අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිතුරන් හමුවේ මිතුදම් තරවේ

    මාර්තු 17, 2015

    ධම්මික සෙනෙවිරත්න

     

    ජාත්‍යන්තර සම්බන්ධතා විෂය ක්ෂේත්‍රයේදී අසල්වාසී රටවල් අතර සබඳතා බොහෝ දුරට විග්‍රහ කරගත හැකිවන්නේ පසමිතුරු සබඳතා වශයෙනි. එසේ වුවද, ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන අසල්වැසි රාජ්‍ය දෙක අතර ඉතිහාසයේ පටන්ම සමීප මිතුදමක් පවතී. එකී මිත්‍රත්වය දේශපාලන, ආරක්ෂක, වෙ‍ළෙඳ, සංස්කෘතික, ආගමික ආදී අංශ ගණනාවක් ඔස්සේ ගොඩනැඟී තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය දෙදින නිල සංචාරය අරඹමින් ඊයේ ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වූයේ එකී මිත්‍රත්වය සංකේතාත්මකව අරුත් ගන්වමිනි.

     

    මීට පෙර අවසන් වරට ඉන්දීය අගමැතිවරයකු ශ්‍රී ලංකාවට පැමිණියේ 2008 වසරේදී ය. ඒ අගමැති ආචාර්ය මන් මෝහන් සිං කොළඹ පැවැති සාර්ක් සමුළුවට සහභාගි වීමට කළ සංචාරයයි. අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයකු බලයට පත්ව ඇති පසුබිමක බැවින් මේ සංචාරය දෙසට වැඩි ජාත්‍යන්තර අවධානයක් යොමු වී තිබේ.

     

    ඊට වැඩි අවධානයක් යොමුවීමට බලපා ඇති තවත් කාරණයක් වන්නේ අගමැති මෝදි ඉන්දීය සාගරයේ පිහිටි රටවල් කිහිපයක කරන සංචාරයේ එක් අදියරක් වශයෙන් ශ්‍රී ලංකාවට ළඟාවීමයි. ශ්‍රී ලංකාව හැරුණු විට, ෂී ෂෙල්ස්, මුරුසිය, මාලදිවයින යන රටවල් ද ඉන්දීය අගමැතිවරයාගේ චාරිකාවට ඇතුළත් ය.


    දෙරට අතර සබදතා

     

    ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට පත්වී සිය පළමු විදේශ සංචාරය සඳහා තෝරාගත්තේ ද ඉන්දියාවයි. එම සංචාරය ද්විපාර්ශ්වික සබඳතා වඩා ශක්තිමත් කිරීමට බලපෑ අතර ද්විපාර්ශ්විකව වැදගත් ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද එහිදී සිදුවිණි. දෙරටේ මිත්‍රත්වය පිළිබඳ යම් සැක සංකා පැවැතියේ නම්, ඒවා පහකර හැරීමට ද එම සංචාරය රුකුලක් විය.

     

    ජනාධිපතිවරයාගේ සංචාරයට පෙර ඉකුත් මැතිවරණය නිමා වූ විගසම මෙන් නව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්දියාවේ සංචාරය කළ අතර ඉන්දීය අගමැතිවරයා මෙහි පැමිණීමට දින කිහිපයකට ඉහතදී ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය මෙහි සංචාරයක යෙදුණාය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ද පළමු නිල විදේශ සංචාරය සිදුකළේ ඉන්දියාවටයි. අගමැති මෝදි මහතා බලයට පත්වීමෙන් පසු එම දිවුරුම් දීමේ උත්සවයට ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහභාගි විය.

     

    ඉන්දු - ලංකා සබඳතාවල ඉතිහාසය දෙස විමසිලිමත් වන විට අශෝක අධිරාජ්‍යයාගේ සමය එහි ස්වර්ණමය පරිච්ඡේදය බඳුය. ලක්දිවට බුදු සමය රැගෙන ඒම, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩම කරවීම, දන්ත ධාතූන් වහන්සේ වැඩමවීම වැනි ශාසන ඉතිහාසයේ අතිශයින්ම වැදගත් කාරණා සටහන් වූයේ එම අවදියේ බැවිනි. එතැන් පටන් විවිධ වකවානුවල ශක්තිමත් හා සමීප රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දෙරට අතර තිබිණි. අප දෙරටම ආසන්න වකවානුවක යටත් විජිත තත්ත්වයෙන් නිදහස ලැබූ රාජ්‍යයන්ය.

     

    නිදහස් ඉන්දියාවේ පළමු අගමැතිවරයා වූ ශ්‍රීමත් ජවහර්ලාල් නේරු සහ ශ්‍රී ලංකාවේ 56’ විප්ලවයෙන් බලයට පත් එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමන් අතර සමීප මිත්‍රත්වයක් තිබිණි. අගමැති නේරුගේ පංචශීල ප්‍රතිපත්තිය, බණ්ඩාරනායක අගමැතිවරයා අනුගමනය කළ මැද මාවත, නොබැඳි ව්‍යාපාරයේ පුරෝගාමීන් හා ආරම්භක සාමාජිකයන් ලෙස දෙරටම කැපී පෙනීම වැනි කරුණු එකී සබඳතා වඩාත් අරුත් ගැන්වීය. ඉන්පසු ඉන්දිරා ගාන්ධි හා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියත් ඉන්දු - ලංකා සබඳතාවන්ගේ නව පරිච්ඡේදයක් ලියා තිබේ.

     

    ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව වශයෙන් හඳුනාගත් එල්. ටී. ටී. ඊ. බෙදුම්වාදී ත්‍රස්තවාදය විනාශකාරී අර්බුදයක් වූ දශක තුනකට ආසන්න කාලයේ දෙරට අතර සබඳතා වරින්වර පළුදු විය. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීම අරමුණු කළද ඉන්දියාව ද මේ අර්බුදයේ තීරණාත්මක පාර්ශ්වකරුවකු බඳුය. මුලදී දකුණු ඉන්දියාවේ එල්. ටී. ටී. ඊ. පුහුණු කඳවුරු පවා තිබිණි. එල්. ටී. ටී. ඊ. ය පිළිබඳ අනුකම්පා සහගත බවකින් ක්‍රියාකළ ඉන්දියාවට ඊට වන්දි ගෙවීමට සිදුවූයේ අගමැතිවරයකුව සිටි රජිව් ගාන්ධිගේ ජීවිතය එල්. ටී. ටී. ඊ. යේ ගොදුරක් වීමෙනි.

     


    තමිල්නාඩු සාධකය

     

    බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ඉන්දීය සාධකය නිවැරැදිව කළමනාකරණය කර ගැනීමට 2005 ට පසු හැකි විය. එය ශ්‍රී ලංකාව ලැබූ යුදමය ජයග්‍රහණයට බලපෑ එක් වැදගත් කාරණයකි. නමුත් තවදුරටත් දකුණු ඉන්දියාවේ දේශපාලනය පිළිබඳ බෙහෙවින්ම සංවේදී වීමට පැවැති කොංග්‍රස් පාලනයට සිදුවිය. අගමැති ආචාර්ය මන් මෝහන් සිංගේ සභාග රජය පවත්වාගෙන යාමේදී තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් ගේ සහාය නොතකා හැරිය නොහැකි වූ බැවිනි. මධ්‍යම රජයට සැලකිය යුතු බලපෑමක් කිරීමට ජයලලිතාට හැකි වූ අතර ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දීය රජයේ පිළිවෙත පවා ඒ අනුව තීරණය විය.

     

    ජිනීවා නුවර දී ශ්‍රී ලංකාවට එරෙහිව යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය වූ බවට චෝදනා එල්ල වූ විට ඉන්දියාව මුල් වටයේදී ඊට පක්ෂ වෙමින් අපට එරෙහි විය. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමෙන් ඉන්දීය අගමැතිවරයා වැළැකුණේ ද දකුණු ඉන්දීය සාධකය නිසා බව දේශපාලන යථාර්ථයයි. කොංග්‍රස් පාලනයේ අවසානය පෙනි පෙනී ජිනීවා හිදී ඉන්දියාව නැවතත් ශ්‍රී ලංකාවට නැඹුරු ස්ථාවරයක් වෙත මාරු වුවද ද්විපාර්ශ්වික සබඳතාවලදී දකුණු ඉන්දියාව තවදුරටත් තීරණාත්මක විය.

     

    කොන්ග්‍රස් පාලනයට දැවැන්ත පරාජයක් අත්කර දෙමින් භාරතීය ජනතා පක්ෂය ලැබූ ජයග්‍රහණයත් සමග නරේන්ද්‍ර මෝදි මහතා අගමැති පදවියට පත්වීම ඉන්දීය දේශපාලනයේ පමණක් නොව කලාපීය දේශපාලනයේද පරිවර්තනයක් ඇතිකිරීමට තරම් හේතු වූ කාරණයකි. ඉන්දියාවේ ශක්තිමත් රජයක් බිහිවීම ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවන්ට ද සුබදායී බලපෑමක් ඇතිකළේය. දකුණු ඉන්දියාවේ එල්. ටී. ටී. ඊ. හිතවාදී බලවේගවලට ද විශාල පරාජයක් ඉන් අත්වූ අතර ඉන්දු - ලංකා සබඳතා හැසිරවීමට ඔවුන්ට තිබූ ශක්තිය ඉන් ගිලිහිණි.


    නව ප්‍රවේශයක්

     

    නව වෙනස්කම් සමඟ අලුත් හුස්මක් ගෙන සිය අසල්වැසි මිත්‍රයා දෙස බලන්නට ඉන්දියාවට දැන් අවස්ථාව උදා වී තිබේ. ඒ අතර ශ්‍රී ලංකාවට ද අලුත් ප්‍රවේශයකින් ඊට අවතීර්ණ වීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පාලනය යටතේ අවකාශය ලැබී තිබේ. නොබැඳි පිළිවෙතේ මූලධර්ම මත පදනම්ව නව රජයේ විදෙස් පිළිවෙත ක්‍රියාත්මක වන බව ප්‍රකාශ වී ඇත. නිදහසින් පසු ශ්‍රී ලංකාව බොහෝ දුරට අනුගමනය කළේ එවැනි විදෙස් පිළිවෙතකි. නොබැඳි ව්‍යාපාරය වත්මන් ලෝක දේශපාලන සන්දර්භය යටතේ එදා තරම් බලවත් නැතත් එහි හරය අදට ද අදාළය.

     

    තවදුරටත් බල කඳවුරු දෙකක් නොපැවතුණද ස්වෛරී රාජ්‍යයන් ලෙස නැඟී සිටීමට නොබැඳි මූලධර්ම විශාල මඟපෙන්වීමක් කරයි. ආසියානු කලාපීය බලවතුන් තිදෙනා වන චීනය, ජපානය හා ඉන්දියාව කලාපීය බල - දේශපාලන ආධිපත්‍ය ගැන උනන්දුය. දේශපාලන - වෙ‍ළෙඳ - මිලිටරි ආදී ක්ෂේත්‍ර ගණනාවක ඔවුන් අතර විශාල තරගයක් ද තිබේ. විශේෂයෙන් චීනය හා ඉන්දියාව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්කර ගන්නා රටවල් වශයෙන් පෙරට එමින් සිටී. දැනටමත් චීනය ලොව දෙවන ආර්ථික බලවතාය. වැඩිකල් නොයා චීනය ලෝක ආර්ථික බලවතා වනු ඇතැයි පුරෝකථනයන් කෙරී ඇත.

     

    එසේ තිබියදී චීනය ඉන්දීය සාගර කලාපයේ ආධිපත්‍ය පැතිරවීම ලෝක බලවතා වන අමෙරිකාවට බලවත් ප්‍රශ්නයක් වී තිබේ. අමෙරිකාව වෑයම් කරමින් සිටින්නේ ආසියානු කලාපයේ ආධිපත්‍ය තමන්ට නතුව තබාගැනීමටයි. එහිදී ඉන්දියාව යනු අමෙරිකාවට නැතිව බැරි මිතුරෙකි. ඒ බව මේ වන විට බෙහෙවින් ශක්තිමත්ව ගොඩනැඟී ඇති ඉන්දු - අමෙරිකා සබඳතාවලින් සනාථ වෙයි. මේ කාරණය ශ්‍රී ලංකාවට ද සංවේදීය. චීනය ද ශ්‍රී ලංකාවේ සමීප මිතුරකු වන අතර විශේෂයෙන් පසුගිය දශකයක පමණ කාලය තුළ නොපැකිළව හා අහිතකර කොන්දේසිවලින් ‍තොරව මෙරටට යුද හා සංවර්ධන ආධාර ලබාදීමට චීනය නොපැකිළිණි.

     

    චීනයේ නව ජනපති ෂී ජින්ග් පිංග් මහතා මීට මාස කිහිපයකට පෙර මෙරට චාරිකාවක ද යෙදුණු අතර ඔහු විසින් ක්‍රියාවට නංවමින් ඇති “මුහුදු සේද මාවත” නම් සංකල්පයට ශ්‍රී ලංකාව ද සහාය පළකර තිබේ. ශ්‍රී ලංකාව චීනයට වඩාත් සමීපවීම ඉන්දියාවේ නොකැමැත්තට හේතුවක් බව මෑත කාලීන ලාංකේය දේශපාලන ප්‍රවණතා දෙස විමසිලිමත්ව බලන විට තේරුම් ගැනීම අපහසු නැත. ඉන්දීය අගමැතිවරයා කලාපීය රටවල් කිහිපයක සිදුකරන සංචාරය පිළිබඳ ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ එය ඉන්දීය සාගරයේ ඔවුන්ගේ බල ආධිපත්‍ය පවත්වා ගැනීම සමඟ සම්බන්ධ කාරණයක් ද වන බවයි. චීනයට එම ආධිපත්‍ය ගොඩනැඟීමට බාධා ඇතිවන පරිදි ඉන්දියාව කලාපීය රටවලට වැඩි වැඩියෙන් අනුග්‍රහයන් සහ ආධාර පිරිනමනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති. කෙසේ වෙතත් මේ වන විට ඉන්දියාව හා චීනය අතර සබඳතා ද වර්ධනය වෙමින් තිබේ.


    කලාපීය ගැටලු

     

    ශ්‍රී ලංකාව ඉන්දියාවේ මෙන්ම චීනයේ ද සමීප මිතුරෙකි. නිර්මාණය වී ඇති නව අවකාශය එකී දෙරට සමඟම ශක්තිමත් සබඳතා ගොඩනැඟෙන පරිදි මෙහෙයවා ගැනීම උපයා මාර්ගිකව කළ යුත්තකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉදිරියේදී චීනයේ සංචාරයක යෙදීමට නියමිතය. ඒ අනුව මේ දෙරට සමඟම අපට ඇති සබඳතා උපාය මාර්ගිකව නිවැරදි ලෙස කළමනාකරණය කරගත හැකි නම් එය ශ්‍රී ලංකාවේ අනාගතයට බෙහෙවින් හිතකරය.

     

    ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ හවුල්කරුවාය. ද්විපාර්ශ්වික වෙළෙඳාම 2014 වර්ෂයේදී ඇ. ඩො. බිලියන 5 ක් පමණ විය. දෙරට අතර විශාල වෙළෙඳ පරතරයක් පැවැතීම නිසා ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධනය ගැන ඉන්දියාවේ අවධානය යොමු වී තිබේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරයේදී ද ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයක්ම ඇතිකර ගැනුණි. දෙරට අතර ඇතිවූ න්‍යෂ්ටික ආරක්ෂක සහයෝගිතා ගිවිසුමට ඉන් විශේෂ අවධානයක් යොමුවිය.


    ආර්ථික වාසි

     

    තිස් අවුරුදු යුද්ධය නිමාවීමෙන් පසු විශේෂයෙන් උතුරු පළාතේ නිවාස ඉදිකිරීම, දුම්රිය මාර්ග ඉදිකිරීම වැනි කාර්යයන්ට ඉන්දියාව ආධාර ලබා දෙමින් සිටී. ද්විපාර්ශ්වික සබඳතා ආර්ථික සහයෝගිතාව, වෙළෙඳාම, ආයෝජන ප්‍රවර්ධනය, සංවර්ධන සහයෝගිතාව, යටිතල පහසුම් නැංවීම, බලශක්තිය, ප්‍රවාහනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ශක්තිමත් කෙරෙන බව ඉන්දීය විදේශ ලේකම් විජය ශංඛර් පවසා ඇත. ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමය ශක්තිමත් කිරීම ගැන ද ඉන්දියාව උනන්දුය.

     

    දෙරට අතර වරින්වර මතුවන ධීවර ප්‍රශ්නය වැනි සංවේදී ප්‍රශ්න මේ දක්වා සාකච්ඡා මාර්ගයෙන් යම් තාක් නිරාකරණය කරගෙන ඇත. ඊට තිරසාර පිළියම් යෙදීම ගැන අවධානය යොමුකළ යුතු වෙයි. මෝදි අගමැතිතුමාගේ සංචාරය නිමිතිකොට මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයන් 86 දෙනෙකු නිදහස් කර තිබේ. සිය ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ දැනුම් දෙමින් මීට දින කිහිපයකට පෙර අගමැති මෝදි ප්‍රකාශ කර තිබුණේ තමන් එය අරඹන්නේ විශාල සතුටකින් සහ විශ්වාසයකින් යුතුව බවයි.

     

    ශ්‍රී ලංකාව යනු ඉන්දියාවට අතිශයින්ම වැදගත් අසල්වැසියා බව කියා සිටි ඔහු, සිය සංචාරයත් සමඟ ද්විපාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළකර තිබිණි. ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ වාර්තාවක් පළකරමින් “ඉකොනොමික් ටයිම්ස්” පුවත්පත කියා සිටියේ, එය දෙරට අතර බෝට්ටු සේවාවක් පටන් ගත්තාක් බඳු බවයි.

     

    උපුටා ගැනීම - දිනමිණ පුවත්පත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya