මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශාසනයේ පුනර්ජීවයක් සිදු කිරීමට කාලය එළඹ තිබේ.

    අගෝස්තු 11, 2016
    දශක ගණනාවකට පෙර මෙරට බෞද්ධ පාඨශාලා මුල් කර ගෙන පැවැති විශිෂ්ඨ අධ්‍යාපන ක්‍රම වේදය පදනම් කර ගෙන බිහි වූ පඬිවරුන්, උගතුන් හා  බුද්ධිමතුන්ගෙන් මෙරටට විශාල සේවාවක් සිදු වූයේ යැයි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති,ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රාජමහා විහාරාධිපති රත්නපුර දිසා ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය පාද බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ  පැවසූහ.
    රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ කැඳවීමෙන් පසුගිය දා පැවැති රත්නපුර දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ මහා සභා රැස්වීමේ දී ප්‍රධාන අනුශාසනාව සිදු කරමින් උන්වහන්සේ එසේ පැවසූහ. තවදුරටත් සිය අනුශාසනාව සිදුකරමින් උන්වහන්සේ මෙසේ ද අනුශාසනා කළහ.
     
    නිදහසින් පසු අපේ රට තුළ නොයෙකුත් විජාතික බලපෑම් ක්‍රියාත්මක වීමට වෙර දැරුවද ඇතැම් පාලකයකන් ඒම  බලවේගයනට නතු වූ අවස්ථා පැවතිය ද අපේ වෙහෙර විහාරස්ථාන වල නා හිමිපාණන්  වහන්සේලාගේ දැඩි කැපවීම සහ උත්සාහය නිසාවෙන්  එම බලවේග අහෝසි  කර මේ රටත් ශාසනයත්  දියුණු තත්ත්වයකට පත් කරලීමට ක්‍රියා කළ බව ද උන්වහන්සේ පැවසූහ.
     
    මෙරට අන්‍ය ආගමික නායකයන් පවා බුදුදහමේ ශ්‍රේෂ්ඨත්වය සහ බුදු දහම මේ රටේ මුල් තැනෙහි තිබිය යුතු බව පිළිගෙන ඇති වකවානුවක ඇතැම් දේශපාලන ක්‍රියාකාරිකයන් ආගම දහම හෑල්ලුවට ලක්වන අයුරින් ක්‍රියා කිරිම ඉතා කණගාටුවට කරුණක් යැයි ද,  අපේ බෞද්ධකම, පොදු හැදියාව  පළුඳු විමට ඉඩ නොතබා එම තත්ත්වයයට හේතු ගැඹුරින් සොයා බලා ශාසනයේ පුනර්ජීවයක් සිදු කිරිමට කාලය එළඹ තිබේ යැයි දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති පූජ්‍යපාද බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ වැඩි දුරටත් පැවසූහ.
     
    මෙහිදි අදහස් දැක් වූ දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි හෝම්පිටියේ    ශ්‍රි සුසීල නාහිමිපානන් වහන්සේ ඉරිදා පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම රත්නපුර දිස්ත්‍රික්කයේ යළිත් බරපතළ ගැටළුවක් බවට පත්ව තිබෙනවා. පසුගිය කාලයේ උසස් පෙළ හැර අනෙකුත් පන්ති පැවැත්වීම පිළිබඳව සබරගමුව  පළාත් සභාවේ ගරු ආණ්ඩුකාරතුමා ගැසට් නිවේදනයක් පවා පළකර තිබුණා. මෑතක සිට එය ක්‍රියාත්මක නොවෙන බවක් පෙනෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුව ද ඉරිදා දිනවල නොයෙකුත් වැඩසටහන් යොදා ගනු ලබනවා. මේ පිළිබඳ දේශපාලනඥයන්ගේ අවධානය ද යොමු කර වූව ද   ඔවුන් මේ පිළිබඳ එතරම් සැලකිල්ලක්  නැහැ. පාසලෙන් ද දහම් අධ්‍යාපනය සඳහා විශාල පිටුවහලක් ලැබෙන්නේ නැහැ.
     
    දරුවකු දහම් පාසලට ඇතුළත් කරන්නේ බොහෝවිට දහම් පාසල් අධ්‍යාපනය ලබන බවට ලිපියක් ලබා ගැනීමේ වුවමනාවට පමණයි. දහම් තරඟ සඳහා ඉදිරිපත් කිරිමට පවා ප්‍රමාණවත් සිසුන් සංඛ්‍යාවක්වත් දැන් දහම් පාසල් වල නැහැ. මේ සඳහා ශාසනාරක්‍ෂක බලමණ්ඩලය සාකච්ඡා කර සුදුසු තීරණයක් ගැනීමට ක්‍රියා කළ යුතු යැයි ද උන්වහන්සේ ද පැවසූහ.
     
    රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගි වූ අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම මහතා පවසා සිටියේ ගුණවත් හා දැහැමි චින්තනයෙන් යුතු අනාගත පරපුරක් බිහි කරලීම සඳහා ශාසනාරක්‍ෂක බල මන්ඩලයෙන් විශාල මෙහෙරවරක් සිදුවන බව ද එම අරමුණු සපුරා ගැනීම සඳහා සෑම පුරවැසියකුම දැඩි  උනන්දුවෙන් ක්‍රියා කිරිම සඳහා අවශ්‍යතාවක් යැයි ද  මේ සඳහා රත්නපුර  දිසා ශාසනාරක්‍ෂ බල මණ්ඩලයේ විශාල සේවාවක්  සිදු වන බව ද පැවසිය. වෛද්‍ය කේ.එම්.පී.ගාමිණි මහතා විසින්  රත්නපුර දිස්ත්‍රික්ක‍යේ මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව දෙසුමක් පවත්වන ලදි. මත්ද්‍රව්‍යපඋවදුර වලක්වාලීම  සඳහා දිස්ත්‍රික්කයේ  මහා සංඝරත්නය දක්වන උනන්දුව ඇගයීමට ලක් කළ අතර  මේ පිළිබඳ දැනුවත් කළ යුතු හොදම කණ්ඩායම අධ්‍යාපනය ලබන දරුවන් බැවින් දහම් පාසල් මගින් මෙම දැනුවත් කිරිම ඉතා පහසු බැවින් ඒ සඳහා තම  උපදේශන සේවය ද ඕනෑම විටෙක ලබා දෙන බව ද පැවසීය.    
     
    බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්  සහන් කුරුප්පු මහතා ද  සාකච්ඡාවේ දී මතු වූ කරුණු පිළිබඳව මෙහිදි අදහස් දැක්වීය. 
    රත්නපුර  දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක  පූජ්‍ය පාද ගලගම උදිත ස්වාමීන් වහන්සේ  ද අදහස් දැක්වූහ. 
    මේ අවස්ථාවට රත්නපුර ප්‍රාදේශීය ශාසනාරක්‍ෂ බල මණ්ඩලවල ගරු සභාපති හා ගරු ලේඛාධිකාරි ස්වාමීන් වහන්සේලා ද බෞද්ධ කටයුතු සමායෝජක ස්වාමීන් වහස්සේලා ද  ඇතුළු මහා සංඝරත්නය ද ප්‍රාදේශීය ‍ලේකම්වරුන් ද බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් ද ඇතුළු විශාල පිරිසක් සහභාගි වු බව රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya