මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ඒඩ්ස් දිනය අදයි

    දෙසැම්බර් 01, 2019

    ලෝක ඒඩ්ස් දිනය අද ට ( දෙසැම්බර් 01) යෙදී තිබේ.

    මානව ප්‍රතිශක්තිකරණ ඌණතා වෛරසය හෙවත් එච්.අයි.වී. වෛරසය මානවයාගේ සෞඛ්‍ය කෙරෙහි ඇති කරන්නේ ඉමහත් බලපෑමක්. එහෙත් වර්තමානය වන විට එච්.අයි.වී. මාරාන්තික වෛරසයක් ලෙස හඳුනා ගන්නේ නැහැ. මුලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාගැනීම තුළින් එච්.අයි.වී. වෛරසය ඒඩ්ස් තත්ත්වයට පත්වීම වලක්වා ගතහැකි බව යි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය සඳහන් කරන්නේ.

    දෙසැම්බර් පළමුවැනිදාට යෙදෙන ලෝක ඒඩ්ස් දින මෙවර තේමාව වන්නේ ‘එච්.අයි.වී. සහ ඒඩ්ස් රෝග නිවාරණය සඳහා ප්‍රජාවේ කාර්යභාරය’ යන්න යි. එහිදී අවධාරණය කරන්නේ සියලු ම පාර්ශව කරුවන්ගේ ඵලදායිත්වය තුළින් ප්‍රජාව දැනුවත් කිරීම හරහා එච්.අයි.වී පරීක්ෂාවට සහ ප්‍රතිකාර සඳහා යොමුකරවීම මඟින් රෝගය ව්‍යාප්තවීම වැළකෙන බව යි.

    ලෝකයේ සමස්ත එච්.අයි.වී. ආසාදිතයන් මිලියන 37.9ක්. මින් මිලියන 23.3කට ප්‍රතිකාර ලබා දී තිබෙන අතර වසරකට මිලියන 1.7ක් එච්.අයි.වී. නව ආසාදිතයන් බවට පත්වෙනවා. එයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ අප්‍රිකානු මහාද්වීපයෙන්. ඉන්දියාව, තායිලන්තය, නේපාලය වැනි ආසියාතික රටවල එච්.අයි.වී. ආසාදිතයන් විශාල ප්‍රමාණයක් ජීවත්වුවත් මෙරට ජීවත් වන්නේ සමස්ත ඒඩ්ස් රෝගී සංඛ්‍යාවෙන් සියයට එකට වඩා අඩු ප්‍රමාණයක් බවයි ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි  පවසන්නේ.

    මෙරට සංඛ්‍යාලේඛනවලට අනුව 2013 සිට 2018 දක්වා එක් එක් වසරවල එච්.අයි.වී. නව ආසාදිතයන් 196, 228, 235, 249, 285 සහ 350 ක් ලෙස යි වාර්තා වන්නේ. තත්ත්වය එසේ වුවද ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී. ආසාදිතයන් 3500ක් සිටින බව ද ඇස්තමේන්තු කර ඇති අතර 2019 තුන්වන කාර්තුව වන විට හඳුනාගෙන ඇති එච්.අයි.වී. අවසාදිතයන් ගණන 3393ක්. 2018 වසර අවසන් වනවිට එච්.අයි.වී. වෛරසය ආසාදිත පුද්ගලයන් 1574ක් දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල ලිංගාශ්‍රිත රෝග සායන මඟින් ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා. මෙරට මේ රෝගය වැඩි වශයෙන් වාර්තා වන්නේ පිරිමි-පිරිමි සම්බන්ධතා පවත්වන අය අතරයි.

    මේ පිළිබඳ අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය ආසිරි හේවාමාලගේ ‘ඒඩ්ස් රෝගය ලෝකයේ මුලින් ම හඳුනාගැනෙන්නේ 1981දී. 1987 වසරේදී මෙරට පළමු ඒඩ්ස් රෝගියා හඳුනා ගැනුණා. විදේශිකයන් සහ විදේශයට ගොස් පැමිණෙන පිරිස හේතුකොට ගෙන යි ඒඩ්ස් රෝග වෛරසය වන එච්.අයි.වී. මෙරටට සංක්‍රමණය වූයේ. වර්තමානයේ එය මෙරට සමාජය තුළ ව්‍යාප්තව පවතින්නක්. මෙයින් 50% වැඩි ප්‍රමාණයක් ව්‍යාප්තව පවතින්නේ බස්නාහිර පළාත ආශ්‍රිතව. අනාරක්ෂිත ලිංගික හැසිරීම්, රුධිර පාරවිලයනයකින් මෙන් ම රුධිරය තැවරුණු ඉදිකටු හෝ කැපුම් උපකරණ හවුලේ භාවිත කිරීම සහ මවගෙන් තම දරුවාට (ගර්භාෂය තුළ, ප්‍රසූතියේදී සහ මව්කිරිදීම) එච්.අයි.වී. ශරීරගතවීමේ හැකියාව තිබෙනවා. අතට අත දීමෙන්, වැළදගැනීමෙන්, මදුරුවන් මගින් හෝ වැසිකිළි භාවිතයෙන් මේ වෛරසය මිනිසාගෙන් මිනිසාට ඇතුළු වන්නේ නැහැ. ශරීරයේ ප්‍රතිශක්තීකරණ හැකියාව හීනකර අවසානයේ වසර කිහිපයකට පසුව යි ඒඩ්ස් රෝගීන් බවට පත්වන්නේ.’

    එච්.අයි.වී. වෛරසය අවසාදනය වී ඇති බව හඳුනාගත හැක්කේ එච්.අයි.වී. සඳහා ම කෙරෙන රුධිර පරීක්ෂණයක් මඟින් පමණ යි. වෛරසය ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු නිසි ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු වෛරසය ආසාදිත පුද්ගලයන්හට ගුණාත්මක ජීවිතයක් ගතකළ හැකියි.

    ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක යටතේ 2030 දී ලෝකයෙන් ම ඒඩ්ස් තුරන් කිරීම අරමුණ වී තිබෙනවා. ශ්‍රි ලංකාව 2025වනවිට ඒඩිස් අවසන් කිරීමේ ඉලක්කයට ගමන් කරමින් සිටිනවා. මෙහිදී ඒඩිස් මරණ අවම කිරීම, එච්.අයි.වී නව ආසාදිතයන් අවම කිරීම සහ එච්.අයි.වී ආසාදිත පුද්ගලයන් කොන් කිරීම සහ වෙන්කොට සැලකීම අවම කිරීම යන කාරණා කෙරෙහි අවදානය යොමු කිරීම යි වැදගත්.

    රජයේ රෝහල්වල දී ඔවුන්ට අවශ්‍යය ප්‍රතිකාර නොමිලේ ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. 2004 වසරේ සිට රජයේ රෝහල්වල මේ ප්‍රතිවෛරස් ඖෂධ ලබාදීම ක්‍රියාත්මක යි. තනි පෙත්තක් හෝ පෙති කීපයක් ලෙස ඇති මේ ඖෂධ ප්‍රතිකාරවලින් ඇතිවන අතුරු ආබාධ අවම වන අතර ප්‍රමිතියෙන් ඉහළ ඖෂධවන බැවින් අනිසි බියක් ඇතිකර යුතු වන්නේ නැහැ. සුහඳශීලීවූත් විශ්වාසනීයවූත් ලිංගාශ්‍රිත රෝග සායනවල කාර්ය මණ්ඩලය මඟින් නොමිලේ මෙන් ම රෝගීන්ගේ රහසිගත බව ආරක්ෂා කර ගනිමින් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.

    නිසි ප්‍රතිකාර සහ සේවා නිසි කලට ලබා ගන්නා එච්.අයි.වී. ආසාදිත පුද්ගලයන් මඟින් රෝගය බෝවීම ද වැළකේ. දිවයින පුරා ඇති රජයේ රෝහල්වල ලිංගාශ්‍රිත රෝග සායනවල සතියේ දිනවල පෙරවරු 8.00-4.00 දක්වා ද සෙනසුරාදා දින පෙ.ව. 8.00-12.00 දක්වා ද එච්.අයි.වී. රෝගය ඇතුළු ලිංගාශ්‍රිත රෝග සඳහා පහසුකම් ලබා දෙන්නේ නොමිලේ. මේ රෝගය පිළිබඳ දැනුවත්වීම සහ පරීක්ෂණ සඳහා ප්‍රජාව යොමුකිරීම යි වැදගත්.

    ඒඩ්ස් වලක්වාගත හැකි රෝගයක්. නිවැරදි අවබෝධය මඟිනු යි එය වලක්වා ගත හැක්කේ. පාසල් සිසුන්, වාණිජ ලිංගික සේවකයන්, මත්ද්‍රව්‍ය ගන්නා පිරිස, වතුකම්කරුවන් මූලික කරගනිමින් නිරනිතර දැනුවත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදු කරනවා. ඉදිරි පරපුර මරාන්තික ඒඩ්ස් රෝගයෙන් ගලවා ගැනීමයි ඔවුන්ගේ අරමුණ.

    මනෝජා සමරනායක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya