දේශපාලන වුවමනාවන් මත තැපෑල වර්ජනය කිරීම සුදුසු නැහැ - කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස

දේශපාලන වුවමනාවන් මත තැපෑල වර්ජනය කිරීම සුදුසු නැහැ - කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස
  • SocialShare:

තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කරමින් සිටින මොහොතක ඇතැම් වෘත්තීය සමිති දේශපාලන වුවමනාවන් මත   වර්ජනය කිරීම සුදුසු  නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු  සම්බන්ධයෙන් අගමැති කමිටුවට යොමු කර ඇති බවත්,  ඇතැම් තනතුරු සඳහා බඳවාගැනීම් සිදුකිරීමට මේ වන විට අනුමැතිය හිමිව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඡන්දය ප්‍රකාශයට පත් කර  ඇති  වකවානුවක දී තැපැල් දෙපාර්තමේන්තුව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනී‍මෙන් මැතිවරණ කටයුතු සඳහා යම් බලපෑමක් වන බවත්  දේශපාලන උවමනාවන් මත වර්ජනය කිරීම සුදුසු නොවන බව පෙන්වාදුන් අමාත්‍යවරයා වර්ජනය අවසන් කරන්නැයි එම වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුව පසුගිය ආණ්ඩු කාලයේ නොසලකා තිබුණා. අදිමදි කරලා තමයි අමාත්‍යධූරය  භාරගෙන තිබුණේ. මේවන විට තැපැල් දෙපාර්තමේන්තුවේ වාහන සංචිත අලුත් කර  නැහැ.

වාර්ෂිකව භාණ්ඩාගාරයෙන්  මිලියන 10,000ක පමණ සැලකියයුතු මුදලක් මේ සඳහා වෙන් වෙනවා. මෙම වෘත්තීය සමිති කිහිපයක් මා සමග සාකච්ඡා කළා. ඒ අනුව  ඊයේ දිනයේ තැපැල් කාර්යාල බොහොමයක් විවෘත කෙරුණා. ඉදිරියේදී මහජනතාවගේ ලයිට් බිල ගෙවන්න, ඉන්ෂුවරන්ස් ගෙවන්න, මහජන සේවා සපයන ආයතනයක් බවට මෙම ආයතනය පත් කර ගත යුතුයි.

තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කර  පෞද්ගලික අංශ හා තරඟ කළ හැකි ආයතනයක් බවට වැඩිදියුණු කිරීමට කටයුතුකරන බවද අමාත්‍යවරයා කීය.

ඈත ගම්වල ඇති තැපැල් කාර්යාල , උප තැපැල් කාර්යාල  මහජන සේවා සපයන ආයතන බවට පත් කිරීමට කටයුතු කරන බව පැවසු අමාත්‍යවරයා ,  ඒ තුළින් භාණ්ඩාගරයට බරක් නොවී තැපෑල  ලාභ ලැබිය හැකි ආයතනයක් බවට පත්කළ හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙවර අයව වැයෙන්  නව තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල ඉදි කිරීමටත්, තිබෙන තැපැල් කාර්යාල අලුත්වැඩියා කිරීමටත් රුපියල් මිලියන 1300ක වෙන් කර ඇතැයිද සඳහන් කළේය.

තවද සංචාරකයින් ආකර්ෂණය කර ගත හැකි ආකාරයෙන්  නුවර එළිය තැපැල් කාර්යාලය නවීකරණය කරන අතරම ඓතිහාසික වැදගත්කමක් ඇති නුවර , කොළඹ, ගාල්ල තැපැල් කාර්යාල ඉතා කඩිනමින් නවීකරණය කරන බවද පැවසීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.