අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරාවිද්‍යා ක්ෂේත්‍රය නඟාසිටුවීමට කටයුතු කරනවා - අධ්‍යාපන ඇමැති

    ජූලි 08, 2017
    අපේ රටේ වටිනා පුරාවිද්‍යාත්මක ස්ථාන දෙලක්ෂ පනස්දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් එම වටිනා පුරාවිද්‍යාත්මක ස්ථාන සහ පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණය කිරීම වෙනුවෙන් කිසිඳු දේශපාලන බලවේගයකට යටත් නොවී, පුරාවස්තු ආඥාපනත අනුව පැවරී ඇති බලතල යටතේ වගකීමෙන් කටයුතු කිරීම තම අපේක්ෂාව බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ (07) ට යෙදුණු ජාතික පුරා විද්‍යා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති පුරාවිද්‍යා සමුළුවට එක්වෙමිනි.
     
    වටිනා පුරාවිද්‍යාත්මක ස්ථාන නිසියාකාරව සංරක්ෂණය කරන්නට පසුගිය රජය ‍අපොහොසත්ව සිටි බවත්, ඇතැම් පුරාවිද්‍යා ස්ථානවල සිදුකර ඇති නොගැළපෙන ප්‍රතිසංස්කරණ සහ ඉදිකිරීම් නිසා එම ස්ථානවල පුරාවිද්‍යාත්මක වටිනාකම් පවා විනාශ වී ගොස් ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය. පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ උරුමයන් සංරක්ෂණය කළ හැකි හොඳ ඇසක්, විවෘත මනසක් සහ ජාතික උරුමයන් පිළිබඳ සංවේදී හදවතක් ඇති පිරිසක් අවශ්‍ය බව ද, ඇතැම් පිරිස් විසින් අදූරදර්ශීව ඇතැම් තීන්දු තීරණ ගෙන එම අඩුපාඩු සඟවා ගන්නට රජයට සහ විෂය භාර අමාත්‍යවරයාට දොස් පැවරීම කණගාටුදායක බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
     
    පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂණ අධ්‍යයනයන් වෙනුවෙන් සහ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවීණතා අත්පත් කරගැනීම වෙනුවෙන් අපේ රටේ පුරා විද්‍යා නිලධාරීන්ට අවස්ථාව සලසාදීම කාලීන අවශ්‍යතාවක් බවත ඒ වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදනවලට අමතරව කැබිනට් පත්‍රිකාවක් මඟින් හෝ අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කිරීමට තමා සූදානම් බවත් සඳහන් කළ අමාත්‍යවරයා, නවීන ජාත්‍යන්තර සංරක්ෂණ ක්‍රමවේද සහ දැනුම අපේ පුරාවිද්‍යා ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා අත්‍යවශ්‍ය වන බව ද අවධාරණය කරන ලදී.
     
    එමෙන්ම පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සිදුකෙරෙන නව පර්යේෂණ අධ්‍යයනයන් සහ ග්‍රන්ථ රචකයින් වෙනුවෙන් ප්‍රකාශන ආධාර ලබාදීමට ද කටයුතු යොදන බවත්, පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා විද්වත් ස්වාමීන්වහන්සේලා ඇතුළු සියලු විද්වත් පාර්ශවයන්ගේ සහයෝගය නිරන්තරයෙන් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. මෙම පුරාවිද්‍යා සමුළුවේ දී උරුම කළමනාකරණය, බිතුසිතුවම් සහ ක්ෂේත්‍ර පුරාවිද්‍යා අංශ යටතේ පසුගිය වසර තුළ සිදුකෙරුණු පර්යේෂණ ප්‍රතිඵල ඇතුළත් විද්‍යාත්මක වාර්තා 26ක් ඉදිරිපත් කරනු ලැබීය.
     
    මීට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වසරක් පාසා නිකුත් කරනු ලබන දායාද සඟරාව එළිදැක්වීම ද පුරා විද්‍යා ක්ෂේත්‍රයට අදාළව සම්පාදනය කර ඇති ග්‍රන්ථ 8ක් එළිදැක්වීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
     
    ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්මාරක සහ පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ තොරතුරු ඇතුළත් භූගෝලීය තොරතුරු පද්ධති අන්තර්ජාල ප්‍රවේශය (WEB PORTAL) එළිදැක්වීම ද මෙහි දී සිදුකෙරුණි.
     
    මෙම අවස්ථාවට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රශාන්ත ගුණවර්ධන, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහත්වරුන් ඇතුළු විද්වතුන් රැසක් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya