අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සර්ව ආගමික සමුළු නියෝජිතයෝ කථානායකවරයා හමුවෙති

    ජූලි 05, 2017
    සර්ව ආගමික සමුළුව විසින් ස්වකීය නියෝජිත පිරිසකට කථානායක කරු ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකවරුන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව සලසන ලෙස කර තිබූ ඉල්ලීම අනුව ඊයේ (03) පස්වරුවේ කථානායකතුමා ඇතුළු පක්ෂ නායකවරු සහ සර්වාගමික සමුළු නියෝජිතයෝ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1 හිදී රැස් වූහ.
     
    මෙම සමුළුවේ දී රට තුළ කාලීන වශයෙන් උද්ගතව ඇති ප්‍රධාන ගැටළු පිළිබඳ තීරණ ගැනීමේ දී සර්වාගමික සමුළුවේ මතය දැක්වීමට අවකාශ ලබා දෙන ලෙස ඉල්ලීමක් කෙරුණු අතර,  එම අදහස් පිළිබඳ ව සැලකිලිමත් වීමේ වැදගත්කම සර්වාගමික සමුළු නියෝජිතයෝ පෙන්වා දුන්හ.
     
    එමෙන්ම සර්වාගමික සමුළුව වෙත යම් නිල පිළිගැනීමක් ලබා දීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡාවට භාජනය විය.  ජාතික සමගිය හා සංහිඳියාව වෙනුවෙන් දේශපාලන අධිකාරිය සහ ආගමික නායකයන් එක්ව අවබෝධයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳ ව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය විය.  එමෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරබයා පවතින කතිකාවත ද සාකච්ඡාවේදී සැලකිල්ලට ලක් විය.
     
    මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු සභා ගර්භයෙහි උසස් විනයක් ආරක්ෂා කිරීමට කථානායක කරු ජයසූරිය මහතා නිරන්තරයෙන් දරණු ලබන උත්සාහය සමුළුවට සහභාගි වූ ආගමික නායකයන්ගේ ඇගයීමට ලක් වූහ. 
     
    මෙහිදී ස්වකීය ඉල්ලීම කෙරෙහි වහාම ප්‍රතිචාර දක්වමින් සාකච්ඡාවට එක් වීම පිළිබඳ ව කථානායකවරයා ඇතුළු පක්ෂ නායකවරුන්ට සමුළු නියෝජිතයෝ ස්තූතිය පළ කළහ.
     
    මෙම අවස්ථාවේදී කරුණු පැහැදිලි කළ කථානායක කරු ජයසූරිය මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳව මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවල ආශිර්වාදය ලැබී ඇති බැවින්,  තවත් නොබෝ දිනකින් එය එළි දැක්විය හැකි වනු ඇති බවයි.
     
    එමෙන්ම මෑත භාගයේ ගනු ලැබූ නව පියවර රැසක් ද සමගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසියානු කලාපයේ ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බවට පත්ව ඇති බව ද කථානායකවරයා පැහැදිලි කළේය. 
     
    විශේෂයෙන්ම සර්වාගමික සමුළුව විසින් ඉදිරිපත් කරන ලද අදහස් පිළිබඳ ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමන්ගේ අවධානය යොමු කිරීමට කඩිනමින් පියවර ගනු ලබන බව කථානායකවරයා මෙහිදී   අවධාරණය කළේය.
     
    මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ ඒ ඒ පක්ෂ නියෝජනය කරමින් විපක්ෂ නායක ආර්. සම්බන්දන්, අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ, විදේශ කටයුතු ඇමති රවී කරුණානායක, නගර සැලසුම් හා ජල සම්පාදන ඇමති රවුෆ් හකීම්, ජාතික සංවාද පිළිබඳ ඇමති මනෝ ගනේෂන්, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරු සහභාගී වූහ. 
     
    සර්ව ආගමික සමුළුවේ බෞද්ධ නියෝජනය වෙනුවෙන්  අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමි, අතිපූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නායක හිමි, පූජ්‍ය තීනියාවල පාලිත නායක හිමි, පූජ්‍ය නාගොඩ අමරවංශ නායක හිමි, පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හිමි, පූජ්‍ය බානගල උපතිස්ස නායක හිමි, පූජ්‍ය ආචාර්ය වල්පොල විමලඥාන හිමි, පූජ්‍ය හොරවල ධම්මජෝති නායක හිමි, පූජ්‍ය කිහිඹියේ විජිත නායක හිමි, පූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති නායක හිමිවරු සහභාගි වූහ,
     
    කතෝලික නියෝජනය වෙනුවෙන් අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් පියතුමා,  ක්ලිටස් චන්ද්‍රසිරි පෙරේරා පියතුමා, මර්වින් ෆර්නෑන්ඩු පියතුමා, ප්ලැසිඩස් ද සිල්වා පියතුමා,  මැක්ෂ්වෙල් සිල්වා පියතුමා, ෂමිල් පෙරේරා මහතා, ෂර්ලි තිසේරා මහතා, ඇන්ඩෘ සමරතුංග මහතා ද ක්‍රිස්තියානි නියෝජනය වෙනුවෙන් ඩබ්.පී ඉබෙනිසර් ජෝෂප් පියතුමා, නොයෙල් ෆර්නෑන්ඩු පියතුමා, ප්‍රේමසිරි ෆර්නෑන්ඩු පියතුමා සහභාගි වූහ.
     
    ඉස්ලාම් නියෝජනය වෙනුවෙන් එස්.එච්.අතාම් බාවා මවුලවිතුමා, ෆසීල් ෆාරුක් මහතා, ශායික් තාසීම් මහතා සහ හින්දු නියෝජනය වෙනුවෙන් වෛතීස්වාර කේ.වී කේ. කුරුක්කල් සිවරාසිතුමන් සහභාගී වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya