ජාතික අධ්‍යාපන ආයතනයේ නව විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය සහ තත්ත්ව සහතික කිරීමේ ඒකකය විවෘත කෙරේ

ජාතික අධ්‍යාපන ආයතනයේ නව විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය සහ තත්ත්ව සහතික කිරීමේ ඒකකය විවෘත කෙරේ
  • SocialShare:

"විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය ඔස්සේ ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යයන් වගකීමකින් හා විනිවිදභාවයකින් යුතු නව ප්‍රවේශයකට අනුව සිදු කළ හැකි බව  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.

 

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) නව විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය (Curriculum Development Centre) සහ තත්ත්ව සහතික කිරීමේ ඒකකය (Quality Assurance Unit) ඊයේ (02) අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අතර එම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. 

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, නව විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය හරහා ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යයන් වගකීමකින්, විනිවිදභාවයකින් සහ ක්‍රමවත් ප්‍රවේශයකින් යුතුව ක්‍රියාත්මක කිරීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් වන බවයි.

නව මධ්‍යස්ථානය මඟින් පාසල් විෂයමාලා සංවර්ධන කටයුතු සම්මත මෙහෙයුම් පටිපාටිවලට අනුව ශාස්ත්‍රීය, විද්‍යාත්මක සහ තාක්ෂණික පදනමකින් ඇගයීමට ලක් කරමින් වඩාත් නිරවද්‍ය හා විශ්වාසදායක ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම, ජාතික අධ්‍යාපන ආයතනයේ සමස්ත කාර්ය සාධනය ක්‍රමවත් ලෙස ඇගයීමට හා තත්ත්ව ප්‍රමිතීන් තහවුරු කිරීමට නව තත්ත්ව සහතික කිරීමේ ඒකකය ද මෙහිදී විවෘත කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පූර්ව ළමාවිය, සාමාන්‍ය, වෘත්තීය සහ උසස් අධ්‍යාපනය යන සියලු අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා නව ප්‍රතිපත්ති සැකසීමේ අවසන් අදියරේ රජය පසුවන බවයි. එමෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මානව සම්පත් සැලසුම් ද විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන සකස් කරමින් සිටින බව ද ඔහු පැවසීය.

රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ සමස්ත දැක්මට අනුකූලව ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යභාරය ප්‍රතිසංවිධානය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, තොරතුරු සන්නිවේදනය, වගවීම සහ තත්ත්ව සහතික කිරීම සඳහා ක්‍රමවත් පද්ධතියක් ස්ථාපිත කිරීම මෙම නව මධ්‍යස්ථානවල ප්‍රධාන අරමුණ බව ද අවධාරණය කළේය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ. ජී. දයාරත්න මහතා සඳහන් කළේ, රටේ දරුවන්ට උසස්ම අධ්‍යාපනික අවස්ථා ලබාදීම ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රමුඛ අරමුණ බවයි. 2027 වසරේදී හය ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය මොඩියුල සහ ගුරු අත්පොත් නියමිත කාලයට සූදානම් කිරීමට සියලු කටයුතු සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.

මෙම අවස්ථාවට ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, පීඨාධිපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.