අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හැට වසරක් සපිරෙන මහා මහින්ද ජාත්‍යන්තර ධර්මදූත සේවය

    ජූනි 06, 2023

    හැට වසරක් සපිරෙන මහා මහින්ද ජාත්‍යන්තර ධර්මදූත සේවය

    (අනගාරික ධර්මපාලතුමාගේ විදෙස් ධර්ම දූත සේවාවෙන් පසුව විදෙස් රටවල විශේෂයෙන් ඉන්දියාවේ බුදු දහම ප්‍රචාරය කිරීම මූලික අරමුණ කරගනිමින්ම මහා මහින්ද ජාත්‍යන්තර ධර්මදූත සංගමය 1963 ජුනි 09 වැනි දින ආරමිභ කරන ලදී. එම සංගමයේ 60 වැනි සංවත්සරය 2023 ජුනි 09 යෙදේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි)

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායකව වැඩ සිටි රාජකීය පණ්ඩිත බද්දේගම විමලවංස නාහිමියන් විසින් කුල දරුවන් 30 දෙනකු පැවිදි කරමින් මහා මහින්ද ජාත්‍යන්තර ධර්මදූත සංගමය ආරම්භ කරන ලදී. එලෙස ආරම්භ කරන ලද ධර්ම දූත සේවාව මේ වන විට විද්‍යාලය හා සම්බන්ධ වෙනත් ස්වාමීන් වහන්සේලාද ඇතුලුව රටවල් 10කට අධික සංඛ්‍යාවක ධර්ම ප්‍රචාරක කටයුතු වල නියැලෙමින් නිවැරදි බුද්ධ ධර්මය ලෝකවාසී ජනතාව වෙත තිළිණ කරයි.

    ධර්ම ප්‍රචාරක කටයුතු සිදුකිරීම මෙම සංගමයේ ප්‍රධාන අරමුණ වුවත් තවත් සුවිශේෂි අරමුණු කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මෙම සංගමය පිහිටුවීම විශේෂත්වයකි. එහිදී ධර්මය දේශනා කිරීම සඳහා ස්වාමීන් වහන්සේලා පුහුණු කිරීම, අනගාරිකයින් සඳහා මධ්‍යස්ථාන පිහිටුවීම, අංග විකල වූවන් දුබලයන් නගා සිටුවීම සඳහා මධ්‍යස්ථාන පිහිටුවීම, ප්‍රජාවන්ගේ අධ්‍යාත්මික, සාමජික සහ ආර්ථික තත්වයන් දියුණු කිරීම,  ලෝක සාමය සහ සහජීවනය ඇති කරලීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම මෙහි තවත් ප්‍රධාන අරමුණු කිහිපයක් වේ.

    60 වැනි සංවත්සරය සැමරීම සඳහා මහා මහින්ද ජාත්‍යන්තර ධර්මදූත සංගමය විසින් ඉන්දියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, කොරියාව, ඉතාලිය, මහා බ්‍රිතාන්‍ය, ඇමරිකාව සහ චීනය යන විදෙස් රටවල සහ ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් දහයක ධර්ම දූත සේවාවේ සහ සමාජ සේවා කටයුතු වල නියැලී සිටින භික්ෂුන් වහන්සේලා 14 නමක් සහ එක් ගිහි පුද්ගලයකු ඇගයමින් ගෞරව සම්මාන පුද කිරීමේ උත්සවයක් සංවිධානය කර ඇත.  උත්සවය 2023.06.09 වැනි දින ප.ව.02.00ට  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

    එහිදී ඉන්දියාව නියෝජනය කරමින් ස්වාමීන් වහන්සේලා හතර නමක් සහ එක් ගිහි මහත්මයකු හට ගෞරව සම්මාන පුද කිරීමට නියමිතයි. එම ස්වාමීන් වහන්සේලා නම් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ  කපිල වස්තුපුර මහින්ද විහාරාධිපති ජූජ්‍ය තිස්සමහාරාමයේ ජිනරතන නාහිමිපානන් වහන්සේ, මහාරාෂ්ඨ ප්‍රාන්තයේ බොම්බාය නගරයට ආසන්න උල්හාස් නගරයේ මහින්ද විහාරාධිපති ආචාර්ය පුජ්‍ය නළුවෙල ආනන්ද නායක ස්වාමින් වහන්සේ, මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අජන්තාව සමීපයේ ජල්ගාඕන් නගරයේ මහින්ද විහාරාධිපති පුජ්‍ය නක්ඛාවිට සුගතවංස නායක ස්වාමීන් වහන්සේ, උත්තර් ප්‍රදේශයේ බරණැස ඉසිපතනයේ ජම්බුද්දීපය ශ්‍රී ලංකා විහාරාධිපති ආචාර්ය පුජ්‍ය කහවත්තේ සිරි සුමේධ ස්වාමින් වහන්සේ,  කර්ණාටක ප්‍රාන්තයේ K.G.F බෞද්ධ විහාරයේ ධර්මාචාර්ය චන්දිම ජයතිලක මහත්මා, එංගලන්තයේ බර්මින්හැම් නගරයේ ජේතවන විහාරාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ ගුණවංශ නායක ස්වාමීන් වහන්සේ, චීනයේ කුවංශ්‍යාඕ විහාරාධිපති චීන බෞද්ධ සංගමයේ උපසභාපති  පූජ්‍ය මිංෂං නායක ස්වාමීන් වහන්සේ, ඉතාලියේ මෝදෙනා නගරයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය දඹදෙණියේ ධම්මාරාම නායක ස්වාමීන් වහන්සේ, ජපානයේ නාරා නගරයේ තකිදෙරා ආරාමයේ අධිපති පුජ්‍ය තයිහන් ත්සුජිමුරා නායක ස්වාමීන් වහන්සේ, කොරියාවේ ඉන්ඛන් පළාතේ බුචොන් සී නගරයේ ස්ක්වන්සා ආරාමයේ අධිපති පුජ්‍ය යොංදම් ලිම් නායක ස්වාමීන් වහන්සේ,  මැලේසියාවේ සෙන්තූල් නගරයේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරාධිපති පූජ්‍ය බූටාවත්තේ සරණංකර නායක ස්වාමීන් වහන්සේ, සිංගප්පූරුවේ බෞද්ධ විහාර සංගමයේ අධිපති ආචාර්ය පූජ්‍ය ගාල්ලේ උදිත නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකාවේ මුල්ලේරියා නව නගරයේ ජාතික ළමා අධ්‍යාපන පදනමේ මහින්දාරාමාධිපති ආචාර්ය පුජ්‍ය බඳගිරියේ සෝමවංශ නායක ස්වාමීන් වහන්සේ, ඇමරිකාවේ කැලිෆෝනියාවේ රෝස්මීඩ් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය භන්තේ චාඕචූ නායක ස්වාමීන් වහන්සේ සහ ඇමරිකාවේ හවායි ප්‍රාන්තයේ  හමකුආ, කොහලා, හවි ජෝද්‍රො මීෂමේ අධිපති පූජ්‍ය වජිර වංශ ෂුන්ජි නායක ස්වාමීන් වහන්සේලා හට ගෞරව සම්මාන පුද කිරීමට නියමිතය.

    මෙම උත්සව සභාවේ මූලාසනය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක මාතලේ ධම්මකුසල නායක ස්වාමීන් වහන්සේ, ශ්‍යාමෝපාලික මහා නිකාය නියෝජනය කරමින් කැළණි රාජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ සහ අමරපුර මහා නිකාය නියෝජනය කරමින් වජිරාරාම විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර නිකායේ ධර්ම රක්ෂිත පාර්ශ්වයේ මහා නායක තිරිකුණාමලයේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේලා විසින් මූලාසනය හොබ වීමට නියමිත බව මේ පිළිබඳ අදහස් දැක්වූ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනේ අධිපති මහාචාර්ය පුජ්‍ය මැදගම නන්දවංස මහා ස්ථවීරයන් වහන්සේ පැවසූහ.

    ඇමරිකාවේ භික්ඛු බෝධි ස්වාමීන් වහන්සේ විසින් මෙහි ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිත අතර චීනයේ කුවංශ්‍යාඕ විහාරාධිපති පූජ්‍ය මිංෂං ස්වාමීන් වහන්සේ, ජපානයේ තකිදෙරා විහාරාධිපති තයිහං ත්සුජිමුරා ස්වාමීන් වහන්සේ, කොරියාවේ ස්වොක්වංසා විහාරාධිපති පුජ්‍ය යොංදම් ස්වාමීන් වහන්සේලා විසින් කෙටි දේශන පැවැත්වීමට නියමිතය.

    බුද්ධ ශාසනයේ චිරජීවනය ඇති කිරීමේ අරමුණින් මෙම උත්සවයට සමගාමීව 2023.06.08 වන දින කුල දරුවන් පැවිදි කිරීමේ උත්සවයක් කොළඹ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙන පරිශ්‍රයේදී පැවැත්වීමට  කටයුතු යොදා ඇත. එමෙන්ම තෝරාගත් දුෂ්කර පිරිවෙන් කිහිපයක අධ්‍යාපන කටයුතු වල නිරත සාමණේර ස්වාමීන් වහන්සේලා 250 දෙනකු සඳහා අධ්‍යාපන ආධාර ලබා දීමේ වැඩසටහනක් සහ එම පිරිවෙන් සඳහා අවශ්‍ය පොත්පත් ලබා දීමේ වැඩසටහනක්ද සංවිධානය කර ඇත. ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනේ ආදි ශිෂ්‍ය භාවයට කෘතගුණ සැලකීමක් වශයෙන්  මැලේසියාවේ අධිකරණ සංඝනායක පුජ්‍යතර බූටාවත්තේ සරණංකර නාහිමියන්ගේ අනුග්‍රහයෙන් මෙම අධ්‍යාපන ආධාර ලබා දීම සිදු කෙරේ.

    අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ප්‍රධාන වැඩසටහන දෙස් විදෙස් ගිහි පැවිදි ප්‍රභූ ආරාධිතයින් 400කගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    ලෝකයේ ජාතීන් අතර සමගිය, සමාදානය, සහජීවනය වඩාත් අර්ථවත් කිරීමට පිරිසිදු ථෙරවාදී බුදු දහම යොදා ගැනීමටත්, සමාජ සුබසාධනයට සහ ශ්‍රී ලාංකීය අභිමානය ලොවට ගෙන යෑමත් මෙම වැඩසටහනේ ප්‍රධාන පරමාර්ථ බව මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනේ අධිපති මහාචාර්ය පුජ්‍ය මැදගම නන්දවංස මහා ස්ථවීරයන් වහන්සේ වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහ.

     

     

    මුදිත අබේනායක

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya