“ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ නායකත්වය යටතේ වත්මන් රජය මෙරට කෘෂිකර්මාන්තය සහ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයන් නංවාලීම සඳහා දැවැන්ත වැඩපිළිවෙලවල් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.විශේෂයෙන් ම අපි දන්නවා පසුගිය වසර දෙකක කාලය තුළ මේ රටේ සමහර ප්‍රදේශවල විධිමත් පරිදි වර්ෂාව නොලැබීම නිසා කන්න පහක් වගා පාළුවීම් සිදු වුණා.2017 වසර තුළ නියං සහනාධාර වශයෙන් රු.මි.38,000 ක මුදලක් අපි ගොවි ජනතාවට ලබා දුන්නා.එපමණක් නොවෙයි, බෝග වර්ග හයක් සඳහා දැන් නොමිලයේ ම කෘෂි රක්ෂණය ලබා දෙනවා.ඒ යටතේ මිරිස්,වී,සෝයා බෝංචි, අර්තාපල්,බී ලූණු සහ බඩඉරිඟු වගාකරන ගොවීන්ට වගා හානියකදී හෙක්ටයාර් එකකට රු.ලක්ෂයක් බැගින් වූ වන්දියක් අපි ලබාදෙනවා.ඒ සඳහා රජය මේවනවිටත් රු.මි.5,228ක මුදලක් අදාල බැංකු වෙත ලබා දී අවසන්.ඒ නිසා අපි කියන්නේ දැන් ගොවීන්ට බය නැතුව වගා කරන්න කියලා” යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසී ය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (12) පෙරවරුවේ නිකවැරටිය,මහගිරිල්ල, ගල්කඩවල මහවැව දී ආරම්භ වූ “වැව් දහසක් - ගම් දහසක්” සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට සහභාගී වෙමිනි. “වැව් දහසක් - ගම් දහසක්” සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඊයේ දිනය තුළ දිවයිනේ ග්‍රාම සේවා වසම් 300 ක පිහිටි වැව් 300ක් ප්‍රතිසංවර්ධනය කිරීම ඇරඹිණි. ග්‍රාමීය කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා අරඹන ලද මෙම වැඩපිළිවෙල යටතේ එම කටයුතුවලට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැය කිරීමට යෝජිත මුදල රු.මි.9000කි. එහි සමාරම්භය සනිටුවහන් කරමින් ප්‍රධාන උත්සවය මහගිරිල්ල වැවේ දී සුබ මොහොතින් පැවැත්විණ. අයියනායක දෙවියන් , ගම්භාර දෙවියන් හා කඩවර දෙවියන්ට චාරිත්‍රානුකූලව පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව වැව් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹිණි.
මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ අමාත්‍යවරයා “අපේ රටේ වැව් පද්ධතිය දශක ගණනාවක් තිස්සේ කිසිදු ප්රතිසංස්කරණයකට ලක්කර නැහැ. එම නිසාම මේ වැව්වලට අවශ්‍ය තරම් ජලය රඳවා ගැනීමේ හැකියාවක් නෑ. සමහර වැව් ගොඩ වෙලා. තව සමහර වැව්වල වැව් කණ්ඩි කඩාගෙන ගිහින්. තවත් සමහර වැව් සැල්වීනියා, ජපන්ජබර වගේ ආගන්තුක ශාකවලින් වැහිලා. ගම්වල ගොවි ජනතාව අපෙන් ඉල්ලා සිටින්නේ මහලොකු දේවල් නෙවෙයි. ඔවුන් කියන්නේ මේ වැව් ටික හදාදෙන්න අපි වගාකරන්නම් කියලා. ඒ නිසා තමයි රජය මේ වසරේ සිට ග්‍රාම සංවර්ධනය උදෙසා ඉතිහාසයේ දැවැන්තම වැඩපිළිවෙල ආරම්භ කර තිබෙන්නේ”.
“ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ග්‍රාම ශක්ති වැඩපිළිවෙල යටතේ වැව් සහ ගම් සංවර්ධනයට රු.මි. 12,000ක් වෙන්කර තිබෙනවා. ඒ වගේම ගම්පෙරළිය වැඩසටහන යටතේ ග්‍රාම සංවර්ධනයට රු.මි. 65,000ක මුදලක් මේ වසරේ වැය කරනවා.අපිත් කෘෂිකර්ම අමාත්‍යාංශය විදිහට රු.මි.9000ක මුදලක් වැව් හදන්න වැය කරනවා. මේ තරම් දැවැන්ත මුදලක් ග්‍රාම සංවර්ධනයට වැය කළ ආණ්ඩුවක් මින් පෙර තිබී නෑ. ඕනම කෙනෙක් එක්ක ඒ ගැන විවාද කරන්න මම සූදානම්. අද සමහර මාධ්‍යවල පළවන ප්රවෘත්ති දිහා බලපුවාම මේ රට හරියට විශාල මහනුවර වගේ වෙලා තමයි දැනෙන්නේ. නමුත් අපේ රජය කරන කිසිදු සංවර්ධන වැඩපිළිවෙලකට සමහර මාධ්‍ය ප්‍රචාරය ලබාදෙන්නේ නෑ. ඔවුන් උදේ ඉඳන් රෑ වෙනකන් මාධ්‍යවලින් පෙන්නන්නේ මිනී මැරුම් ඉහළ ගිහින්, ස්ත්‍රී දූෂණ ඉහළ ගිහින් වගේ හැගීමක් එන විදිහට. නමුත් රටේ එහෙම අපරාධ රැල්ලක් නැහැ. සිදුවීම් සිදුවෙනවා. ඒක කවදත් තිබුණු දෙයක්. අලුත් දෙයක් නෙවෙයි.
“බන්ධනාගාරගතව සිටින කුඩු ජාවාරම්කරුවන් තිස්දෙනෙක් බන්ධනාගාරය ඇතුළේ ඉඳගෙනම කුඩු ව්‍යාපාර මෙහෙයවනවා. ඒ නිසා තමයි පසුගිය කැබිනට් මණ්ඩලයෙදිත් අපි තීරණය කළේ, මේ කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවට ලබාදෙන්න. ගරු ජනාධිපතිතුමා ගෙන ආ යෝජනාවට මුළු අමාත්‍ය මණ්ඩලයම ඒකමතිකව අනුමැතිය ලබාදුන්නා. දැන් සමහරු ඒකටත් විරුද්ධ වෙලා විවිධ අදහස් ප්‍රකාශ කරනවා. කවුරු මොනවා කිව්වත් මේ කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා”.
“මේ වැව් සකස් කිරීම ඉතා ඉක්මනින් ම සිදු කළ යුතුයි. තව මාස දෙකකින් වැස්ස ලැබෙනවා. ඊට පෙර මේ කටයුතු අවසන් කළ යුතුයි. මෙම මාස් කන්නයේ ගොවීන්ට හිඟයකින් තොරව ජලය ලබාදීම අපේ අරමුණයි. මම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා නිරන්තරයෙන් මේ කටයුත්ත අධීක්ෂණය කළ යුතු බවට. මේ කටයුතු හරියට සිද්දවෙන්නේ නැත්නම් ගොවිජනතාවටත්, ගොවි සංවිධානවලටත් පුළුවන් මට දැනුම් දෙන්න. එතකොට මම මේ සම්බන්ධයෙන් වගකිවයුතු අය පිළිබඳව අවශ්‍ය පියවර ගන්නවා. ඒ නිසා ගොවිජනතාවට බියකින් සැකයකින් තොරව වගාකිරීමට අවශ්‍ය පහසුකම් සියල්ලම අපි ලබාදෙනවා” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
මෙම අවස්ථාවට අභ්‍යන්තර සබඳතා, වයඹ සංවර්ධන හා සංස්කෘතික සබඳතා අමාත්‍ය එස්.බී.නාවින්න සහ නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක යන ඇමතිවරු ද අමාත්‍යාංශයේ ලේකම් බී.විජයරත්න ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්.එම්..එම්.බී. වීරසේකර සහ අතිවිශාල ජනතාවක් ද සහභාගී වී සිටිය හ.