ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ඍජු ගුවන් ගමන් සේවා පුළුල් කිරීමට අවධානය

ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ඍජු ගුවන් ගමන් සේවා පුළුල් කිරීමට අවධානය
  • SocialShare:

ශ්‍රී ලංකාව මෑත කාලීනව ලබා ඇති ආර්ථික, දේශපාලන ස්ථාවරත්වය සහ දූෂණයෙන් තොර පාලනයක් බිහි වීම හේතුවෙන් ජර්මානු ආයෝජකයන්ට වඩාත් ආයෝජක හිතකාමී වෙළඳ පරිසරයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ජර්මානු ෆෙඩරල් අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ආචාර්ය තෝමස් ස්ටෙෆන් මහතාට පෙන්වා දුන්නේ ය.


ජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරය අතරතුර ජර්මානු ෆෙඩරල් අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරයා ඊයේ (12) හමුවූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
ජර්මනිය, ශ්‍රී ලංකාවේ සිව්වන විශාල සංචාරක වෙළඳපල වන බැවින් සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ එක් පියවරක් ලෙස ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ඍජු ගුවන් ගමන් සේවා පුළුල් කිරීම පිළිබඳව ද මෙම හමුවේ දී අවධානය යොමු විය.
නිපුණ ශ්‍රමිකයන් බිහි කිරීම සඳහා ජර්මනිය ශ්‍රී ලංකාවට ලබා දෙන වෘත්තීය පුහුණු සහාය තවදුරටත් වැඩිකිරීමට ද ජර්මනිය මෙම හමුවේ දී සහතික වූයේ ය. මීට අමතරව ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන සැලැස්මට තාක්ෂණික සහයෝගීතාවය සහ පෞද්ගලික අංශයේ සහභාගීත්වය තුළින් සහාය දැක්වීමට ජර්මනියට තිබෙන උනන්දුව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මෙම හමුවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීශ්වර ගුණරත්න (යුරෝපා සහ උ.ඇමරිකානු) මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්විය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.