ඔක්තෝබර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 50 වන උපාධි ප්‍රදානෝත්සවය 28 වනදා ඇරඹෙයි

    ඔක්තෝබර් 23, 2024

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 50 වන උපාධිප්‍රදානෝතසවය මෙම මස 28, 29 හා 30 යන දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්. එම්. පද්මලාල් මහතා සඳහන් කරයි.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මේ බව පැවසුවේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 50 වන උපාධි ප්‍රධානෝත්සවය වෙනුවෙන් පැවැත්වූ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
    2024 වසරේ 50 වන උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වීමට ලැබීම ආඩම්බරයක් බව කියා සිටි උපකුලපතිවරයා මෙම විශ්වවිද්‍යාලය ආරම්භ වන්නේ විශ්වවිද්‍යාලයක් ලෙස නොව පිරිවෙනක් වහයෙන් බවද පැවසුවේය. එනම් 1873 වසරේ මාලිගාකන්ද පිරිවෙන ලෙස ආරම්භ වන මෙහි ආරම්භකයා වනුයේ මහානායක සුමංගල හිමියන් බවද 1959දී මෙම පිරිවෙන විද්‍යෝදය විශ්වවිද්‍යාලය බවට පත්වුණු බවද සිහිපත් කළේය.
    1959 දී ඇරඹි විද්‍යෝදය විශ්වවිද්‍යාලය පීඨ 05කින් සහ අඩු ශිෂ්‍ය සංඛ්‍යාවකින් ඇරඹුණු බවද එකල උපාධි අපේක්ෂකයන් වූයේ පැවිදි පාර්ශවය බවද පැවසුවේය. 1978දී විද්‍යෝදය විශ්වවිද්‍යාලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බවට පත්වුණු බවද මෙවන් දුර ගමනක් පසුකරමින් පැමිණි විශ්වවිදයාලය අද පීඨ 11 කින් සමන්විත වන බවද අවධාරණය කළේය.
    මුල්ම උපාධි ප්‍රධානෝත්සවය 1960 වර්ෂයේ සිසුන් 50කට අඩු පිරිසක් උපාධිදාරීන් බවට පත්වූ බවද මෙම වසරේ එනම් 2024දී පැවැත්වෙන 50 වෙනි උපාධි ප්‍රධානෝත්සවයට උපාධි අපේක්ෂකයන් 3999ක් උපාධිධාරීන් බවට පත්වීමට නියමිත බවද පැවසුවේය.
    අභ්‍යන්තර සාමාන්‍ය උපාධිය හදාරන ශිෂ්‍යයන්ට අමතරව පශ්චාත් උපාධි හදාරන උපාධි අපේක්ෂකයින්ද මෙහිදී උපාධි ලැබීමට නියමිත යැයිද සඳහන් කළේය. විශ්වවිද්‍යාලයක් ලෙස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විශාල දියුණුවක් ලබා ඇතැයිද ශිෂ්‍ය සංඛ්‍යාව අනූව වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් අභ්‍යන්තරව උපාධි හදාරන විශ්වවිද්‍යාලය මෙය බවද පැවසුවේය.
    අභ්‍යන්තර ශිෂ්‍යයන් 16.800කට අධික පිරිසක්ද පශ්චාද් උපාධි හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව 3500ක් පමණ වන බවද සඳහන් කළේය. මෙලෙස දියුණුවක් ලැබූ විශ්වවිද්‍යාලයේ අධ්‍යයනාංශ 86ක ප්‍රමාණයක් ඇතැයිද 2019 වසරෙන් පසු නව පීඨ 04ක් හඳුන්වාදුන් බවද මෑතකදී පරිගණක විද්‍යා පීඨය හා දන්ත විද්‍යා පීඨය හඳුන්වාදීමද සිහිපත් කළේය.
    මෙම සෑම කටයුත්තකින්ම රටේ තිරසාර සංවර්ධනයට දායක වන දක්ෂ, කාර්යශූර, අධ්‍යාපනයෙන් හොඳ ස්ථානයකට පත්වූ දරුවන් පිරිසක් විශ්ව විද්‍යාලය මගින් රටට දායාද කිරීමට බලාපොරොත්තු වන බවද, සියලුම පීඨවලින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට අමතරව බාහිර කුසලතා සංවර්ධනය වන අයුරින් කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසුවේය.
    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පර්යේෂණ සම්බන්ධයෙන්ද ඉහළ තත්ත්වයක සිටින විශ්ව විදයාලයක් බව පැවසූ උපකුලපතිවරයා රටේ සහ ලෝකයේ අවශ්‍යතා හඳුනාගෙන අදාළ පීඨ තුළ පර්යේෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇතැයිද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya