අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහාචාර්ය සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සර උළෙල

    මාර්තු 22, 2014

    ශ්‍රී ලාංකේය නාට්‍ය, සාහිත්‍ය හා විචාර ක්ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතෙක් වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සර උළෙල ජුනි 03 වන දිනට යෙදී ඇති අතර එම ශත සංවත්සර උළෙල යුනෙස්කෝ සංවිධානය මගින් ද පිළිගෙන ඇත.


    ඒ අනුව යුනෙස්කෝ සංවිධානයේ පිළිගැනීමට ලක් වූ ප්‍රථම හා එකම ශ්‍රී ලාංකීය කලාකරුවා වන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ය.

    ජුනි 03 වන දිනට යෙදෙන සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක් විදේශ කටයුතු අමාත්‍යාංශය, සාර්ක් මධ්‍යස්ථානය, රූපවාහිනී සංස්ථාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව, පේරාදෙනිය විශ්වවිද්‍යාලීය ආදි විද්‍යාර්ථීන්, සරච්චන්ද්‍ර පදනම හා ඉන්ට ඇක්ට් ආර්ට් ආයතනයේ සහයෝගයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර ඇත.

    ඒ අනුව 2014 මාර්තු 28 සිට අප්‍රේල් 02 දක්වා කොළඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසැලේ දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සර අනුස්මරණ ජාත්‍යන්තර රංගකලා උළෙල පැවැත්වේ. මෙහිදී සරච්චන්ද්‍රයන්ගේ මනමේ, රවිබන්දු විද්‍යාපතිගේ ඔතෙලෝ, පරාක්‍රම නිරිඇල්ලගේ හුණුවටයේ කථාව සහ ජර්මනිය, ඉන්දියාව, නේපාලය, මෙක්සිකෝව ආදී රටවල ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ නාට්‍ය වේදිකා ගත කෙරේ.

    ජුනි 03 වන දින මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සර උත්සවය පැවැත්වෙන අතර එදින සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදුකෙරේ. ජුනි 10 වන දින ප්‍රංශයේ පැරිස් නගරයේ විද්වත් සාකච්ඡාවක් හා මනමේ නාට්‍යය හා සිංහබාහු නාට්‍ය වේදිකාගත කෙරේ.

    සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සර ග්‍රන්ථයක් එළි දැක්වීම හා ඔහුගේ “ගැමි නාටකය” කෘතිය මඬුළුගිරියේ විජේරත්න මහතාගේ සහයෝගයෙන් දෙමළ බසට පරිවර්තනය කිරීම ද, මනමේ හා සිංහබාහු නාට්‍ය පිළිබඳව විශේෂ රූපවාහිනී වාර්තා වැඩසටහන් නිෂ්පාදනය කිරීම හා සරච්චන්ද්‍ර මහතා නමින් නාට්‍ය පුහුණු පාසැලක් ආරම්භ කිරීමටත් කටයුතු යොදා ඇති අතර සරච්චන්ද්‍රයන් ලියූ, මෙතෙක් නිෂ්පාදනය නොකරන ලද නාට්‍ය 10ක් නිෂ්පාදන කිරීම හා සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යයන්හි රඟන ලද නළු නිළියන් උදෙසා ජනාධිපති සම්මාන උළෙලක් පැවැත්වීම ද සිදුකෙරේ.

    මීට අමතරව සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය නවදිල්ලිය, ලන්ඩන්, බැංකොක්, පැරිස් හා ටොරොන්ටෝ නගරවල ප්‍රධාන රඟහල්වල වේදිකාගත කිරීමටත්, සාර්ක් රටවල ප්‍රවීණ සාහිත්‍යධරයන්ට සරච්චන්ද්‍ර නමින් වාර්ෂිකව සාහිත්‍ය ත්‍යාගයක් පිරිනැමීමටත් කටයුතු යොදා ඇත.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya