මේ යටතේ පසුගිය වසරේ (2016) මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සෝනුත්තර රජමහා විහාරයේ සිදුකළ කැණීම් ඇසුරෙන් අනුරාධපුර මුල් යුගයට අයත් දාගැබක් හමු වී ඇති අතර, සාහිත්‍ය මූලාශ්‍රවලද සෝනුත්තර නම් රහතන් වහන්සේ නමක් මෙම විහාරයේ වැඩසිටි බව සඳහන් වේ.
කැණීම් හරහා චතුරස්‍රාකාර ප්‍රාකාර බැම්මක් තුළ පිහිටි සලපතළමළුවක් මෙම ස්ථානයෙන් මතු කරගෙන ඇති අතර, ඒ මත මීටර් 30-20ක වටප්‍රමාණයෙන් යුත් පළමු පේසාව සහිත දාගැබ් ගොඩනැඟිල්ල පිහිටා ඇති බව අනාවරණය වනවා. එමෙන්ම සලපතළමළුව තුළ බටහිර අන්තයේ දාගැබ් ගර්බයට ආසන්නව පාෂාණමය මල් ආසනයක්, සිරිපතුල් ගලක්, මීටර් 1ක විශ්කම්භය සහිත ආකෘති දාගැබ් 02ක්, කැඩී ගිය සිරිපතුල් ගල් දෙකක් මෙන් ම නැගෙනහිර දිශානුගතව මෙම දාගැබ සඳහා වන ප්‍රවේශ මාර්ගයක් ද පාදා ගැනීමට කැණීම් කණ්ඩායමට හැකි වී තිබේ.
මීට අමතරව, වැලිමලුවක සාධක ද, ඉපැරණි ගඩොල් ඇතිරුම්වල ශේෂයන් ද සෝනුත්තර රජමහා විහාර පරිශ්‍රයෙන් හමුවී ඇති අතර,කැණීම් පරීක්ෂාවන් හරහා තහවුරු වී ඇත්තේ අනුරාධපුර මුල් යුගයට මෙම පුරා විද්‍යාත්මක සාධක අයත් වන බවයි. විශේෂයෙන් ම සලපතළ මලුවෙන් මතුව ඇති යූප ගලක ශේෂ සහ දාගැබ් ගෘහය, අක්ෂර සහිත ඉපැරණි ගඩොල් අවශේෂයන් හරහා එම නිගමනය තහවුරු වන බවයි, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එමෙන් ම මෙම පරිශ්‍රයෙන් විවිධ අලංකාර මැටි මෙවලම් ශේෂ සහ විවිධ අවධීන්ට අයත් ගඩොල් ද හමු වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.