කතරගම ප්‍රාදේශීය රෝහලට රුහුණු කතරගම මහා දේවාලයේ මූල්‍ය දායකත්වයෙන් නව වාට්ටු සංකීර්ණයක්

කතරගම ප්‍රාදේශීය රෝහලට රුහුණු කතරගම මහා දේවාලයේ මූල්‍ය දායකත්වයෙන් නව වාට්ටු සංකීර්ණයක්
  • SocialShare:

රෝහල් කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් වෙනුවට, පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් බවට මෙරට සෞඛ්‍ය සේවාව පරිවර්තනය කිරීම රජයේ අභිප්‍රාය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මූල්‍ය දායකත්වයෙන් කතරගම ප්‍රාදේශීය රෝහලේ ඉදිකරන ලද අංග සම්පූර්ණ නව වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරිම ඊයේ (12) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන සහ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් රෝහල් පරිශ්‍රයේ දි සිදු කෙරිණි.

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයකට අනුව කතරගම ප්‍රදේශයේ ජනතාවගේ සහ දෛනිකව කතරගම පූජාභූමිය වෙත සංචාරය පැමිණෙන දෙස් විදෙස් බැතිතුන්ගේ සෞඛ්‍ය  අවශ්‍යතා සම්පුර්ණ කර ගැනීම සඳහා රුපියල් මිලියන 33 ක වියදමකින් මෙම නවීන පහසුකම්වලින් යුත් නව වාට්ටු සංකීර්ණය ඉදිකර ඇත. මෙම වාට්ටු සංකීර්ණය සූතිකාගාරයක් සහ සාමාන්‍ය ඇඳන් 47 කින් සමන්විත වන අතර, නවීන වැසිකිළි පද්ධතියක්, ප්‍රසූතාගාරයක් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා කාමර පද්ධතියකින් ද යුක්ත වේ.

නව වාට්ටු සංකීර්ණය නිරීක්ෂණය කිරිමෙන් අනතුරුව උත්සව සභාව ආමන්ත්‍රණය කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යාවශ්‍ය ම අවශ්‍යතාවයක් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයකට සහ අප්‍රතිහත නායකත්වය මත සම්පූර්ණ කිරීමට හැකි වී ඇති බව පැවසීය. මෙම සත් කාර්ය සඳහා දායක වූ සියලු දෙනාට තමාගේ කෘතවේදීත්වය පිරිනමන බව ද පැවසී ය.

බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාගේ නායකත්වය යටතේ මහරගම අපෙක්ෂා රෝහලේ මහත් අඩුපාඩුවක්ව පැවැති දරුවන් සඳහා වන ඇටමිදුලු බද්ධ කිරීම සදහා වන රෝහල් ගොඩනැගිල්ල ඉදිකර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදුන් බවත්, මොණරාගල මහ රෝහලට අවශ්‍ය කරන හෘදකැතීටකරණ ඒකකයේ වාට්ටු සංකීර්ණයක් ඉදිකෙරෙමින් පවතින බවත්, පෝෂණ සම්බන්ධ විශේෂඥයින් ද සම්බන්ධ කරගෙන මෙරට සියලු රෝහල්වලට නව තාක්ෂණික මුළුතැන්ගෙයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වන බව ද එය සියලු රෝහල්වලට හදුන්වාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසී ය. 

කතරගම ප්‍රදේශයේ විසිපන්දහසක පමණ ජනතාවකට සේවය සපයන කතරගම ප්‍රාදේශීය රෝහල ප්‍රාදේශීය වර්ගීකරණයෙන් ඔබ්බට යන රෝහලක් බවත්, රටේ සෑම ප්‍රාදේශීය රෝහලක් ම මෙලෙස නොවන බව ද අමාත්‍යවරයා පැවසීය. ප්‍රාදේශීය රෝහල්වල තිබිය යුතු තත්ත්වයන් පිළිබඳ ව සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත්, එම නිර්ණායක තවමත් සපුරා ගැනීමට බොහෝ රෝහල් වලට නොහැකි වී ඇති බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා  නිර්ණායක සපුරා ගැනීම සියලු රෝහල් වල ඉදිරි ඉලක්කය විය යුතු බව ද පැවසීය.

කතරගම පූජාභුමියට පැමිණෙන දෙස් විදෙස් විශාල ජනතාගේ සෞඛ්‍ය අවශ්‍යතා සම්පුරණ කරදීම ට මෙන් ම   සෑම අංශයකින්ම ප්‍රතිකාර ලබාදීමට හැකි රෝහලක් තත්ත්වයට කතරගම රෝහල පත් කළ යුතු බවත්, රජයේ අභිප්‍රාය රෝහල් කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් වෙනුවට පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් බවට මෙරට සෞඛ්‍ය සේවාව පරිවර්ථනය කිරිම බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය. මෙරට සෞඛ්‍ය පද්ධතිය රෝහල් කේන්ද්‍ර කරගෙන සකස් වී ඇති බවත්, වර්තමානයේ සෞඛ්‍ය දත්ත අනුව අවශ්‍යතාවය එය නොවන බවත්  වැඩිහිටි ජනගහනය වේගයෙන් වැඩිවන රටක් මෙන්ම බෝනොවන රෝග අභියෝගයක් ව ඇති රටත් බව ට මෙරට පත් වී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

මෙරට සෞඛ්‍ය සේවාව තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟයක් පවතින බවත්, එම කාර්ය මණ්ඩලය නිර්මාණය කර ගැනීමට කාලයක් ගත බවන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙරට හෙද සේවාවේ දැනට 43, 000 ක් වන බවත්, ජනතාව ඉල්ලන සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට 60,000 ක හෙද හෙදි පිරිසක් අවශ්‍ය බව ද පැවසීය.  ඒ සදහා යම් කාලයක් ගත වන බව ද ඉදිරියේ දී උපස්ථායකයින් 1000 කට උසස්වීම් ලබාදිමටත්,  සෞඛ්‍ය කාර්ය සහායකයින් 2000 ක් අළුතින් බඳවා ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී තව දුරටත් වැඩිදුරටත් පැවසීය.  

මෙහි දී සමරු තිළිණ ප්‍රදානය සහ රෝහල් සංවර්ධන කමිටුව විසින් සකස් කරන ලද අළුත්වැඩියා කරන ලද නව වාට්ටු සංකීර්ණයේ පෙර තත්ත්ව සහ වර්තමාන තත්ත්ව පිළිබිඹු කරන සටහනක් ප්‍රදානය කිරිම ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රමුඛ ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රපති කොබවක ධම්මින්ද නාහිමි, රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අභිනවාරාමාධිපති පුජ්‍ය කපුගම සරණතිස්ස නාහිමිපාණන් වහන්සේ, වැඩසිටිකන්ද රජමහා විහාරාධිපති පූජ්‍ය හීල්ලේ ඥාණානන්ද නාහිමිපාණන් වහන්සේ, මහසෙන් රජමහා විහාරාධිපති පූජ්‍ය පඩව්ගම ජිනානන්ද නාහිමිපාණන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය, ආර්. එම් පසන් එස්.බී රත්නායක, මොණරාගල, කතරගම දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය චතුරි ලංකා, රෝහල් සංවර්ධන කමිටුවේ ලේකම් ශ්‍රියාණි කහඳගමගේ යන මහත්ම මහත්මින් මෙන්ම රෝහල් සංවර්ධන කමිටුවේ සාමාජිකයි ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක් ව සිටිය හ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.