අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැසිල් යළි රිමාන්ඩ්

    මැයි 06, 2015

    දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි ගණනක පාරිතෝෂික දීමනා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී සාවද්‍ය ලෙස පරිහරණය කළැයි පවසන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ එම අමාත්‍යාංශ නිලධාරීන් තිදෙනා ලබන 07 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර බාරයේ තැබීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඊයේ (5) නියෝග කෙළේය.

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බන්ධනාගාරය බාරයේ දැනට ප්‍රතිකාර ලබමින් සිටින කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුව (මර්චන්ට් වෝඩ්) වෙත ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් කළ ඉල්ලීම ඊයේ (5) ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙළේය.

     

    අධිකරණ සේවා කොමිසන් සභාවේ 346 වන චක්‍රලේඛය අනුව බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් කළ එම ඉල්ලීමට අධිකරණයට අවසර දිය නොහැකි බව විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

     

    තවද නඩුවේ සෙසු සැකකරුවන් තිදෙනා ද දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින කොළඹ ජාතික රෝහලේ වාට්ටු සඳහා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරීමට තමාට බලයක් නැති බව ඊයේ (05) ප්‍රකාශ කළ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා එම ඉල්ලීම් ද බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියෝග කෙළේය.

     

    නඩුව ඊයේ (5) කැඳවූ අවස්ථාවේ කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි පළමු සැකකරු වන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලේ ගිලන් රථයකින් බන්ධනාගාර නිලධාරීන් භාරයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබුණි.

     

    වෛද්‍ය නිර්දේශ මත හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මහේස්ත්‍රාත් අධිකරණය පැවැති දෙවන මහල වෙත රැගෙන නොපැමිණි අතර ගිලන් රථය තුළ අධිකරණ භූමියේ නඩු කටයුතු අවසන් වන තෙක්ම බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ පූර්ණ ආරක්ෂාව යටතේ රඳවා ‍තබා තිබුණි.

     

    බන්ධනාගාරය භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්. ඒ. කේ. රණවක, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ‍හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක හා දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (05) විවෘත අධිකරණය වෙත රැගෙන විත් තිබුණි.

     

    හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට හා සෙසු සැකකාර නිලධාරීන් තිදෙනාට ඇප ලබාදෙන ලෙසට ඉල්ලමින් ඔවුන්ගේ නීතිඥවරුන් කළ වාචික ඉල්ලීම් ලිඛිතව ඉදිරිපත් කිරීම සඳහා විනිසුරුවරයා විසින් ඊයේ (05) අවසර ලබා දෙන ලදී.

     

    නඩු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ කොල්ලුපිටියේ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අධිකරණය වෙත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නඩුවේ විමර්ශන කටයුතු අවසන් නොමැති නිසාත්. නඩුවේ ඉදිරි කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධව නීතිපතිවරයාගෙන් උපදෙස් පතා ඇති නිසාත් සැකකරුවන් ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බාරයේ රඳවා තබන ලෙසට ඉල්ලා සිටියේය.

     

    තවද අධිකරණ නියෝග මත කොළඹ ජාතික රෝහලේ 15 වන වාට්ටුව වෙත ගොස් පසුගිය මස 23 වැනිදා දිවි නැඟුම අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් ලබාගත් බවටත්, දිවි නැඟුම බැංකු පද්ධතියේ තිබූ මුදල් ඉවත්ව ගිය සේවකයන් සඳහා පාරිතෝෂිත හා වන්දි මුදල් ලෙස ගෙවීමට භාවිත කළ බව හා කලාප මට්ටමින් බැංකු ශාඛාවලින් එම ගෙවීම් සිදුකළ බව ඔහුගේ එම ප්‍රකාශය අනුව අනාවරණය වූ බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක එස්. ඒ. රත්නායක මහතා අධිකරණය වෙත වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේය.

     

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් වාචිකව ලබා දුන් උපදෙස් හා නියෝග මත දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ බැංකු බාරව කටයුතු කළ නිලධාරීන් මෙම මුදල් ගෙවීමට කටයුතු කර ඇති බව ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.

     

    මෙලෙස මුදල් ගෙවීම සඳහා දිවි නැඟුම දෙපාර්තමේන්තුව වෙනත් බැංකුවල ආයෝජනය කර තිබූ මුදල් අරගෙන තිබෙන බවත්, එනිසා ‍දිවි නැඟුම බැංකුවලට හානියක් ‍සිදුව තිබෙන බවත්, එම බැංකු කඩාවැටීමට හා ලැබිය යුතු ආදායම් අහිමිවීමට ඉඩ තිබෙන බවත් වැඩිදුරටත් අධිකරණය වෙත කරුණු දක්වමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැවසීය.

     

    වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් පතා ඇති බව අධිකරණයට ඊයේ (05) පැවසූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සැකකරුවනට ඇප ලබාදීමෙන් ඉදිරි පරීක්ෂණ සඳහා බාධාවක් ඇතිවිය හැකි නිසාත්, මෙම වරද පොදු දේපළ විෂයෙහිලා සිදුකර ඇති වරදක් නිසාත් සැකකරුවනට ඇප නියම කිරීම සම්බන්ධව විරුද්ධ වන බව ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේය.

     

    පළමු සැකකරු වන බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පවසා සිටියේ සැකකරුවනට ඇප ලබාදීම සම්බන්ධව අධිකරණ අභිමතය පරිදි කටයුතු කළ හැකි බවයි.

     

    පළමු සැකකරුට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන මහතාගේ උපදෙස් මත සැකකරු අධිකරණ ශාලාව පැවැති උඩුමහලට රැගෙන නොපැමිණි බවත්, ඔහු හෘද රෝගී තත්ත්වයෙන් පෙළෙන බවත් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටි‍යේය.

     

    මේ කාලවකවානුව තුළ සැකකරුට හදිසි හෘද ආඝාතයක් (ස්ට්‍රෝක්) වුවද ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පවසා තිබෙන බවත්, මේ තත්ත්වය මත නැවත සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකළොත් හදිසි හෘදයාබාධයක් වුවද ඇතිවිය හැකි බවට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවත් පැවසූ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මෙම කරුණු සැකකරුට ඇප ලබාදිය හැකි සුවිශේෂී කරුණු ලෙසට සලකා බලන ලෙස ද ඉල්ලා සිටියේය.

     

    උපුටා ගැනීම - දිනමිණ පුවත්පත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya