මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් වසංගතයට හිස නොනැමූ ගාලු සංවර්ධනය

    ඔක්තෝබර් 16, 2021

    කොවිඩ් වසංගතයට හිස නොනැමූ ගාලු සංවර්ධනය

    ලෝක උරුමයක් වූ ගාලු කොටුව මෙරට සංචාරක කර්මාන්තයේ ඉතා වැදගත්  කේන්ද්‍රස්ථානයකි. එහෙත් ගාලු කොටුවේ නිදහසේ ඇවිදින සංචාරකයින් වෙනුවට අද දැකිය හැක්කේ පාළු ස්වභාවයකි. බොහෝ කඩ සාප්පු සහ ව්‍යාපාරික ස්ථාන වැසී ගොස්ය.


    දෙස් විදෙස් සංචාරකයින්ගෙන් හිස් වූ ගාලු කොටුව තුළට ගිය විට අපට දැක ගත හැකි වූයේ කොරෝනා වසංගතය හමුවේ නොනැවතුණු සංවර්ධන ව්‍යාපෘති රැසකි. ලහි ලහියේ එම ඉදිකිරිම් සිදුවෙමින් පවතියි. පාස්කු ප්‍රහාරය සහ පසුගිය වසර එක හමාරක කාලය තුළ මුහුණ දුන් කොවිඩ් ව්‍යසනය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය විශාල පසුබෑමකට ලක් විය. එහෙත් හැකි සෑම ආකාරයකින් ම අපි දැන් යළි හිස එසවිය යුතුයි. සංචාරකයින් මෙරටට ගෙන්වා ගත යුතුය. සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන හා වැඩි වශයෙන් නැරඹීමට පැමිණෙන ස්ථාන දියුණු කළ යුතුය. නාගරික සංවර්ධන අධිකාරිය, ලෝක බැංකු අධාර යටතේ ක්‍රියාත්මක වන ග්‍රෙට් ගෝල් හෙවත් මහා ගාල්ල නගර සංවර්ධන සැලැස්ම එවැනි තවත් එක් ව්‍යාපෘතියකි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් දිවයිනේ ප්‍රධාන නගර සංවර්ධනය කිරිම යටතේ ගාලු නගර සංවර්ධන ව්‍යාපෘතිය(Great Galle Project) ක්‍රියාත්මක කෙරේ. ලෝක බැංකු ආධාර ඇතිව, නාගරික සංවර්ධන අමාත්‍යාංශය මෙම උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ගාලු නගරය ප්‍රධාන නගරයක් බවට ශ්‍රේණිගත කිරීම සඳහා මහ ගාලු නගර සංවර්ධන වැඩසටහන (GGCDP ) සැලසුම් කර ඇති අතර ඒ් යටතේ උප ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරේ.

    ආර්ථික සංවර්ධනය සඳහා කේන්ද්‍රස්ථානයක් වශයෙන් පමණක් නොව, ඓතිහාසික වටිනාකමකින් යුත් සහ වරායක් ආශ්‍රිත නගරයක් ද වශයෙන් ගාල්ල නගරය අපට වැදගත් වේ. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි අධිරාජ්‍යයන්ගෙන් උරුම වූ ගෘහ නිර්මාණ ශිල්පයට ඉදිකරන ලද ගොඩනැගිලි සහිත ගාලු කොටුව අදට ද මිනිසුන් වාසය කරන, ව්‍යාපාර පවත්වාගෙන යන සජීවී ලෝක උරුමයකි. මෙය අධිරාජ්‍ය තුනක පාලන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබූ පැරණි නගරයකි. ගාලු නගරයේ ‌ෙඒතිහාසික උරුමය ආරක්ෂා කර ගන්නා අතරම සංවර්ධනය කිරීම මගින් එහි ජීවත් වීමේ
    හැකියාව වැඩි දියුණු කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම, නව ආයෝජන ආකර්ෂණීයත්වය ඉහළ නැංවීම, ඓතිහාසික සහ සංස්කෘතික වැදගත්කමක් ඇති ගාල්ල නගරය දේශීය හා විදේශීය අන්තර්ජාතික සංචාරක ආකර්ෂණය ඇති කිරීම ,ගාල්ල නගර සභාව, බෝපේ , පෝද්දල ප්‍රදේශයේ ඒකාබද්ධ සංවර්ධනයක් ඇති කිරීම, මෙම ව්‍යාපෘතිය මගින් බලාපොරොත්තු වේ.

    රජය විසින් ක්‍රියාත්මක සියක් නගර සංවර්ධන ව්‍යාපෘතියද මීට සමගාමීව ගාල්ල නගරයේ ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතිය යටතේ ගාල්ල නගරය සංවර්ධනය කොට අලංකාර කිරිම සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 20 කි. ගාලු කොටුවේ පැරණි සැළසුම් අධ්‍යනය කරමින් පුරාවිද්‍යත්මක ප්‍රමිතින්ට අනුව මෙම සියළුම ඉදිකිරීම සහ සංරක්ෂණ කටයුතු සිදු කිරීම මෙම ව්‍යාපෘතියේ ඇති විශේෂත්වයි. මෙහිදී ඉදිකිරීම් සඳහා සිමෙන්ති භාවිතා නොකිරීමද විශේෂත්වයකි. නූතන බදාම වෙනුවට උළු කුඩු, හුණු, වැලි , ගඩොල් කුඩු ආදිය යොදාගෙන සෑදූ බදාම
    විශේෂයක් මේ සියළුම ඉදිකිරීම් සඳහා යොදා ගෙන ඇත. නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘති සිදු කරනු ලබයි.

    ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතියේ අධීක්ෂණ කටයුතු සිදුකරන ,නාගරික සංවර්ධන අධිකාරියේ දකුණු පළාත් අධ්‍යක්ෂ වරලත් නගර නිර්මාණ ශිල්පී අනුර මැදවල මහතා පැවසුවේ ග්‍රේට් ගෝල් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කිහිපයක් මෙම වසරේ අවසන් වන බවයි.

    නාගරික සංවර්ධන අධිකාරියේ දකුණු පළාත් අධ්‍යක්ෂ වරලත් නගර නිර්මාණ ශිල්පී අනුර මැදවල මහතා;
    '' බද්දේගම බස්නැවතුම්පළ ව්‍යාපෘතියේ වැඩ සියයට 90ක් අවසන්. ගාලු කොටුව, තැපැල් කන්තෝරුව ඇතුළු ව්‍යාපෘති කිහිපයක් මෙම වසර අවසානයේදී නිම කිරීමට බලාපොරොත්තු වෙනවා.කරාපිටිය ශික්ෂණ රෝහල සහ ඒ් අවට දිනකට 75,000ක් පමණ ජනතාවක් රැස් වෙනවා.එම ජනතාව සඳහා සෞඛ්‍ය පහසුකම් අවම වීම ප්‍රධාන ගැටළුවක් වෙලා. වාහන තදබදය බහුල වීමත් ගාල්ල නගරයේ විශාල ගැටළුවක්. මීට විසඳුම් වශයෙන් නව රථගාල් ඉදිකිරීම, සුපිරි වෙළෙද සැල් පිහිටුවීම වැනි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙනවා. කරාපිටිය බස් නැවතුම්පළ ව්‍යාපෘතියේ ද පළමු අදියර අවසන් කර තිබෙනවා. දෙවන අදියර ඉදිරියේදී ආරම්භ කරනවා''


    2020-2023 වසරේ ව්‍යාපෘති 20ක වැඩ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ඒ් මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ ගං වතුර තර්ජනයට ලක් වන නගර හඳුනාගෙන නව පාලම් 09ක් ඉදි වෙමින් පවතින බවද කීය.දෙස් විදෙස් සංචාරකයින් වැඩි වේලාවක් රඳවා තබා ගැනීමට හැකිවන පරිදි, ගාල්ල ධර්මපාල උද්‍යානයද නවීකරණය කෙරේ. මෙම වසර අවසානයේදී ධර්මපාල උද්‍යානයද විවෘත කරන බව අනුර මැදවල මහතා පැවසීය..

    නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් නාගරික සංවර්ධන අධිකාරියේ දකුණු පළාත් නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ දව්පති දහනායක මහත්මිය පැවසුවේ . ගාලු කොටු පවුරේ Sky Walkway ව්‍යාපෘතිය මහ ගාලු නගර සංවර්ධන වැඩසටහන යටතේ ඇති ප්‍රධාන උප ව්‍යාපෘතිවලින් එකක් බවයි. පැකේජ තුනක් යටතේ ගාලු කොටු බැම්ම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව ඇය සඳහන් කළාය.

    ''මෙහි පළමු පැකේජය යටතේ කොටු බැම්ම, එහි මුර කුටි 14 (බැස්ටියන්) සහ සිව්රැස් කොටු සංරක්ෂණය කරනවා.මුර කුටි, පතරොම් බංකර, වෙඩි බෙහෙත් කුටි වැනි මීට පෙර ජනතාවට විවෘත නොවූ කොටස් අපි ජනතාවට දැක බලාගැනීමට අවස්ථාව සළසනවා. මෙමඋපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් ගාලු කොටුවේ ඓතිහාසික, සංස්කෘතික සහ දර්ශනීය අලංකාරය මුල් කරගෙන දේශීය මෙන් ම විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගන්න බලාපොරොත්තු වෙනවා." දෙවන අදියර යටතේ අලංකරණ කටයුතු සිදු කෙරේ.ගාලු කොටුවේ ඇති ඔරලෝසු කණුව විදුලි බුබුළු යොදා අලංකාර කිරීමට සැළසුම් කර ඇත. අනෙකුත් අලංකරණ කටයුතු මං තීරු සකස්කිරීම් ආදිය මෙම දෙවන අදිවයර යටතේ දී සිදු කිරීමට බලාපොරොත්තු වන බව දව්පති දහනායක මිය සඳහන් කළාය.

    ගාලු කොටුවේ මෙම ඔරලෝසු කණුව රාත්‍රී කාලයේදී විදුලි බල්බ යොදා අලංකාර කිරීමට සැළසුම් කර ඇත. ''තුන්වෙනි පැකේජය යටතේ කාලතුවක්කු අනුරූ 36ක් නැවත ප්‍රතිශ්ඨාපනය කිරීම සිදු

    කරනවා .පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යුග තුනම අධ්‍යනය කරමින් මෙම කටයුතු සිදු වෙනවා. අපි ඒම රටවලින් මෙම කාලතුවක්කු අනුරූ ගෙන්වා ගනිමින් නිසි අධ්‍යනයක් කර මෙම නිර්මාණ සිදු කරනවා''

    ව්‍යාපෘති භාර නිලධාරී ආචාර්ය නිහාල් කුරේ මහතා අදහස් දක්වමින් පැවසුවේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ‌පෞරාණික බව ආරක්ෂා වන අන්දමින් මෙම සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

    The Star Bastion – Galle fortgaaa
    වැඩ නිමවෙමින් පවතින තාරකා අට්ටාලය - මෙම වසර අවසානයේ මෙහි වැඩ නිම කිරීමට නියමිතය - ව්‍යාපෘති භාර නිලධාරී ආචාර්ය නිහාල් කුරේ මහතා

    ''ගාලු කොටුවේ ස්ටාර් බැස්ටියන් හෙවත් තාරකා අට්ටාලය කියන මෙම කොටස පසුගිය සමයේ කඩා වැටුණා.Dutch යුගයේ නිර්මාණය වූ මෙම ගොඩනැගිල් බොහොම ශක්තිමත්ව තනා තිබුණා. ඉතාම ඉහළ ගෘහ නිර්මාණ ශීල්පීන් සහ ඉංජිනේරුවන් වූ ලන්දේසින් අතින් ඉදි වූ මෙම තාරකා බැස්ටියන් කියන කොටසක් පමණක් කඩා වැටුනේ කොහොමද යන්න සම්බන්ධයෙන් අප අධ්‍යනයක් සිදු කළා. ඒ් සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක විශ්ලේෂණයක් කළා.ආනතියේ යම් වෙනස්වීමක් නිසයි මෙය සිදු වී තිබෙන්නේ.අපි මෙය නැවත කඩා නොවැටෙන පරිදි ශක්තිමත්ව සකස් කළා. ජලය නොරැඳෙන පරිදි ශක්තිමත්ව තාප්පය සකස් කරන්න විදේශයන්ගෙන් යම් යම් ද්‍රව්‍ය අපි ගෙන්නුවා. ලබා දිය හැකි උපරිම ආරක්ෂාව ලබා දුන්නා. මොඩර්න් මැටීරියල් කිසිවක් භාවිතා කර නැහැ.ලංකාවේ ප්‍රථම වතාවට තමයි මෙලෙස පැරණි බදාමයෙන්ම මෙතරම් උස තාප්පයක් ගොඩ නගා තිබෙන්නේ. පෘතුගීසි ලන්දේසි, ඉංග්‍රිසි යුග තුනම නිරූපණය වන ගොඩනැගිලි ඒකම අවස්ථාවක දැකිය හැක්කේ ගාලු කොටුවේ පමණයි''


    ගාල්ල කොටුව පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංරක්ෂණ ව්‍යාපෘතිය

    සියයට 50%ක් වැඩ නිමකර ඇති ගාල්ල කොටුව පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල

    ගාල්ල කොටුව පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ව්‍යාපෘතියේ ද40%කින් පමණ වැඩ නිම කර අවසන්ය.මෙරට මුල්ම තැපැල් කාර්යාල මෙරට ජනතාවට නැරඹීමට අවස්ථාවක් හිමි කර දීම සහ සංචාරක ආකර්ෂණය ලබා ගැනීම මෙහි අරමුණ වේ.

    තැපැල් කාර්යාලය අතරම, සංචාරක අවන්හලක්,කෞතුකාගාරය, නව තැපැල් කාර්යාලයක්ද මෙහි ඉදි කිරීමට නියමිතය. දැනට මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 6වෙනි ඉංජිනේරු බලකාය විසින් සිදු කෙරේ.මෙම තැපැල් කාර්යාලය ඒවකට ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ නිල නිවසයි.පසුව විවිධ පුද්ගලයන් එය භාවිතා කළ අතර 1974 දී මෙම ගොඩනැගිල්ල පුරා විද්‍යාත්මක ස්මාරකයක් බවට නම් කර තිබේ.

     

    දියදම් උයන - හෝලුවාගොඩ කෘෂි පාරිසරික උද්‍යානයgu1

     

    හෝලුවාගොඩ ඉදිවෙමින් පවතින දියදම් උයන කෘෂි පාරිසරික උද්‍යානයද ග්‍රේට් ගෝල් ව්‍යාපෘතියේ තවත් එක් ව්‍යාපෘතියකි. ගාලු නගරයේ සිට කිලෝමීටර 7ක් පමණ දුරින් පිහිටි හෙක්ටයාර 200ට වැඩි පුරන් වූ කුඹුරු යායක් මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගෙන තිබේ. මෙම කුඹුරු යාය ගංවතුරින් යට වීම නිසා දීර්ග කාලයක් තිස්සේ අතහැර දැමූ කුඹුරු යායකි. සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන ක්‍රියාකාරකමක් ලෙස කෘෂි පාරිසරික උද්‍යාන, කෘෂි අලෙවිසැල්, ඇවිදින මංතීරු, දේශීය අලෙවි සැල් මෙම උද්‍යානයේ ඉදිකිරීමට නියමිතය

     

      සියයට 90% ක් වැඩ නිම වී ඇති ගාල්ල බද්දේගම බස් නැවතුම්පල badd

    නගරය අවට ප්‍රදේශවල ජීවත් වන වැසියන්ගේ සහ නගරයට දිනපතා ඒන ජනතාවගේ පවතින ගැටලුවලට විසඳුම් ලබා දෙමින් නගරවලට වටිනාකමක්,අලංකාරයක් ලබා දීම මෙම සියළුම ව්‍යාපෘතින් හරහා සිදු කෙරේ. සංචාරක කර්මාන්තය විශාල වශයෙන් කඩා වැටී ඇති මොහොතක යුහුසුළුව මෙම ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීම කාලීන අවශ්‍යාතවයකි.

    සංචාරයක් ඇසුරෙන් සකස් කළේ-ප්‍රභාෂිණී දේශබන්ධු

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya