කන්ද උඩරට සෙංකඩගලපුර පිහිටා ඇති ශ්‍රී දළදා මාලිගාව, ලංකාවේ රාජ්‍යත්වය සහ සංස්කෘතියත් සමඟ බැදුනු සුවිශේෂී සංකේතයක් ය. මේ හේතුව නිසාම කවර තත්ත්වයෙක් වූවද උතුම් දළදා වහන්සේට අනුබද්ධ පුද පූජා, සිරිත් විරිත් පැවැත්වීම අනිවාර්ය අංගයක් ලෙස ලාංකීය සම්ප්‍රදාය තුළ පවතී. කලින් කලට රාජ්‍යයත්වයට පත්වෙන රාජාධි රාජ නායකයාගේ ප්‍රථම යුතුකම හා වගකීම විය යුත්තේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ජීවමාන බුදුන් වහන්සේ ලෙස ගෞරවාදරයට පත්ව ඇති සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් උත්තම පූජා පැවැත්වීමයි. රටේ කුමන ප්‍රශ්නයක් පැවතුනද, ඒකී කිසිම මොහොතක පමා නොවී දළදා වහන්සේට පුද පූජා සත්කාර කිරීමට බලයේ සිටි රජවරු කටයුතු කළ බවත්, ඉංග්‍රීසි ආණ්ඩු සමයේ පවා එය අත් නොහැර දළදා සමිදුන්ට පුද පූජා පැවැත්වූ බවත් ඉතිහාස පත පොතේහී සඳහන් වේ.
කලට වැසි ලැබ, රටට සමෘද්ධිය, සෞභාග්‍යය, සමගිය හා සමාදානය ප්‍රාර්ථනා කොට දැහැමි සමාජයක් නිර්මාණය කරගැනීමේ අරමුණෙන් පැවැත්වෙන දළදා ප්‍රදර්ශන මහෝත්සව හේතුකාරණා කීපයක් නිසාම ඉතා සුවිශේෂි වන්නේය. බුද්ධ පරිනිර්වාණයෙන් පසු දළදා වහන්සේගේ හිමිකාරීත්වය ලබා ගැනීමට එවකට රජකම් කළ සෑම රජ කෙනෙකුම අසීමිත උත්සාහ දෑරූ බව අතීත මූලාශ්‍රයන්හි සදහන් වේ. මේ නිසාවෙන් ම ප්‍රාදේශීය නායකයන් අතර යුද්ධ පවා ඇති වූ බවට ඉතිහාසයේ සඳහන් වේ. අප ලොව්තුරා සම්මා සම්බුදුරදුන්ගේ ආදාහන සෑයෙන් ලබාගත් සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණා විසින් පාලක පිරිස් වෙත ලබා දුන් බව සඳහන් වෙන්නේ දීඝනිකායේ අටුවාවේය. දාඨාවංශයේ සඳහන් විදිහට දළදා වහන්සේ ලබා ගැනීමට මුල්ම ප්‍රයත්නය දරා ඇති ශ්‍රී ලාංකීය රජු ලෙස පිළිගනු ලබන්නේ මහසෙන් රජුය. අනතුරුව ගෘහසීව රජු රහසේම දළදා වහන්සේ ලක්දිවට වැඩමවීමටත්, හේමාමාලා කුමරිය සහ දන්ත කුමරු මහා සාගරය තරණය කොට ආරක්ෂා සහිතව මහා පඨ්ටනෙන් ශ්‍රී ලංකාවට දන්තධාතූන් වහන්සේ වැඩමවා වදාළ බව එහි සඳහන්වේ.
එමෙන්ම ක්‍රි.ව. 455 පෙර කිත්සිරිමෙවන් රජු දළදා වහන්සේ අනුරාධපුර රාජධානියේ මේඝගිරි විහාරයේ තැන්පත් කොට පුද පූජා පැවැත්වූ බව සඳහන් වේ. එම කාල වකවානුවේ සිට වසරක් පසා දළදා වහන්සේ උදෙසා මහජන ගෞරව, පුද පූජා පැවැත්වූ බව පාහියන් හිමියන්ගේ විස්තරයේ සඳහන් වේ. කෙසේ නමුදු උතුම් දළදා වහන්සේ මහජන ප්‍රදර්ශනයකට මූලිකත්වය දීමක් පිළිබඳ මහාවංශය සඳහන් වන්නේ නැත. නමුත් දාඨාවංශයට අනුව නිශ්ශංකමල්ල රජු විසින් දළදා වහන්සේ නිශ්ශංකලතා මණ්ඩපයට වැඩමවා මහජන ප්‍රදර්ශනයක් පැවත්වූ බවට ඉතිහාස සාක්ෂි දරයි. දළදා වහන්සේ පාලකයෙකුට අයත් වීම එම පාලකයාට රාජ්‍යයට නීතිමය උරුමයක් ඇති බවට වන සම්මතයක් ලෙස පාලක පිරිස අතර වගේම ජනතාව අතරද ගොඩනැගුනේ පොළොන්නරු රාජධානි සමයෙන් පසුවය.
දළදා සමිදුන් උදෙසා දිනකට තෙවරක් පුද පූජා පැවැත්වීම ආරම්භ කර ඇත්තේ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා විසින් ය. එමෙන්ම ඔහු තමා උපන් සිරිවර්ධනපුරයට දළදා වහන්සේ වසරක් පාසා වැඩම කරවා, තෙමසක් මුළුල්ලේ මහජන ප්‍රදර්ශන පවත්වා ඇත. මෙකී හේතු නිසාම එකල ජනයා මහත් උද්දාමයට පත්ව රජු කෙරෙහි දැඩි ගෞරව භක්තියක් පුද කල බවත්, සිය පියාණන් වූ තෙවැනි විජයභාහු රජු විසින් ඉදිකළ විජය සුන්දරාරාමයට දළදා වහන්සේ වැඩම කරවා පෙරහැර පවත්වා මහත් හරසර දක්වා ඇති බව දාඨා වංශයේ සඳහන්ව තිබේ. එළු දළදා වංශය නම් නම් සාහිත්‍ය කෘතියට අනුව සෙංකඩගලපුර හෙවත් මහනුවර නායකත්වයට පත්වුණ විමලධර්ම සූරිය රජතුමා පෙර සිරිතට අනුව දළදා පූජා පවත්වා දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට නීති රීතිද පනවා, රත්තරන් වස්ත්‍රාභරණයෙන් දළදා හිමියන් සරසා ඇත. නායක්කර් වංශයේ පළමු පාලකයා වුණ විජය රාජසිංහ රජතුමා දිනපතා දළදා පුද පූජා දේවකාරියක් මෙන් සළකා දිනපතා සිදුකර ඇති බවට සදහන් වේ. දිනක් විජය රාජසිංහ රජතුමා දළදා කරඩුව විවෘත කොට දළදා වහන්සේ දැක ඉමහත් ප්‍රීතියට පත්ව, ඒ මහජනයාගේ සුබ සිත පිණිස සහමහජනයාගේ ප්‍රීතිය උදෙසා එතුමා තම දරුවන් සමඟ විශාල උත්සවයක් පවත්වා, වර්ෂ ගණනාවකට පසුව දළදා වහන්සේ මහ ජනතාවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු සංවිධානය කර ඇත. එමෙන්ම මහජන ප්‍රදර්ශනය උදෙසා දළදා සමිඳුන් වැඩසිටි භූමිය මහනුවර නගරයක් දුටුවන්නට සිත පිනා යන පරිදි සරසා, අලංකාර කර දන්සල් ආදිය ඉදිකර ඇති බවත් මහාවංශය සනාථ කරනු ලබනවා.
දඹදෙණියේ රජකම් කළ පණ්ඩිත පරාක්‍රම රජ දවස දීර්ඝ කාලීන නියඟයක් හේතුවෙන් රටවැසියෝ ඉමහත් පීඩාවකට පත්ව බෝග වගාවන් පාලුවට ගොස්,කුසට හරියට ආහාර නැතිව රට වැසියා අසරණ තත්ත්වයට පත්ව සිටිනවා දැක පණ්ඩිත පරාක්‍රම රජු විසින් දළදා වහන්සේ පෙරහැරින් වැඩමවා පුද පූජා කොට වැසී වැසීමට සත්ක්‍රීයා කලබව ඉතිහාසයේ සදහන් වේ. එවිටම මහවැසි වැටි වැව් පොකුණු පිරේ බව භෝග සරුවේ රටම සශ්‍රීකත්වයට පත්ව ඇත. මෙකී ආකාරයට ශ්‍රී දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය බවට පත්ව රාජධානියෙන් රාජධානියට වැඩම කළ බව පුද පූජා කිරීමට රජවරු පියවර ගෙන ඇත. සිංහල අවසන් රාජධානිය වූ කන්ද උඩරට රාජධානිය රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දළදා වහන්සේ කෙරෙහි අපමණ බැතියෙන් පුද පූජා කළ ශ්‍රද්ධාවෙන් අනූන රජෙකි. රජු සිය දිගුකෙස් පැටිය කපා ඉන් බුස්නක් බැද දිනපතා දළදා කුටිය අමදින්නට යොදාගෙන ඇත. එමෙන්ම තමන් සතු සියලුම සම්පත් දළදා වහන්සේ උදෙසා පූජා කල රජු දෛනික පුද පූජාවන්ද නොපිරිහෙළා ඉටු කර ඇත. දිනක් කීර්ති ශ්‍රී රාජසිංහ රජු දළදා වහන්සේගේ කිසියම් ප්‍රාතිහාර්යයක් දැකීමට ආසාවෙන් දළදා තේවාව භාරව සිටි නාහිමියන්ගේ අවසරය සහ උපදෙස් අනුව සුවද පැනින් නා, සුවද පැණින් ගිල් වූ රාජාභරණ පැළද, දළදා සමිදුන් වැඩ හිඳිනා ගන්ධ කුටියට ඇතුළු වෙනවාත් සමඟම එම කුටිය සුදු බුදු රැසින් ඒකාලෝකව බැබළෙමින් තිබෙන දුටු රජු බුද්ධාලම්බන ප්‍රීතියෙන් තමන් පැළඳ සිටි සියලුම රන් රිදී ආදිය දළදා සමුදුන් උදෙසා පූජා කලබවට ඉතිහාසය සාක්ෂි දරයි.
කන්ද උඩරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසි පාලකයන්ගේ ග්‍රහණයට ගැනීමත් සමගම ක්‍රි.ව 1815 වසරේදී එම මළුවේදී අත්සන් තැබුණු උඩරට ගිවිසුමත් සමග නිල වශයෙන් ලක්දිව ඉංග්‍රීසීන්ගේ යටත්විජිතයක් බවට පත්විය. ගිවිසුමේ සඳහන් පරිදි ඉංග්‍රීසින් කටයුතු නොකිරීම නිසා කෝපයට පත් සිංහල නායකයන් ක්‍රි.ව 1818 වසරේදී දියත් කළ ඌව වෙල්ලස්ස කැරල මැඩ පවත්වා මහජන සංහාරයක් සිදු කළ ඉංග්‍රීසින් වසර දහයක් දළදා පෙරහර හෝ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ඉඩ ලබාදී නොමැත. මෙම කාලය තුළ වැස්ස නොමැතිව මහා දුර්භික්ෂ තත්වයක් ඇතිව වූ අතර, මේ හේතුව නිසාම සිංහල ජනයා වගේම ඉංග්‍රීසිදු මහත් පීඩාවට පත්වීම නිසාවෙන් අවසානයේ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා කරකියාගත දෙයක් නොමැතිව ක්‍රි.ව 1828 මැයි 29 වන දිනට යෙදුණු වෙසක් පුර පසළොස්වක පොහෝ දින දළදා ප්‍රදර්ශනයක් සමගම පෙරහරක් පැවැත්වීමට අවසර ලබා දීය. මෙය ඉංග්‍රීසි පාලනයට රට යටත් වීමෙන් පසුව පැවැත්වුණු ප්‍රථම දළදා ප්‍රදර්ශනය විය. දළදා වහන්සේ වැඩසිටින ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින මාළිගයෙන් මහමළුවට වැඩමවා පෙරහැර ආරම්භ කරනවත් සමගම මහා මැසි වැටි මුළු නුවරම ජලයෙන් යට වූ බව ඉතිහාසය සඳහන් වේ. එලෙස සිදී ගොස් තිබූ ගංගා ඇළ තුළ වැව් සියල්ල ජලයෙන් පිරී ගොස් මහා ජල කඳක් බෝගම්බර වැවට පැමිණීමෙන් වැව පිටාර ගැලු අතර එය දළදා වතුර නමින් ඉතිහාසය සඳහන් වේ.
ඉංග්‍රීසි පාලනයෙන් පසු සුවිශේෂී අවස්ථා කිහිපයකදී ම දළදා ප්‍රදර්ශනයන් පවත්වා ඇත. විශේෂයෙන් ම ක්‍රි.ව 1982 පෙබරවාරි 7 වෙනිදින සිට 14 වෙනිදා දක්වා මහජන ප්‍රදර්ශනය සඳහාත් , ක්‍රි.ව 1992 ජූලි 8 වන දින සිට ලෝක බෞද්ධ සම්මේලනයේ නියෝජිතයන් සඳහාත්, ක්‍රි.ව 1991 මාර්තු 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා මහජනතාව උදෙසාත්, ක්‍රි.ව 1995 පෙබරවාරි 27 සිට මාර්තු 12 දක්වාත් දළදා ප්‍රදර්ශනයන් පවත්වා ඇත. සියම් දේශයේ සිට වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේ සියම් උපසම්පදාව ලංකාවට ගෙනවිත් වර්ෂ 250ක් සපිරීම නිමිත්තෙන් 2004 වර්ෂයේ අප්‍රේල් 17 සිට මැයි 1 වෙනිදා දක්වා විශේෂිත දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූ බව සදහන් වේ. ඉන් අනතුරව 2006 වර්ෂයේදී අගෝස්තු 12 වෙනිදා දින ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයට සහභාගිවූවන් සදහාත් දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත. වසර හතරකට පසුව වර්තමාන දියවඩන නිලමේතුමන් වන ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා විසින් සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතාව උදෙසා 2009 මාර්තු 6 වන දින සිට දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත. මේ කාල වකවානුව තුළ ලංකාවේ අවසන් යුද සමය නිසා නියම කරගත් දින කිහිපය තුළ පැවැත්වීමට අවකාශ ලැබී නැත. ඉන් අනතුරුව 2009 නොවැම්බර් මාස 13 වෙනිදා දින මියන්මාර ජනාධිපතිතුමන් ඇතුළු පිරිස ලංකාවට පැමිණීම සිහිපත් කරමින් දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත. අනතුරුව 14 වන අන්තර්ජාතික වෙසක් දින උත්සවය ලංකාවේ පැවැති අවස්ථාවෙදී විදේශීය දූත පිරිස උදෙසා 2017 මැයි 14 වන දිනය ප්‍රදර්ශන කටයුතු සිදුකර ඇත. ඉන් අනතුරුව නේපාල ජනාධිපතිතුමා තායිලන්ත අගමැතිතුමිය ආදී කොට අති විශේෂිත දූත පිරිස් ලංකාවට පැමිණි අවස්ථාවලදී දළදා හාමුදුරුවන් වහන්සේ ප්‍රදර්ශනය කර ඇත. එම අවස්ථාවන්වලදී විශේෂයෙන් ලංකාවාසී කිහිප දෙනෙකුට පමණක් එම අවස්ථාව හිමිවී ඇත. දළදා ප්‍රදර්ශනය අතීතයේ සිට මේ ආකාරයට ප්‍රදර්ශන කටයුතු සිදුකර තිබේ. සුවිශේෂිත වූ පුද්ගලයන් ලංකාවට පැමිණි අවස්ථාවන් තුළ දී දළදා වහන්සේ දැකබලා ගැනීම සඳහාත්, ඒ වගේම රටේ පැවතුන නියඟ කාලවල රටට නිසි කලට වැසි ප්‍රාර්ථනා කරමින්, සියලුම දෙනාට සෞභාග්‍ය සමෘද්ධිය සහ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඉහත සඳහන් ආකාරයට දළදා ප්‍රදර්ශන පැවැත්වූ බව ඉතිහාසය තුළ සඳහන් වේ.
දළදා දැක්මක් නැතහොත් දළදා ප්‍රදර්ශන පූජා මහෝත්සවයක් මහජනතාව වෙනුවෙන් පැවැත්වීමට නම් මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලා දෙනම හා ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේවරයා යන තුන් පාර්ශවයම එකගතාවයකට පැමිණ තීරණයකට එළඹිය යුතුය. දින වකවානු තීරණයෙන් අනතුරුව දළදා වහන්සේ පියැවි ඇසින් දැකබලා බුද්ධාලම්භන ප්‍රීතිය හා ශද්ධා භක්තිය ඇතිකර ගැනීමට ඇදී එන සුවිශාල ජනතාව අතිමහත්ය. ශ්‍රී දළදා ප්‍රදර්ශන පූජා මහෝත්සවයක් පැවැත්වීමට දින නියම කරගත් පසු එහි මූලික කටයුතු සංවිධානය කොට සම්පාදනය කිරීමේ වගකීම ගිහිභාරකාර දියවඩන නිලමේවරයා වෙත පැවරේ. පෙර රජ දවස එම සංවිධාන කටයුතු වල මූලිකත්වය ගනු ලැබූයේ රටේ රජතුමාය. එහෙත් ක්‍රි.ව. 1853 න් පසුව එම වගකීම් සම්භාරය දියවඩන නිලමේවරයා වෙත පැවරී ඇත. එකී ව්‍යවස්ථාව හා ක්‍රි.ව. 1931 විහාරදේවාලගම් පනතේ විධි විධාන යටතේ එකී පූජනීය කාර්යභාරය පැවරෙන්නේ දියවඩන නිලමේතුමන් වෙතය. එතුමා අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා අභිමතය පරිදි ප්‍රාථමයෙන් සාම්ප්‍රදායානුකූලව රටේ ජන නායකයා වූ අතිගරු ජනාධිපතිතුමන් වෙත සිරි දළදා ප්‍රදර්ශන පූජා මහෝත්සවයේ දින වකවානු දන්වා යැවීමෙන් අනතුරුව සියළු ජනමාධ්‍යයන් මගින් ශ්‍රී දළදා ප්‍රදර්ශන මහොත්සව දින වකවානු ප්‍රකාශනයට පමුණුවා රාජ්‍ය දෙපාර්තමේන්තු හා ස්වේච්ඡා සංවිධාන රැස් කරවා සංවිධාන සැලසුම් කටයුතු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරදීම සිදු කරනු ලැබේ.
ශ්‍රී දළදා වහන්සේගේ හා ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂාව අරභයා දුරාතීතයේදී රජ දරුවන්ගේ රාජකීය හමුදා ඛණ්ඩයන්ගේ සහාය නොඅඩුව ලැබුණු බව වංශ කථාවන්ගෙන් හෙළිවේ. පොළොන්නරු රාජ්‍ය සමයේ පළවෙනි විජයබාහු රජු දවස වේළයක්කාර හමුදාව යොදවා දළදා වහන්සේ, දළදා මන්දිරය, එහි සියළු දේපල ඇතුළු නිලකරුවන්ගේ හා පැමිණෙන පිරිස් වල ආරක්ෂක කටයුතු සලසා තිබුණ බව “වේළයක්කාර සෙල්ලිපියෙන්” මනාව අනාවරණය වේ. ඒ අයුරින්ම අතිපූජනීය දළදා ප්‍රදර්ශන පූජා මහෝත්සව සංවිධාන කාර්යයන්හි ඉතා සුවිශේෂ ලක්ෂණය වන්නේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කෙරෙන, රැස්වන ජනී ජනයාට අවශ්‍ය පොදු පහසුකම් සියල්ල උපරිම ලෙස සලසා දීමයි.
මෙරට මෑත ඉතිහාසයේ අවසන් වරට මජජනතාව උදෙසා දළදා දැක්මක් සිදුකර තිබෙනුයේ 2009 වසරේදී ය. 2009 වර්ෂයේ ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුනට ශ්‍රී දළදා මාලිගාවට පිවිසීම සඳහා ප්‍රධාන පිවිසුම් දොරටු පහක් පිහිටුවා තිබුණේය. එම මං ඔස්සේ පොදි ගැසී, පේළි ගැසී ඇදී එන ජනතාවට අවු වැසි දෙකෙන් ආවරණය වීමට, ආවරණ යොදා තිබින. එම දළදා දැක්ම ඇරඹුණු මුල් දිනයේ ප. ව. 5.15 ට පමණ එතෙක් මහනුවර පැවති තද නියගය කෙළවර කොට ඇදහැලූනු මහ වැස්ස දළදා ප්‍රාතිහාර්යයකින් සිදු වූවක් බව සියළු සැදැහැවතුන්ගේ පිළිගැනීම විය. මේ අසිරිය දුටු බැතිමතුන්ගේ සාධු නාදයෙන් අවට ගිගුම් දෙන්නට විය. අහස ගුගුරුවමින් ඇදහැලූනු වැසි දහර ජනතාවට ආශිර්වාදයක් බඳු විය. මෑතකාලීනව වසර දහසයකට පසුව 2025 වසරේ යළි දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීමකට මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම සහ දියවඩන නිලමේතුමන් එකඟතාව පළ කර තිබේ.
ලෝකවාසී බෞද්ධ ජනතාව ජීවමාන බුදුන් සේ සලකා වන්දනාමාන කරන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැකබලා ගැනීමට ලැබෙන්නේ දශකයට පමණ වරක් ය. දළදා ප්‍රදර්ශනයක් පවත්වන්නට යන බව අසන්නට ලැබීමම බෞද්ධ ජනතාවට සතුට ගෙනදෙන කරුණකි. දළදා වහන්සේ උදෙසා වැඳුම් පිදුම් කළත් උන්වහන්සේ සියැසින් දැකබලා ගැනීමට ලැබීම බෞද්ධයන් සලකන්නේ අපමණ භාග්‍යයකි. බෞද්ධ පමණක් නොව ලාංකේය පමණක් නොව ලොව නන් දෙස ජනයා මහනුවරට පැමිණ ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගන්නේ විශ්වාසය ප්‍රමුඛ කොට ගෙනය. වසර දෙදහස් පන්සිය ගණනක් මුළුල්ලේ ලෝකයාගේ වන්දනීයත්වයට හා පූජනීයත්වයට පත් වාම දළදා වහන්සේ වෙනුවෙන් ශ්‍රී ලාංකේයන්ට පුද පූජා සත්කාර කිරීමට අවස්ථාව සැලසීම රාජ්‍ය නායකයකුගේ වගකීම ද රාජ්‍යත්වයේ ආරක්ෂාව පිණිස ද වන බවද ඉතිහාසය හා සසඳන කල ගම්‍ය වන කරුණකි.
සටහන: තිලංක රත්නායක. (සෙංකණ්ඩ පුර)