මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාප මන්ත්‍රීවරුන් හම්බන්තොට දී මුහුණ දුන් සිද්ධීන් ගැන කතානායක කනගාටුව පළකරයි

    අප්‍රේල් 24, 2014

    එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට හම්බන්තොට කළ සංචාරයේ දී ඇති වූ සිද්ධීන් ගැන ඉතා කනගාටුවන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    ගරු අගමැතිතුමනි, මේ කාරණය වගවිභාග කරලා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න Select Committee එකක් පත් කරන්න කියා අප ඉල්ලා තිබෙනවා. ඒකට රජය එකඟදැ?යි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා විමසා සිටි අවස්ථාවේ මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන බවත් ඒ ප්‍රදේශයෙන් නො ව පිටතින් පොලිස් නිලධාරින් යොදවා දැනට එම පරීක්ෂණ කරගෙන යන බවත් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ප්‍රකාශ කළේය.


    එවිට ජෝන් අමරතුංග මහතා: “නැහැ, නැහැ. අප කියන්නේ මේ ගැන සොයා බලන්න පාර්ලිමේන්තු කාරක සභාවත් පත් කරන්න කියලායි.


    කථානායකතුමා: මෙය මන්ත්‍රීවරුන්ට වුණු සිද්ධියක් නිසා පොලිස්පතිතුමා පරීක්ෂණ පවත්වා එම වාර්තාවේ පිටපතක් මා වෙත ඉදිරිපත් කළොත්, මට ඒ ගැන පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. මම මේ සිද්ධිය ගැන කනගාටු වෙනවා. තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා මමයි.


    දි.මු. ජයරත්න මහතා: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියලා විශේෂයක් අපට නැහැ. [බාධා කිරීම්] පාර්ලිමේන්තුව තුළ - [බාධා කිරීම්]


    කථානායකතුමා: ගරු අගමැතිතුමනි, මම කථා කරන විට කරුණාකර එයට සවන් දෙන්න. තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා මමයි. ඒ නිසා මේ මන්ත්‍රීවරුන්ට වුණු සිද්ධිය පිළිබඳව මා ඉතාම කනගාටු වෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස මමත් කටයුතු කර තිබෙනවා. රජයේ යම් කටයුත්තක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණු වෙලාවලදී එදා විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියට අපත් මේ වාගේ ගිහින් ඒවා ගැන සොයා බැලුවා. එහෙම ගිය මන්ත්‍රීවරුත් මේ ගරු සභාවේ ඉන්නවා. රජය මුදල් වියදම් කරලා වැඩක් කළොත් ඒ ගැන සොයා බලන්න මන්ත්‍රීවරුන්ට අයිතියක් තිබෙන්න ඕනෑ. නැත්නම් මේකේ නිදහසක් නැහැ. එවැනි තැනකට මන්ත්‍රීවරු ගියාම  එහි ඇති ආරක්ෂාව සහ අනික් සියලු කටයුතු ගැන සොයා නොබැලීම පිළිබඳව ඒ අදාළ අමාත්‍යවරුත්, ඒ ආයතනවල ප්‍රධානීනුත් වග කියන්න ඕනෑ.

     

    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ නියමයන් වැඩි ඡන්දයෙන් සම්මතයි

     

    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ නියමයන්, සම්මත කර ගැනීම සඳහා අද විවාදයට ගත් අවස්ථාවේ එයට සංශෝධන එක් කළ යුතු බවට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් සිය අදහස් දක්වන ලද අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ද එය පනත් කෙටුම්පතක් නො ව ගැසට් පත්‍රයක් බවත් එයට විරුද්ධ වන්නේ නම් අධිකරණයට යා හැකි ව තිබූ නමුත් විපක්ෂය එසේ නොකළ බවත් එම කාලය ඉකුත් ව ඇති හෙයින් දැන් නියමය අනුමත කිරීමේ විවාදය පවත්වා ඡන්ද විමසීමක් කළ හැකි නමුත් සංශෝධන එක් කළ නොහැකි බව අවධාරණය කළහ.


    මෙහිදී පැන නැඟුණු තත්ත්වයන් සලකා බලා කතානායක චමල් රාජපක්ෂ මහතා සිය තීන්දුව මෙසේ සභාවට ඉදිරිපත් කළේය.


    කථානායකතුමා: ඔබතුමන්ලා දැන් මම කියන දෙය පොඩ්ඩක් අහගන්න.

    ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා - වැඩබලන විපක්ෂ නායකතුමා - ඉදිරිපත් කළ කරුණ - මේ සංශෝධන- නියමවලට ගේන්න පුළුවන්කමක් නැහැ.

    2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3. 2 (i)හි පැහැදිලිව තිබෙනවා, "විෂය භාර අමාත්‍යවරයා විසින් සෑම යෝජිත ව්‍යාපෘතියකටම අදාළ තොරතුරුද, ඒ සම්බන්ධයෙන් ප්‍රදානය කරනු ලබන නිදහස් කිරීම් හා ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නිවේදනයන් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබිය යුතුය"කියලා. ඒ අනුව‍ අද දින විවාදයට ගන්නා කරුණ, න්‍යාය පත්‍රයේ යෝජනා පිළිබඳ දැනුම් දීම යටතේ තිබෙන්නේ, "සංශෝධිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්තියේ (4) වැනි  උපවගන්තිය යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2014 ජනවාරි 30 දිනැති අංක 1847/35 දරන අති විශේෂ ගැස‍ට් පත්‍රයේ පළ කරනු ලැබ, 2014.02.18 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය." කියලායි.

    ඉතින් අනුමත කළ යුතුද, නැද්ද? එච්චරයි අවසානයේදී තීන්දුව තිබෙන්නේ. පනතකට නම් එය වෙනස්. [බාධා කිරීම්] දැන් ඒ ගරු ඇමතිතුමාට එය ඉදිරිපත් කරන්න ඉඩ දෙන්න. [බාධා කිරීම්]


    අද විවාදය අවසානයේ නියමයන් සම්මත කර ගැනීමට ඡන්දයක් විමසිය යුතු යැයි විරුද්ධ පක්ෂයෙන් ඉල්ලා සිටි අතර පක්ෂව ඡන්ද 113ක් ද වරුද්ධව ඡන්ද 41ක් ද ලැබුණු අතර වැඩි ඡන්ද 71කින් ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ නියමයන් සම්මත විය.


    හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි / නිරංජි හේරත්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya