පාර්ලිමේන්තුව විදිහට කටයුතු කරගෙන ගියා. මැතිවරණය ඉතාම ආසන්න තත්ත්වයට ආවා. දැන් 19 වන සංශෝධනය සම්මත කරනවා. 19 වන සංශෝධන සමත්ත කරනකොට ප‍්‍රධාන වශයෙන්ම වුවමනාව තිබුණේ ප‍්‍රමුඛව මටත්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය, සරත් ෆොන්සේකා මැතිතුමා පක්ෂය ඇතුලූ මාව බලයට පත් කරපු ඒ සංවිධානව ඔක්කොම එක්ක. එතකොට බලයට පත්කිරීමත් එක්ක ඒ ආපු කාරණා තුළ ප‍්‍රධාන වශයෙන්ම බලයට පත් කරලා ඉදිරියට යාමේ කටයුතුවලදී 19 වන සංශෝධනය සම්මත කරන්න යනකොට ඇහුවා කෝ 20 කියලා. එතකොට මම කිව්වා දැන් 19 සම්මත ගැසට් කරලා තිබෙන්නේ ඒ පිළිබඳ පවතින නීතිමය තත්ත්වය එක්ක දැන් 19යි 20 යි එකට යන්න බැහැ. 19 ගැසට් කරලා ඉවරයි, උසාවියට, ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඉවරයි. ඒ නිසා 20 අමුණන්න බැහැ. ඒ නිසා 20 වෙනම එන්න ඕන.

     

    එතකොට සන්ධානයේ මන්ති‍්‍රවරුන් කිව්වා අපි 19 ට අත උස්සන්නේ 20 ගේනවා කියන පොරොන්දුව උඩ. මම රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ඇතුළු ආණ්ඩුවේ අනිත් සියලු දෙනා එක්ක කතා කරලා සන්ධානයේ ඡන්ද ගන්නනම් 19 ට 20 ගේන්න ඕන. ඔව් ගේමු කිව්වා. එතකොට ඒ අනුව 19 ඉවරවෙලා දැන් මම බලාගෙන ඉන්නවා 20 එනකම්. 19 හැදුවේ මම නෙමෙයිනේ. මගේ පූර්ණ එකඟතාවයෙන් නීති විශාරදයෝ සහ ඒ ඒ පක්ෂවල අය තමයි 19 හැදුවේ. දැන් මම බලනවා කෝ 20. ඒ එක්කම සන්ධානයේ මන්ති‍්‍රරු අහනවා කෝ 20. දැන් 20 හැලිලා. එතකොට මට මතකයි මේ මැතිවරණ ප‍්‍රකාශනයත් එක්කම අපි සඳහන් කරලා තිබුණා 19 වගේම 20 ඒවගේම තොරතුරු දැන ගැනීමේ පනත, විගණන පනත මේවා බොහොම පැහැදිළිව මැතිවරණයෙත් කියපුවා.

     

    විගණන පනත සහ තොරතුරු දැන ගැනීමේ පනත හැදුවා. එතකොට 20, 19 හදපු අයගෙන් හැලුනා. තොරතුරු පනත නැහැ. විගණන පනත නැහැ. මේ රටේ වංචා දුෂණ පිළිබඳ රාජ්‍ය අංශය කතා කිරීමේදී ප‍්‍රධාන වශයෙන්ම මේ රටේ ටෙන්ඩර් ක‍්‍රමය අන්ත දූෂිතයි. මම මේක මීට අවුරුදු 10 කට කළින් ඉදලා කියලා කියනවා. ඒක රටම දන්නවා. ඒ නිසා තමයි මේ ටෙන්ඩර් ක‍්‍රමයේ තිබෙන දූෂණ වළක්වලා මේ රටේ හොඳ මුල්‍ය කළමණාකරනයක් ඇති කරන්න දුෂිත ක‍්‍රමයෙන් තොර ටෙන්ඩර් ක‍්‍රමයක් ඇති කරන්න මුල්‍ය අංශවල හොඳ මුල්‍ය විනයක් ඇති කරන්න මේ විගණන පනත ගෙනාවේ.

     

    දැන් මේ ප‍්‍රශ්ණත් එක්ක අනෙක් පැත්තෙන් ආවා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් පැමිණිල්ලක්. මේ පිළිබඳව කමිටුවක් පත් කරලා එහි වාර්තාවක් ආවා. ඊළඟට පාර්ලිමේන්තුවේ ගිණුම කාරක සභාවේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා සම්බන්ධයෙන් මගේ තිබෙන මතය වගේම රටේ පොදු ජනතාව අතර මතයක්, අදහසක් තියනවා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා හොරකම් කරන කෙනෙක් නෙවේ, දූෂිතයෙක් නෙවේ කියලා, මේ මහ බැංකු අධිපතිවරයාගේ ඒ ප‍්‍රශ්ණය ආවහම මේ පිළිබඳ වරින් වර කරපු සාකච්ඡාවලදී මම අවසාන වරටත් එතුමාට කිව්වා ඔබතුමාට හොඳ නමක් තිබෙනවා මේ සිද්ධියත් එක්ක තිබෙන පසුබිම තුළ ඔබතුමා නිවැරැදි වෙන්න ඕන. ඒ නිසා හොඳම දේ තමයි මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වෙන එක කියලා.

     

    එතකොට මෙවැනි පසුබිමක් එක්ක තමයි අපි ආවේ නාම යෝජනා දක්වා. දැන් නාම යෝජනා දක්වා එනකොට මූලික වශයෙන් මම සඳහන් කරන්නට ඕන මේ රටේ දේශපාලන පක්ෂවල මැතිවරණයක් අවස්ථාවේදී ඒ ඒ දේශපාලන පක්ෂවල තිබෙන ව්‍යවස්ථාවේ හැටියට පක්ෂයේ ප‍්‍රතිපත්ති අනුව කොහොමද අපෙක්ෂකයෙක් තෝරන්නේ කියලා. එම කි‍්‍රයාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් තේරිමේ කි‍්‍රයාවලිය දන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ ඉන්න අය. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් තේරිමේ කි‍්‍රයාවලියේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අය.

    දේශපාලන පක්ෂවලත් එහෙමයි. එතකොට මේ අපේක්ෂකයින් තේරිමේ කි‍්‍රයාවලිය කි‍්‍රයාත්මක කිරීමේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය කොහොමද අපේක්ෂකයින් තෝරන්නේ. ඉල්ලුම් පත‍්‍ර කැඳවනවා. නාම යෝජනා මණ්ඩල පත් කරනවා. ඊළඟට නාම යෝජනා මණ්ඩලයෙන් පස්සේ මධ්‍යම කාරක සභාව අනුමත කරනවා. මේක තමයි මේ තිබෙන ක‍්‍රමය. දැන් ඉතා පැහැදිළිව මේ තත්ත්වයත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයාට අපේක්ෂකත්වය දීම පිළිබඳ මගේ කිසිදු එකඟතාවයක් නැහැ කියන එක මම සෑම කෙනෙක්ටම ප‍්‍රකාශ කළා.

     

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෝ දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශගේ පක්ෂය, තිස්ස විතාරණ, ඩියු ගුණසේකර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෝ මහජන පක්ෂය, පොඩි අප්පුහාමි මහතාගේ පක්ෂයේ මේ පක්ෂ නායකයෝ ඔක්කොම මේ ශාලාවේ. මේ තිබෙන ලීවලට, බිත්තිවලට කතා කරන්න පුළුවන්නම් කතා කරලා කියයි මම කිව්වේ මොනවද කියලා. මම ඒ පක්ෂ නායකයෝ සියලු දෙනාට කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයට අගමැති අපේක්ෂකත්වය දෙන්නවත්, කණ්ඩායම් නායකත්වය දෙන්නවත් බැහැ කියලා මම පැහැදිළිව ප‍්‍රකාශ කළා. ඒ අය නරක විදිහට මට බැන බැන තමයි මෙතනින් ගියේ.

    එතකොට මේ තත්ත්වය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තුළත් තිබුණා. මම ඔය කිව්වේ සන්ධානය විදිහට. දැන් මේ තත්ත්වය එක්ක මට කළ හැකි කරුණු දෙකක් තිබුණා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ.



    එකක් තමයි සම්පූර්ණයෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සන්ධානය මහින්ද රාජපක්ෂ මහත්තයලට භාරදීලා මම අයින් වෙන එක. මම අයින් වුණානම් තත්ත්පරයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා සන්ධානයේ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට ඒ ගොල්ලෝ පත් කර ගන්නවා.

     

    මම දන්නවා මට සභාපතිකම දුන්නේ ජනවාරි 16 ඊට සුමාන දෙකක් ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්න පටන් ගත්තා අපරාදේ කරගත්ත වැඩේ. පක්ෂ නායකත්වය සභාපතිකම දුන්න එක කියලා පසු තැවෙන්න පටන් ගත්තා. මම සම්පූර්ණයෙන් පක්ෂයෙන් ඉල්ලා අස් වුණානම් මහින්ද රාජපක්ෂ මහත්තයා මේ මැතිවරණයට එන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති සන්ධානයේ සභාපති ඒ විතරක් නෙවේ හදන අපේක්ෂක නාමාවලි සියට සීයක් සම්පූර්ණයෙන්ම එයාට ඕන විදිහට ඒ විතරක් නෙවේ මාත් එක්ක හිතවත්ව හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම සමහරවිට ඔක්කොම කපලා දාන්න තිබුණා. ඒ ඔක්කොම දොට්ට දානවා.

     

    එතකොට මේ තත්ත්ව උඩ ප‍්‍රධාන වශයෙන්ම මේ බෙදීම තියනකොට මට කරන්න තිබුණ එකක් තමයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ සභාපතිකමෙන් අයින්වන එක. එහෙමනම් මහින්ද රාජපක්ෂ මහත්තයා ඊයේ නාම යෝජනා දෙනකොට එන්නේ ඔයිට වඩා වෙනස් ආකාරයට මම දන්නවා.

     

    මම කියන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා අදත් ප‍්‍රබලයි කියලා. ජනවාරි 08 වෙනිදා පැරදුණ මහින්ද රාජපක්ෂ, මම දකින්නේ තවත් පරදින එක. නමුත් ඉස්සරහටත් සන්ධානයේ සභාපතිකම තියාගෙන ආවනම් ඔයිට වැඩිය තව යම් ප‍්‍රමාණයකින් තවත් ශක්තිමත්ව තමයි එන්නේ. එතකොට එකක් මම අයින් වෙන එක එහෙම නැත්නම් අගමැති අපේක්ෂකත්වය නොදී ඉන්නවා කියලා කිව්වහම ඒගොල්ලේ ඔක්කොම සැළසුම් කරලා තිබුණා. තීන්දු කරලා තිබුණා වෙනම ඒගොල්ලෝ වෙනම තරඟ කරන්න අපේක්ෂක ලැයිස්තු හදලා, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන කමිටු හදලා ඔක්කොම වැඩ අවසන් කරලා තිබුණේ, ඒ ගොල්ලේ වෙනම පක්ෂකයින් තරඟ කරන්න.

    එතකොට සන්ධානය තුළ නාම යෝජනා නොලැබුණානම් ඒගොල්ලෝ ඒත් වෙනම පක්ෂයකින් පාර්ලිමේන්තුවට එනවා. එය වළක්වන්න පුළුවන්කමක් නැහැ.

     

    දැන් මෙතනදි අහන අනෙක් ප‍්‍රශ්ණය තමයි ඇයි එහෙමනම් සන්ධානයෙන් දුන්නේ විරුද්ධ වුණානම් කියලා. මගෙන් අහනවා මට කරන චෝදනා. මෙතනදි මම කාරණයක් කියන්න ඕන බොහෝම පහසුයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑල්ලක් කඩා ගෙන මට රට වටේ යන්න තිබුණා. හැබැයි ඒක ජනාධිපතිවරයෙකුට ගැලපෙන්නේ නැහැ. පක්ෂේ කඩා ගෙන කෑල්ලක් කඩා ගෙන රට වටේ යන එක.

    අනිත් කාරණය තමයි ප‍්‍රධාන වශයෙන්ම මේ රටේ මැතිවරණ ඉතිහාසය ගත්තහම එක් එක් ආණ්ඩු සහ එක් එක් යුග ගත්තහම මේ රටේ තියෙන ද්විපක්ෂ ක‍්‍රමය තමුන්නාන්සේලා අපි කවුරුත් පිළිගන්නවා. ඒ පක්ෂ දෙක තමයි හැමදාම ආණ්ඩු කරන්නේ. අනික් පක්ෂ සමහර විට සෘජුව එනවා. නැත්නම් වක‍්‍ර ව එනවා. මධ්‍යස්ථව එනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya