“ක්ලීන් ශ්‍රී ලංකා” මෙහෙය වීමෙන් අක්කර දහසක වන වගාවක්

“ක්ලීන් ශ්‍රී ලංකා” මෙහෙය වීමෙන් අක්කර දහසක වන වගාවක්
  • SocialShare:

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රාජ්‍ය - පෞද්ගලික - ජනතා හවුල්කාරිත්වය යන (Public- Private – People Partnership) 4P සංකල්පයට අනුව ක්‍රියාත්මක කිරීමට යෝජිත මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙන අතර ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (30) පැවැත්විණි.

ව්‍යාපෘතියට අදාළ තාක්ෂණික කරුණු නිරාකරණය කර ගැනීමත්, ඉඩම් නිදහස් කර ගැනීමට අවශ්‍ය මූලික කරුණු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

පරිසරය රැක ගැනීම වෙනුවෙන් මහජනතාවගේ, රජයේ මෙන්ම පුද්ගලික අංශයේ වගකීම සිහිපත් කරමින් අප රටේ ජෛව විවිධත්වය සුරැකීම, වන වැස්ම පුළුල් කිරීම සහ ස්වභාවික පරිසරයේ සුරක්ෂිත පැවැත්ම වෙනුවෙන් ඵලදායී ව්‍යාපෘති ගණනාවක් පුද්ගලික අංශයේද දායකත්වයෙන් ඉදිරි වසරේදී ක්‍රියාත්මක කිරීමට “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සැලසුම් කර තිබේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අතිරේක ලේකම් එස්.පී.සී. සුගීස්වර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.