රටක් වශයෙන් ආර්ථිකය ස්ථාවරත්වයට පත්වෙමින් සිටින මොහොතක මැදපෙරදිග යුදමය තත්වය, ශ්‍රී ලංකාවට අතිශය පාඩු සහ අවධානම් සහගත බවත්, එහෙත් මෙම තත්වය සමීපව අධ්‍යනය කරමින් මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් සිදුවන ආර්ථික හානිය අවම කර ගැනීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද(25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ශ්‍රී ලංකා රජය සෑම විටම යුද ගැටුම්වලට විරුද්ධ බවත්, යුද ගැටුම් අවම කර ගනිමින් ලෝක සාමය පවත්වාගෙන යාම අපගේ ඉල්ලීම බවද කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මැදපෙරදිග යුද ගැටුම් පැති කිහිපයකින් ශ්‍රී ලංකාවට බලපාන බවයි. මේ හේතුවෙන් ලෝකයේ තෙල්මිල ඉහළ යාමේ අවධානමක් ඇති බවත්, විදෙස් ප්‍රේෂණවලට යම් බලපෑමක් එල්ල විය හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අපේ ශ්‍රමිකයින් විශාල වශයෙන් ඊශ්‍රායලයේ ජීවත් වෙනවා. අපි මැද පෙරදිගට තේ ඇතුළු භාණ්ඩ අපනයනය කරනවා. ඉදිරියේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු විය හැකි අභියෝග සම්බන්ධයෙන් පූර්ව සූදානමක් පැවතීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා. අපි මේ සඳහා සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි කමිටුවක් පත් කර තිබෙනවා. රටක් වශයෙන් අපට සිදුවන ආර්ථික හානිය අවම කර ගැනීමට සහ විකල්ප ක්‍රමවේදවලට යොමු වීම තමයි අපේ බලාපොරොත්තුව.
අපි යුධ ගැටුමට විරුද්ධයි.යුද්ධයෙන් පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාව. යුද්ධයට පදනම් වන කාරණය කුමක් වුවත් මිය යාමේ සිටම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාවයි. යුද ගැටුම් නතර කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම


