අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භූ දේශපාලන යථාර්ථය තුළ අපේ රාජ්‍ය ක‍්‍රමය

    ජනවාරි 04, 2015

    ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණු විද්වත් කතිකාවක දී ආචාර්ය දයාන් ජයතිලක මහතාගේ කතාව ඇසුරින් සැකසිණි.

    මම නීතිඥයෙක්වත් දේශපාලනඥයෙක්වත් නෙවෙයි. දේශපාලන විද්‍යාඥයෙක් හැටියට තමයි මේ ගැටලුව දිහා බලන්නේ. යම්කිසි දේශපාලන ප‍්‍රශ්නයක් ගැන හෝ  ඕනෑම ප‍්‍රශ්නයක් ගැන බලනකොට සැලකිල්ලට ගතයුතු මානයන් දෙකක් තිබෙනවා. එකක් කාලය, අනික අවකාශය. කොයි වගේ කාලයකදීද අපි මේ වගේ ප‍්‍රශ්නයක් ගැන සොයලා බලන්නේ, තීන්දුවක් ගන්නේ කියන දේ. අනික කොයි වගේ තැනක ඉඳන්ද, කොයි අවකාශයක ඉඳන්ද අපි මේ ප‍්‍රශ්නයත් එක්ක ගනුදෙනු කරන්නේ. මේ මූලික ප්‍රතිමානයන් දෙක ගැන ඉතාම කීර්තිමත් ඉතාලි ජාතික අන්තෝනියෝ ග‍්‍රැම්සි කියන පඬිවරයා මේ විදිහට අපිට කියා දෙනවා. යම්කිසි ප‍්‍රශ්නයක් දිහා බලනකොට ඒ ප‍්‍රශ්නේ කොයි වගේ මොහොතකදීද මතු වෙන්නේ. මේ තියෙන සන්දර්භය මේ මොහොත මේ කාලීන මොහොත. කොයි වගේද? මේක විශේෂ අවස්ථාවකදී තමයි පැන නඟින්නේ. මොකක්ද මේ විශේෂ අවස්ථාව. මේ අවස්ථාවේ තියෙන සුවිශේෂී ගුණාංග ලක්ෂණ කවරෙක්ද? ඒවා අඳුනගන්න  ඕනෑ කියලා කියනවා. ඒ සමඟම ඔහු කියනවා. දිගුකාලීනව නොවෙනස්ව පවතින සාධක කවරෙක්ද? ඒ කියන්නේ දැනට තියෙන හැල හැප්පිලි චණ්ඩ මාරුතයන් රළ වේග ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනා. කොයි වගේ අවස්ථාවකදීද අපි මේ ප‍්‍රශ්න දිහා බලන්නේ. දෙවනුව දිගුකාලීනව නොවෙනස්ව පවතින සාධක කවරෙක්ද? යන්න.

     

    මෙවර මැතිවරණයේ තේමා සටන් පාඨය වෙලා තිබෙන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ප‍්‍රශ්නය ගැන බලමු. මේක මතු වෙලා තියෙන්නේ කොයි වගේ කාලයකද, අවස්ථාවකද කියන එක හොඳටම මට තේරුම් ගියා පසුගිය දිනක රාත‍්‍රියක. පසුගියදා කොළඹ රොටරි සමාජයේ උත්සවයකට මම සහභාගී වුණා. මම තමයි විශේෂ දේශනය දුන්නේ. ජනාධිපතිවරණය ගැන තමයි මට කතා කරන්න ඇරයුම ලැබුණේ. ජනාධිපතිවරණය හා ජනාධිපතිවරණය ගෝලීය සන්ධර්භයකින් තේරුම් ගැනීම මම කතා කළා. හොඳ ප‍්‍රතිචාර ලැබුණා. ඇමරිකාවෙන් ඇවිත් සිටියා ඔවුන්ගේ නියෝජිතයින් පිරිසක්. ඔවුන් ඇත්තෙන්ම පුදුම වුණා. ජනාධිපති ක‍්‍රමය මෙහෙම දවස් සියයකින් කුඩු පට්ටම් කරන්න ලංකාවේ උදවියක් ලෑස්ති වෙලා ඉන්නවයි කියලා. මගෙන් ඇහුවා බි‍්‍රතාන්‍ය යටත් විජිත කාලයේ ඔයගොල්ලා ඉඳපු ඒ කාලෙ ගැන ලොකු ආදරයක් තියෙන කට්ටියක් ඉන්නවද මේ රටේ කියලා.

     

    නමුත් පුදුමාකාර දෙයක් සිද්ධ වුණා ඒ අවස්ථාවේ. ප‍්‍රශ්න කිරීමට වාරයක් ලැබුණා. ඒ ප‍්‍රශ්නයක් මගෙන් ඇහුවා මයික‍්‍රෆෝන් එකටම ඇවිල්ලා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් දරන ස්වාමිනාදන් මහත්මයා. එතුමා අහපු ප‍්‍රශ්ණ එච්චර ප‍්‍රශ්නයක් වුණේ නැහැ. මම පහසුවෙන් උත්තර දුන්නා නමුත්, ඒ ප‍්‍රශ්න අහන ගමන් අර ‘කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ’ කියන කියමන තහවුරු කරමින් එතුමා කිව්වා ‘‘මහින්ද රාජපක්ෂ ජනාධිපති යුද්ධය දිනපු බව නම් හැබෑව ඒක අපි පිළිගන්නවා. එයා යුද්දේ දිනපු හැටි අපි දන්නවා. ඒක ගැන ඉතින් දැන් වෙන තැන්වල හොයන හන්දා මම දැන් කියන්නේ නැහැයි’’ කියලා. මට එකපාරට තරහා ගියා. මට ලේසියෙන් තරහා යන්නේ නැහැ. මම වාඩිවෙලා ඉඳපු තැන ඉඳන් ඇහුවා මොකක්ද ඔය කිව්වේ කියලා. ‘‘මොකක්ද ඔය කියන්න හැදුවේ කියලා. බය නැත්නම් තමන් කියන්න හදපු දේ ඉඟි කරපු දේ කියන්න.’’ කියලා මම බොහොම තරහින් කිව්වා. මට තේරුණා මොනවද මේ කියන්න හදන්නේ කියලා. ජනාධිපතිවරණය ගැනනේ අපි කතා කළේ. සහ ජනාධිපති ක‍්‍රමය ගැනනේ. එතනදී ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න අහන ගමන් මේක අත ඇරියා. ඉතින් මට තේරුණා මෙතන සන්ධර්භය මොකක්ද කියලා. අපි කොයි මොහොතෙද මේ සාකච්ඡාව කරන්නේ ජනාධිපති ක‍්‍රමය ගැන. දැන් සුමානයක්වත් නැහැ ඡන්දයට. හරි හෝ වැරදි හෝ එක්සත් ජාතික පක්ෂය ලෑස්ති වෙලා ඉන්නවා පාලන බලයට එන්න. අවුරුදු විස්සක්ම ඉඳලා රනිල් වික‍්‍රමසිංහ මහත්තයාව අගමැති කරවන්න. අපේ විපක්ෂයේ පොදු අපේක්ෂක සිරිසේන මහත්මයා මුල්ම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදීම මම මෙතුමාව පත් කරනවයි කියලා ආපු ගමන්ම. ඉතින් එහෙම බලන් ඉන්දැද්දී අර බළලා මල්ලෙන් එළියට පැන්නා.

     

    දැන් මෙතන මේ සිතිවිල්ල තියෙන්නේ මහින්ද රාජපක්ෂව මෙහෙන් වට්ටලා ඊටපස්සේ අරගොල්ලෝ ඉතුරු හරිය බලාගනී. මහින්ද රාජපක්ෂව වට්ටන එක විතරයි තියෙන්නේ. ඒ කියන්නේ යුද්ධය දිනපු එක ගැන තියෙන වෛරය. ඒ කතාව කිව්වේ ප‍්‍රධාන විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් සහ රනිල් වික‍්‍රමසිංහ ඉතාම කිට්ටු හිතවතෙක් ලෙස මුළු සමාජයම දන්න ස්වාමිනාදන් මහතා. ඒක තමයි සන්ධර්භය. මේක පෙරළලා අර යුද්ධය දිනපු එකේ මහා පාපයට අපි වෙනුවෙන් යුද්ධය දිනලා අපේ ළමයි ආරක්ෂා කරපු මහා පාපයට අපේ නායකයාව ඒ බාහිර ක‍්‍රියාවලියට භාර දීම හෝ පාවා දීම. ඒ වගේ දේවල් ඉතිහාසයේ වෙලා තිබෙනවා. අපේ ඉතිහාසයෙත් වුණා. අවුරුදු දෙසීයකට කලින්. යහ පාලනයේ මුවාවෙන් සමහර ලොකු ලොකු පවුල්වල ඒ වංශාධිපතියෝ ඒ රජ්ජුරුවන්ව පාවලා දුන්නා. කන්ද උඩරට ගිවිසුමත් අත්සන් කරලා. ඒක දැන් තියෙන සන්ධර්භයයි. කොයි වගේ තත්ත්වයකද අපි ජීවත් වෙන්නේ. මේ මොහොත තේරුම් ගන්න ඕනේ. මේ ස්වාමිනාදන් මහත්මයා ඊයේ ? කියපු දේ විතරක් නෙවෙයි. තවත් සාක්ෂි සාධක මා සතුව තිබෙනවා.

     

    මාස ගණනාවකට උඩදී ගිය අවුරුද්දේ කිසි ලෙසකින්වත් ආණ්ඩුවේ පුවත්පතක් නොවන සන්ඩේ ටයිම්ස් පුවත්පතට සිය නමින්ම මංගල සමරවීර මහතා ලිපියක් ලිව්වා. එතුමා ඒ ලිපියේ කිව්වා අනාගතේ ඒ කියන්නේ මේ දැන් තියෙන ජනාධිපතිවරණ සටනේ විපක්ෂයේ වැඩසටහන ගැන. එතකොට එතුමා කිව්වා මේක අපිට දිනන්න පුළුවන්. අපි දිනන්නේ මෙහෙමයි. සිංහල බහුතරයක ඡන්ද අපිට එච්චර වැදගත් නැහැ. ලංකාවේ ජනගහනය අනුව 30%ක් ම සුළුතරය. අපි පටන් ගන්නේ ඒ සුළුතරය එහෙම් පිටින්ම දිනාගෙන. ඒක පදනම් කරගෙන තමයි මෙවර අපේ ඡන්ද ව්‍යාපාරය යන්නේ. ඒක ලබාගත්තාට පස්සේ සුළුතරයේ බහුතරය ලබාගත්තාට පස්සේ ඊළඟට බහුතරයෙන් සුළුතරයක් ලැබුණත් හොඳටම ඇති. එක්සත් ජාතික පක්ෂයට පුළුවන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසංවාදී කණ්ඩායමක් ආපුවාම එතකොට ඒ අංක ගණන් ටික හරි. එතකොට දිනාගන්න පුළුවන්.

     

    ඔබ හැමෝම දන්නවා මම සුළුතරයට විරුද්ධ පුද්ගලයෙක් නෙවෙයි. බහුතරවාදයට පක්ෂ පුද්ගලයෙක් නෙවෙයි. සිංහලයෙක් හැටියට මම බහුතරයේ කොටස්කාරයෙක්. කතෝලික භක්තිකයෙක් හැටියට මම සුළුතරයේ කොටස්කාරයෙක්. ඒක නිසා මට මේ ප‍්‍රශ්නයේ දෙපැත්තෙන්ම බලාගන්න පුළුවන්. ඒක නිසා මට සමස්තයට වඩා කිට්ටු වෙන්නත් පුළුවන්. නමුත් සමස්තයට වඩා කිට්ටු වෙන්න පුළුවන්කමක් තිබෙන පුද්ගලයෙක් හැටියට සහ දේශපාලන විද්‍යාඥයෙක් හැටියට මට මෙතන තේරෙන්නේ සුළුතරවාදී මූලෝපායකින් බිහිවන ආණ්ඩුවක් අනිවාර්යයෙන්ම සුළුතරවාදී ආණ්ඩුවක් වෙනවා. ඒ කියන්නේ සුළුතරයේ වුවමනා එපාකම් බහුතරය මත පතිත කරවන ආණ්ඩුවක් වීම නොවැළැක්විය හැකියි. බිත්තරයකින් අලි පැටියෙක් බිහිවෙන්නට බැහැනෙ. මංගල සමරවීර මහත්මයා කියන විදිහට මූලෝපාය මේක නම් ප‍්‍රතිඵලය අහවල් එකයි. ඉතින් මේ කියමන් දෙක ගත්තාම. ඊයේ ස්වාමිනාදන් මහතා කිව්ව එක සහ මාස ගණනකට කලින් මංගල සමරවීර මහත්මයා කියපු දේ  එකට ගත් විට මට තේරෙනවා අපි කොයි වාගේ මොහොතක ද මේක ගැන සාකච්ඡා කරන්න තීන්දුවක් ගන්න යන්නේ කියලා. මේ තීන්දුව ගත්තොත් ඊළඟට වෙන දේ ගැන අපිට බොහොම පැහැදිලි දැක්මක් දැනටමත් තිබිය යුතුයි.

     

    දැන් අපි බලපු අවකාශය කියන මානය ගැන දිගු කාලයක් නොවෙනස්ව පවතින ව්‍යූහාත්මක තත්ත්වයන් ගැන. අපි කවුද? අපි කොහේද ඉන්නේ?  අපි පුංචි දූපතක්. අපිට එකම එක අසල්වැසියයි ඉන්නේ. ඒ අසල්වැසියාගේ දකුණුකරයේ සිටින ජනවර්ගය සහ අපේ පුංචි දූපතේ උතුරුකරයේ සිටින ජනවර්ගය එකිනෙකා සමග ලේ නෑකම් පවත්වන දීර්ඝ භාෂයික, සංස්කෘතික, ඓතිහාසික සම්බන්ධකම් පවත්වන පිරිස් දෙකක්. ඉතාම කුඩා මුහුදු සීමාවකින් එතෙර ඉතාම විශාල පිරිසක් ඉන්නවා. ලෝකය පුරා දමිළ ඩයස්පෝරාවේ තව විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් සියලුදෙනාම කොටින්වත්, බෙදුම්වාදීන්වත් නෙවෙයි. නමුත් ඒක තමයි භූ දේශපාලන යථාර්ථය. මේ දිවයිනේ උතුරුකරයේ සංයුතිය එහෙමයි. දකුණුකරයේ වෙසෙන්නේ ලෝකයේ වෙන කිසිම තැනක මේ භාෂාව කතා නොකරන එක්තරා පිරිසක්. සිංහල ජාතිය ගත්විට සමාජ විද්‍යාත්මකව බලනවිට ලෝකයේ පරණම ජාතියක් සහ ඇත්ත වශයෙන්ම සමූහ වශයෙන් ඒ භාෂාව කතා කරන තැන් ලෝකයේ වෙන තැනක නැහැ. දැන් ඒක තමයි භූ දේශපාලන යථාර්ථය. දැන් මේ භූ දේශපාලන යථාර්ථය තුළ අපේ රාජ්‍ය ක‍්‍රමය හදාගන්න ඕනේ. උතුරුකරයේ ඒ ජනතාවගේ තියෙන හැගීම් නිසා ඇත්ත වශයෙන්ම දීර්ඝ ක‍්‍රියාවලියකින් පස්සේ යම්කිසි ස්වායක්ත පළාත් සභා ක‍්‍රමයක් ඇති වුණා බාහිර මැදිහත්වීමකුත් එක්ක. ඒ බාහිර මැදිහත් වීමත් අර භූ දේශපාලන යථාර්ථයේ කොටසක්. හේතුව දකුණු ඉන්දියානු සාධකය අසල්වැසි අර්ධද්වීපයේ අගනගරය වන දිල්ලිය මත ක‍්‍රියාත්මක වීම නිසා. ඔබ දන්නවා පළාත් සභා ක‍්‍රමයට මම පක්ෂයි. එදත් අදත්. නමුත් ඒ පක්ෂ විධායක ජනාධිපති ක‍්‍රමය හා ඒකීය රාජ්‍ය කියන අයෝමය රාමුව තුළයි. ඒ ක‍්‍රමය තමයි චීනයේ තියෙන්නේ. චීනයේ තියෙන්නේ ඒකීය රාජ්‍ය පමණක් නොවේ ඒකීය රාජ්‍යය රැකගන්නා ජනාධිපතික‍්‍රමයක් තිබෙනවා.

     

    විපක්ෂය මේක පිළිසකර කරන්න හෝ රැකගන්න නෙවෙයි ඔය වැඩපිළිවෙළ ගේන්නේ මේක විනාශ කරන්න. අහෝසි කරන්න. දින සියයෙන්. ඒක කරපුවාම සිද්ධවෙන දේ මොකක්ද? අපේ නොවෙනස්වන භූ දේශපාලනි යථාර්ථය නිසා ඒ වාගේ පරිවාර ඒකකයකට දැන් මේ තියෙන බලතල තිබුණොත් අර විධායක ජනාධිපති රාමුව ඉවත් කරලා ඊළඟට අල්ලපු ප‍්‍රාන්තයේ දශලක්ෂ හැත්තෑවකින් මතුවන ඒ කාන්දම් බලය තුලනය කරන්න. කොටු කරන්න පාලනය කරන්න බැරි වෙනවා. අන්න ඒක තමයි භූ දේශපාලන යථාර්ථය.

     

    ඉතින් මේවා අමතක කරලා කාගේ හරි සිතැඟියාවන් උඩ මේ රාමුව කඩන්න කියලාද අපිට කියන්නේ. ඇයි අපි එහෙම කරන්නේ. මේකට හේතූන් දෙක තුනක් ඇති. එක හේතුවක් තමයි රනිල්ටයි, චන්ද්‍රිකාටයි මේ රටේ සමස්ත ජනතාවගේ 50.1%ක ඡන්දයක් අරගෙන මහින්ද රාජපක්ෂව පරද්දලා රටේ නායකයා හෝ නායිකාව වීමට තියෙන නොහැකියාව. ඒ නොහැකියාව හන්දා ජනාධිපති ක‍්‍රමය සමතලා කරන්න බලනවා. ජාතියේ අවශ්‍යතාව කෙසේ වෙතත්. සමතලා කරලා තමුන්ට බලයට එන්න පුළුවන් ආපහු අර ආසන ක‍්‍රමය ගෙනැල්ලා පාර්ලිමේන්තු ක‍්‍රමය ගෙනැල්ලා කොළඹින් පත් වෙලා එක්සත් ජාතික පක්ෂයේ අර ඒකාධිපති ව්‍යවස්ථාව පාවිච්චි කරලා ඊළඟට එක්කෝ අගමැති වෙනවා වික‍්‍රමසිංහ මහත්මයා. එහෙමත් නැත්නම් අත්තනගල්ලෙන් එනවා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය අගමැතිනිය වෙනවා. එහෙම නැත්නම් අනික් එක්කෙනා නියෝජ්‍ය අගමැති හෝ අගමැතිනිය වෙනවා. රනිල් චන්ද්‍රිකා පාලනය එක්දහස් නවසිය අසූ ගණන්වල කදිම යුගයක්.


    2000 අගෝස්තු ව්‍යවස්ථා කෙටුම්පතට වඩා භයානක ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මුල් කාලයේ සහ අග කාලයේ. මුල් කාලයේ 1995 සහ 1997 ඉදිරිපත් කළා කුප‍්‍රකට පැකේජය කියලා විරුදාවලිය ලද ඒ යෝජනාව. ඒකට ඉතින් අපේ සෝභිත ස්වාමීන් වහන්සේ නම් ඒ කාලේ විරුද්ධ වුණා. දැන් අමතක වෙලාද දන්නේ නැහැ ඒ පැකේජය. ඒ පැකේජයේ තිබුණේ මේ ලංකාව ඒකීය රටක් කියන එක කටු ගාලා ඒකීය රටක් කියන්නේ එක මධ්‍ය කේන්ද්‍රයක් තියෙන රටක්. ඒක කටුගාලා ඒ වෙනුවට ලංකාව හඳුන්වලා දෙන්න කලාප සංගමයක් හැටියට. කලාප සංගමයක්. උතුරු නැගෙනහිර කලාපය. ඔය පළාත් සභා කියන ඒවාම තමයි. ඒවත් තව වැඩි කරලා. ඒවායේ සංගමයක්ලු ලංකාව. චන්ද්‍රිකා චින්තනය. 1995 සහ 1997 ඒක අමතක කරලා නැහැ. අවුරුදු දහයක් ගිහිල්ලා අපහු සුනාමියෙන් පස්සේ ඉදිරිපත් කළ පශ්චාත් සුනාමි යන්ත‍්‍රණය කුමක්ද? ඒ යන්ත‍්‍රණය සාකච්ඡා කරද්දී ලක්ෂමන් කදිරගාමර් මහත්මයාව සම්පූර්ණයෙන්ම අයින් කරලා දාලා තව පුද්ගලයෝ දෙදෙනෙක් පාවිච්චි කරලා තමයි ඒ සාකච්ඡාව කළේ. ඒ පුද්ගලයෝ දෙන්නා දැන් ආපහු ඇවිල්ලා බොහොම ලස්සනට එතුමියත් එක්ක එහෙ මෙහෙ යනවා. බුරුමෙට යනවා, මෙහේ කටයුතු කරනවා ඒගොල්ලෝම තමයි. ඒ පශ්චාත් සුනාමි යාන්ත‍්‍රණයට අනුව, කොටි සංවිධානයට එක ආසනයයි. ලංකා ආණ්ඩුවට එක ආසනයයි. මුස්ලිම් ප‍්‍රජාවට එක ආසනයයි. දෙවනි තීරුවේ අත්‍යවශ්‍ය තීරුවේ. සල්ලි එන තීරුවේ පශ්චාත් සුනාමි යන්ත‍්‍රණයේ කොටි සංවිධානයට ආසන 5 ලංකා ආණ්ඩුවට ආසන 3 මුස්ලිම් ප‍්‍රජාවට ආසන 2යි. මේ චන්ද්‍රිකාගේ අතටද අපි මහින්ද රාජපක්ෂගෙන් පාලන බලය අරගෙන මේ තියෙන ජනාධිපති ක‍්‍රමය බිඳ දාලා  බලය දෙන්න යන්නේ. එක්කෝ අගමැතිනිය හෝ නියෝජ්‍ය අගමැතිනිය හැටියට.

     

    අනික් කාරණය අපේ හමුදාව හතුරු හමුදාවක් හැටියට සලකලා. අතුරුගිරියේ අපේ හමුදාවේ බුද්ධි අංශයේ කණ්ඩායමක් හිටියා  ඒගොල්ලෝ තමයි සම්බන්ධිකරණය කළේ ප‍්‍රභාකරන්ව මරණ ඒ ව්‍යාපෘතියට. ඒ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වෙන්න ගියා 2001 නත්තල් දවසේ. ඒක නැවැත්තුවේ රනිල් වික‍්‍රමසිංහ. ඒක පරිපාලනය කරපු අතුරුගිරිය සේෆ් හවුස් එකේ අපේ හමුදා බුද්ධි අංශයේ කට්ටිය අත්අඩංගුවට අරගෙන කට උත්තර ගත්තා. ඒ කට උත්තරවලින් ලැබුණු තොරතුරු; තමුන්ගේ ආණ්ඩුවටමනේ ඔවුන් කට උත්තර දුන්නේ. ඒ හිටපු ඔක්කෝම ඝාතනය කළා එල්.ටී.ටී.ඊ. එකෙන්. ඉතින් ඒ රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා අගමැති කරන්නද අපි මේ ජනාධිපති ක‍්‍රමය කුඩුපට්ටම් කරලා පාර්ලිමේන්තුවටයි, අගමැතිටයි, කැබිනෙට්ටුවටයි බලය දෙන්න යන්නේ ?

     

    මහින්ද රාජපක්ෂව එළෝලා දාලා ආපහු ඒ අනූ ගණන්වල දීනත්වයටද අපි ආපහු හැරෙන්න යන්නේ. මේකට රනිල් චන්ද්‍රිකා පක්ෂ වෙන්නේ ඔය හේතු උඩ.  ඕක තමයි මේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නයි කියන එක හේතුවක් වෙන්නේ. නමුත් තව හේතුවක් තියෙනවා. තව පැත්තකින් ඔය හේතුව මතු වුණා ඊයේ පෙරේදා. අපිට පේන්න මතු වුණා. ටීඑන්ඒ සංවිධානය. ටීඑන්ඒ සංවිධානයත් එක්ක හොර ගිවිසුම් ගැන කතා කරන්න යන්නේ නැහැ. ඊට වඩා නිල වශයෙන් තියෙන ගිවිසුම තමයි මට බය. නිල නිවේදනයක් තියෙනවා කඩදාසියක්. ඒක ඔක්කෝම පත්තරවලටත් දුන්නා.

     

    ඒකේ පැහැදිලිව කියනවා ඇයි මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාත් එක්ක එක්වෙලා තියෙන්නේ ටීඑන්ඒ එක. අන්තිම ‍ඡේද දෙකේ කියනවා. අන්තිම ඡේද දෙකනේ නිගමනය. පළවෙනි ඡේදයේ නම් තියෙනවා මහින්ද රාජපක්ෂ නොවැළැක් විය හැකි ආඥාදායකයෙක් ඒකාධිපතියෙක් වෙනවයි කියලා. එහෙම නම් කොහොමද කියන්නේ අහවල් දවසේ ගෙදර යන්න වෙයි කියලා? ඒකත් කියනවා. ඒක හරි පුදුමයිනේ. නොවැළැක්විය හැකි ඒකාධිපතිත්වයක් හෝ ආඥාදායකත්වයක් නම් ඔහොම සාමකාමී ඡන්දයකින් ගෙදර යවන්න බැහැ. ඒ කතාවේ විශාල පරස්පරයක් තියෙනවා. අනික් එක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ආඥාදායකයෙක් වෙලා ඉඳපු කාලේ මුකුත් නොකියපු ඔහු මැරුවාට පස්සෙත් අවුරුදු පහක් ගිහිල්ලා මේ ඊයේ පෙරේදා උතුරු පළාත් සභාවේ ඡන්දෙදී ප‍්‍රභාකරන් මහා වීරයෙක් කියපු මේ ටී.එන්.ඒ. සංවිධානය මහින්ද රාජපක්ෂට ආඥාදායකයෙක් කියලා කියනවා. ඒකත් කමක් නැහැ කියමු. ඒගොල්ලො විතරක් නොවේ. අපේ අනුර කුමාර දිසානායක සහෝදරයත් ඕක කියනවානෙ. වියරු ආඥාදායකත්වය කියනවා. ජනතා විමුක්ති පෙරමුණේ කාගේවත් ලෙයින් අත් තෙත් නොකරගත්තු එක නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමාට විරුද්ධව කතා කරන කොට කාලතුවක්කු කටක් තියෙනවා. හැබැයි බටලන්දේ භීෂකයා අගමැති වෙන එක ගැන කියන්නේ වත් නැහැ. එතකොට අඩුතරමින් කැටපොලු කටක්වත් වෙන්නේ නැහැ. ඉතින් හරි පුදුම දේශපාලනයක් මේ දවස්වල තියෙන්නේ මේ සහෝදරවරුන්ගේ.

     

    ඉතින් ටීඑන්ඒ සංවිධානය කියනවා. අපි මේ සහයෝගය දෙන්නේ දේශපාලන විසඳුමක් සාකච්ඡාවට නෙවෙයි. අපි හැමදාමත් විරුද්ධ වුණා මේ විධායක ජනාධිපති ක‍්‍රමයට. මේක කටුගානවයි කියලා සිරිසේන මහත්තයා පොරොන්දු වෙලා තියෙනවා. ඒක හොඳටම අපිට ඇති. නැහැ. ඕක තෝරලා දුන්නා සම්බන්ධන් මහත්මයා. විදේශ ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානයේ අමතමින් ඊයේ පෙරේදා. ඇයි සහයෝගය දෙන්නේ කියලා ඇහුවාම කියනවා අපි දේශපාලන විසඳුම ලබාගන්න හැටි අපි දන්නවා. මේකට බාධකයක් වෙලා තියෙන්නේ ඔය විධායක ජනාධිපති ක‍්‍රමය. අපි හැමදාමත් ඕකට විරුද්ධ වුණේ ඒ හන්දා. දැන් මේක දවස් සීයෙන් ඉවත් කරනවා කියලා කියනවා. ඒ හන්දා අපි සහයෝගය දීලා ඉතුරු හරිය අපි බලාගන්නම්. ඒක එහෙම්මම කියනවා. හැබැයි හැංගි හොරා දෙයක් නැහැ එතන. හේතුව 1987 අවුරුද්දේ 13 වන සංශෝධනය ගේනකොට විරුද්ධ වෙච්ච අපේ දකුණේ සහෝදරවරුන්ට අමතරව ටීඑන්ඒ සංවිධානයත් විරුද්ධ වුණා. ඒ කාලේ ටී.යූ.එල්.එෆ්. ඔවුන් බාරගත්තේ නැහැ. බොහෝම ආඩම්බරයෙන් දැන් කාලෙත් කියනවා අපි නම් ඕක 1987ත් බාරගත්තේ නැහැ. ඇයි 1987දී බාරගත්තේ නැත්තේ. එදා ටී.යූ.එල්.එෆ්. සංවිධානය අපේ සුප‍්‍රීම් උසාවියම කිව්ව දේ වෙන විදිහකට කිව්වා. සුප‍්‍රීම් උසාවිය කිව්වා මේ 13 වන සංශෝධනයෙන් බිහි වන පළාත් සභා ඒකීය රාජ්‍යය රාමුව තුළ රැඳී පවතින්නේ එකම එක හේතුවක් උඩ ඒ තමයි විධායක ජනාධිපති ක‍්‍රමය. සමස්තය විසින් ඒකකය පාලනය කරලා යටත් කරලා නිකන් පියනක් වගේ තියෙන හන්දා. සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම්. ඒ කාලෙම ටී.යූ.එල්.එෆ්. සංවිධානය ඕක කිව්වා. කියලා දිගටම පළාත් සභාවේ බලය ගන්න කොට ගිය අවුරුද්දේ පළවෙනි නිල කතාවේ ආපහු  ඕක පුනරුච්චාරණය කළා. 13 වන සංශෝධනය හරියට ක‍්‍රියාත්මක කරන්න බැහැ හැම පැත්තෙන්ම කොටු වෙනවා මේ විධායක ජනාධිපති ක‍්‍රමය නිසා. ඉතින් අනිවාර්යයෙන්ම ටී.එන්.ඒ. සංවිධානයේ ව්‍යාපෘතියට සහ දමිළ ඩයස්පෝරාවේ හා තමිල්නාඩුවේ ඒ සිහිනය ඔළුවේ තියාගෙන ඉන්න කොටස්වලට මේ විධායක ජනාධිපති ක‍්‍රමය වාෂ්ප කර දැමීම ඉවහලක් වන බව අපට තාර්කිකව හා පැහැදිලිව පවසන්නට පුළුවන්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya