ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ශාක්‍යමුනි විහාරයේ පසුගියදා පැවති අනගාරික ධර්මපාලතුමාගේ 150 වැනි ජන්ම දින සැමරුමේදී ය.
එම විහාරය වත්මන් ජාතික පුනරුදයේ නිර්මාතෘ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් විසින් ස්ථාපිත කරන ලද්දක් වන අතර විහාරාධිපති දිගාමඩුල්ලේ විමලානන්ද හිමියන් සමඟ අමාත්‍ය රණවක මහතා සෝම හිමියන්ගේ ස්මාරකයට ද මල් වට්ටියක් තබා උත්තමාචාර පුද කළේය.
ඉන්දියාවට නිදහස ලබා දෙන්නට ගාන්ධි කෙනෙක්, පකිස්තානයක් බිහිකරන්නට අලි ජින්නා කෙනෙක් සිටිය ද ශ්‍රී ලංකාවේ ජාතික විමුක්ති අරගලයක් හෝ ජාතික නායකයෙක් නොසිටි බව ඇතැමෙක් ප්‍රකාශ කරයි. මෙය අමූලික අසත්‍යයක් වන අතර ශ්‍රී ලංකාවේ ජාතික විමුක්ති අරගලයට නායකත්වය දුන්නේ දේශමාමක බෞද්ධ භික්ෂූන් වහන්සේලායි. එය දුටුගැමුණු රජුගේ සිට කැප්පෙටිපොළ අධිකාරම් දක්වා සත්‍යයකි. සන්නද්ධ කැරැලිවලින් මර්දනය කළ සිංහලයා නැවත අවදි කරනු ලැබුවේ හික්කඩුවේ ශ්‍රී සුමංගල, මොහොට්ටිවත්තේ ගුණානන්ද වැනි සංඝ පීතෘවරුන්ය. එම ජාතික අරගලයේ නියම නායකයා වූයේ අනගාරික ධර්මපාලතුමායි. එතුමා සිංහලයන් හා බෞද්ධ ශාසනය නඟාසිටුවීමට කළ කාර්යභාරය යටපත් කරන්නට, නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය නායකයා වීම වැළැක්වීමට, ප්‍රභූ පන්තිය විසින් කළ කුමන්ත්‍රණ, මඩ ප්‍රහාර නිසා එතුමාට රට හැර යාමට සිදු වුවත් එතුමා ඉන්දියාවේත්, ආසියාවේත්, බටහිරත් සිදු කළ ධර්ම ප්‍රචාරය හා පුනර්ජීවනය අමරණීය වේ. අප එය සදා සිහි කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව සියල්ල ම අප විසින් රැකිය යුතු අපගේ සංස්කෘතික වගකීම් වන අතර අපගේ දරුවන් ලොවේ කොතැනක ජීවත්වූවත් රට ජාතිය, හා ශාසනය හා භාෂාව පිළිබඳ ආදරයක්, කැපවීමක් ඇති පිරිසක් බවට පත් කළ යුතු බව අනගාරික ධර්මපාලතුමාගේ චින්තනය විය.
ජනගහන වර්ධනය සීමාවීම නිසාත්, තරුණ ජනගහනය අඩුවීමත්, වැඩිහිටි ජනගහනය වැඩිවීමත් ශ්‍රී ලංකාවේ නවතම ප්‍රවණතාව වී තිබේ. විදේශ රැකියා හා විදේශගත ජීවන ක්‍රමය නිසා උගත් ශ්‍රමයේ හිඟයක් රට තුළ ඇති වී තිබෙන අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කොලොන්නාව, ගම්පොළ, ගාල්ල, මහනුවර වැනි නගර දැනටමත් අබෞද්ධ ජනයා බහුතරයකගේ වාසස්ථාන වී තිබේ. උතුරු හා නැගෙනහිර බෞද්ධ ජනයා සංහාරය කර පළවා හැර ඇති බැවින් එම ප්‍රදේශවල ද බෞද්ධයන් ජීවත් වන්නේ සුළුතරයකි. එදා ධර්මපාලතුමා සුද්දන් අභිමුව කොළඹ ඇති කළ වෙහෙර විහාර හා පාසල් වටා අද සිටින්නේ අබෞද්ධයන් ය. මේ සියවස මෙලෙස ගියහොත් බහුතර සිංහලයාගේ අවසන් සියවස මෙය විය හැකි බවත් ධර්මපාල චින්තනය අපට මේ යුගයේ අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ධර්මපාලතුමා ජපානයට ගොස් එරට කර්මාන්තවලින් ලත් දියුණුවත් ඒ නිසා ම බටහිර ජාතීන්ට සිදු කළ අභියෝගයන් දැක ලංකාවේ ද නව ජාතික කර්මාන්ත ඇති කළ යුතු බව පෙන්වා දුන් අතර කැසිනෝ, සුරාසැල්, කාර් රේස්වලින්, සුපිරි අවන්හල්වලින් විනෝදාස්වාද ආර්ථිකයක් ගොඩනංවන්නට යන අයට සියවසකට එපිට ධර්මපාලතුමාගේ ආර්ථික පාඩම් ඉතා වැදගත් වෙයි. ඉදිරි සියවස, එකහමාර ඇතුළත ලංකාවෙන් සිංහලයන් අතුරුදහන් වීමට පෙර ධර්මපාලතුමාගේ අවවාදවලට අනුකූල රටක් තනන්නට අප කැප විය යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
NDH