ගුණාත්මක වෘත්තීය අධ්‍යාපනයක් වෙනුවෙන් අවශ්‍ය සියලු ආයෝජයනයන් සිදු කිරීම රජයේ බලාපොරොත්තුවයි

ගුණාත්මක වෘත්තීය අධ්‍යාපනයක් වෙනුවෙන් අවශ්‍ය සියලු ආයෝජයනයන් සිදු කිරීම රජයේ බලාපොරොත්තුවයි
  • SocialShare:

තාරුණ්‍යයට ඇති සියලු ඉගෙනුම් බාධක ඉවත්කොට ඔවුන්ට ගුණාත්මක අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කිරීම සඳහා රජය අඛණ්ඩව ආයෝජනය කරනු ඇති බවත් වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඩු පහසුකම් සහිත කලාප වෙත විශේෂ අවධානය යොමු කරනු ලබන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ප්‍රකාශ කරන ලදී.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE ) 20 වැනි වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කරන ලදී.
වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මක බව පවත්වාගැනීම උදෙසා වෘත්තීය විෂය ක්ෂේත්‍රය සහ ඒ හා බැඳුණු කර්මාන්ත ක්ෂේත්‍ර අතර ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සිදු කළ යුතු බවත් ඒ හරහා අනාගතය වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපන සිසුන් හැඩගැස්වීම පමණක් නොව ශක්තිමත් ආර්ථික පද්ධතියක් ගොඩනැගීම ද සිදුවන බව අමාත්‍යවරිය මෙහි දී ප්‍රකාශ කරන ලදී.
සංවර්ධනය වෙමින් පවතින ඕනෑම රටක අධ්‍යාපනය, රැකියා සමඟ පෙළගැස්වීම ඉතා වැදගත් වන අතර පවතින රැකියා ඉල්ලුම සපුරාලීම සඳහා වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය පුළුල් කිරීම සහ නවීකරණය කිරීම වෙනුවෙන් රජය කැප වී සිටින බවත්, රටක සාර්ථකත්වය රඳා පවතින්නේ අධ්‍යයන සුදුසුකම් මත පමණක් නොව ප්‍රායෝගික කුසලතා, නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය මත බව රජය විසින් හදුනාගෙන ඇති බව අමාත්‍යවරිය පැවසී ය.
ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය සඳහා උසස් අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් වන බවත් ඒ සමඟම, පාසල් අධ්‍යාපනයේ දී ම වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපන විෂය ධාරාව හඳුන්වා දීමෙන්, නව පරපුරේ තරුණ තරුණියන්ට මෙම විෂය ධාරාව ප්‍රියතම වෘත්තීය මාර්ගයක් ලෙස තෝරා ගැනීමට උනන්දු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරිය මෙහි දී ප්‍රකාශ කරන ලදී.
රාජ්‍ය නිලධාරියෙකු, ව්‍යවසායකයෙකු, නවෝත්පාදකයෙකු හෝ ජනතා නියෝජිතයකු ලෙස මේවා, මේ රට තාරුණ්‍ය කෙරෙහි බලාපොරොත්තු තබා ඇති බව තරුණ්‍ය විසින් මතක තබා ගත යුතු බවත්, ඉදිරියේ දී අපේ රටට අත්‍යවශ්‍ය ම පරිවර්තනයන් වෙනුවෙන් කැපවෙන තරුණ නායකත්වය දකින්නට බලාපොරොත්තුවේ දෑස් දල්වා සිටින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය විසින් ප්‍රකාශ කරන ලදී.
මෙම උසස් අධ්‍යාපන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෛද්‍ය මධුර සෙනෙවිරත්න, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE ) අධ්‍යක්ෂ ජෙනරාල් M. C. L. රොද්‍රිගු මහතා, SLIATE ආයතනයේ අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩලය, උසස් තාක්ෂණ ඩිප්ලෝමාලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.