ජූනි 19, 2019
tami eng youtube  twitter facebook
    logo

    මේ වසර නිම වීමට පෙර මාතර- හම්බන්තොට අධිවේගී මාර්ගය ජනතා අයිතියට

    මාර්තු 26, 2019

    ලෝකයේ රටක දියුණුව මනින ප්‍රධාන ඒකකයක් වන්නේ ඒ රටේ මහා මාර්ග පද්ධතිය හා විදුලි සන්නිවේදනයේ ඇති දියුණුව හා කාර්යක්ෂමතාවයි. අපේ රටේ අධික වාහන තදබදයට පිළියමක් ලෙසින් අධිවේගී මාර්ග තැනිය යුතු බවට අදහසක් ඉදිරිපත් වූයේ අදින් අඩ සියවසකට පමණ පෙරදීය. එහෙත් ඒ සිහිනය සැබෑ වන්නට බොහෝ කාලයක් ගත විය

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව ලෙස සැලකෙන මාතර සිට හම්බන්තොට දක්වා කිලෝමීටර් 96කින් යුක්ත කොටස මේ වසරේ අගෝස්තු මාසයේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය. ශ්‍රී ලංකා රජය විසින් ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස සෙය හඳුනාගෙන ඇත.

    2015 ජුලි මාසයේ ආරමිභ කළ මෙම අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කිලෝමීටර් 30කින් යුක්ත මාතර සිට බෙලිඅත්ත දක්වා කොටස ලබන ජුලි මාසයේ ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබේ. චීන සමාගම් තුනක් විසින් ඉදිකිරීම් සිදු කරන මෙම අධිවේගී මාර්ගයේ හම්බන්තොට දක්වා ප්‍රධාන පිවිසුම් 8කින් සමන්විත ය.

    එහි ඇස්තමේන්තුගත මුළු මුදල රුපියල් බිලියන 252.5 ක් වෙනවා.එමෙන් ම අධිවේගී මාර්ග පද්ධතියේ කොළඹ පිටත වටරවුම් මාර්ග පද්ධතිය ද මේ වසරේ ඉදිකර අවසන් කිරීමට නියමිත ය. එහි අවසන් අධියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝමීටර් 9.63ක කොටස එළැඹෙන ජුනි මාසයේ අවසන් කිරීමට නියමිත අතර එහි වැඩ ආරම්භ කෙරුණේ, 2016 ජනවාරි මාසයේදී ය.

    මෙම පිටත වටරවුම් මාර්ගය ඉදිකිරීමෙන් පසු දක්ෂිණ අධිවේගී මාර්ගය හා කටුනායක අධිවේගී මාර්ග පද්ධතිය එකට යා වෙනු ඇති. එමෙන් ම මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුම ද ඒ අනුව ඉදිකර අවසන් කිරීමට නියමිත ය. එහි ඇස්තමේන්තුගත මුළු මුදල රුපියල් බිලියන 66.7කි.

    රට පළමු අධිවේගී මාර්ග අත්දැකීම වූ දක්ෂිණ අධිවේගී මාර්ගය පළමු අදියරේදී කොට්ටාවේ සිට ගාල්ලේ පින්නදූව දක්වා කිලෝමීටර 99ක දුර ප්‍රමාණයකින් යුක්ත වූවක් විය. කෙටි කලෙකින්ම දක්ෂිණ අධිවේගයට තවත් කිලෝමීටර 33ක් එකතු වුණේ ගාල්ලට සීමා වී තිබූ අධිවේගයට මාතර යා කරමිනි. දැනට ගොඩගම තෙක් පමණක් විහිදී ඇති දක්ෂිණ අධිවේගය නුදුරු අනාගතයේදීම හම්බන්තොට දක්වා දිගුකිරීම මෙම අධිවේගී සැලැසුමේ කොටසකි. දැනට වාර්තා වන ආකාරයට මේ වසරේ මැද භාගය වනවිට දක්ෂිණ අධිවේගය හම්බන්තොටට පිවිසෙනු ඇත.

    මාතර ගොඩගම දක්වා දිගු කර තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට, මත්තල දක්වා දිගු කිරීම කලින් පැවැති රජයේ සැලසුමක් වූ අතර 2014 අග භාගයේදී එහි මූලික වැඩකටයුතු ඇරඹිණි. නමුත් 2015 ආණ්ඩු වෙනසත් සමඟ එම සැලසුම තාවකාලිකව යටපත් විය. නැවතත් 2015 ජූලි මාසයේදී හම්බන්තොට දක්වා අධිවේගය දිගුකිරීමේ ව්‍යාපෘතිය යළි පටන් ගැනිණි. ‍

    මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ හම්බන්තොට යෝජිත කර්මාන්ත කලාපය කොළඹ වාණිජ අගනගරය සමඟ යා කිරීම ය. නොඑසේ නම් හම්බන්තොට කර්මාන්ත කලාපය සහ කොළඹ අතර ගමනාගමන කාලසීමාව අඩු කිරීම ය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ පැයට කිලෝමීටර 120 ක උපරිම වේග සීමාවකට ඔරොත්තු දිය හැකි ආකාරයට මෙය නිර්මාණය කිරීම ය.

    ගොඩගම සිට මත්තල දක්වා දිවෙන දක්ෂිණ අධිවේගයේ මෙම අදියර ඉදිවන්නේ කොටස් හතරක් වශයෙනි. ඒ ගොඩගම සිට බෙලි අත්ත දක්වා (කි.මී. 30) පළමු කොටස ද, බෙලිඅත්තේ සිට වැටිය දක්වා (කි.මී. 26) දෙවැනි කොටස ද වැටිය සිට අන්දරවැව දක්වා (කි.මී. 15) තෙවැනි කොටස හා අන්දරවැව හරහා හම්බන්තොට මත්තල දක්වා (කි.මී. 25) සිව්වැනි කොටස ද වශයෙනි. ඒ අනුව ගත් කල ගොඩගම සිට මත්තල දක්වා දිවෙන මෙම අධිවේගී මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කිලෝමීටර 96කි.

    චීනයේ එක්සිම් බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය 2019 අගෝස්තු වන විට අවසන් වීමට අපේක්ෂිත ය. මෙහි සමස්ත පිරිවැය රුපියල් බිලියන 103.2ක් වෙතැයි ඇස්තමේන්තු කර තිබේ. ධාවන මං තීරු හතරක් වශයෙන් (එක් දිශාවකට මංතීරු දෙක බැගින්) මූලිකව ඉදිකෙරෙන අධිවේගී මාර්ගයට ඉදිරියේදී තවත් මං තීරු දෙකක් එකතු කොට මං තීරු හයක අධිවේගී මාර්ගයක් ලෙස දිගුකිරීමට අපේක්ෂිත ය.

    මෙම අධිවේගී මාර්ග කොටසේ මුළු අන්තර් හුවමාරු සංඛ්‍යාව අටකි. ඒ ගොඩගම, අපරුක්ක, බෙලිඅත්ත, කහගල්ල, අඟුණුකොළපැළැස්ස, වැටිය, සූරියවැව සහ අන්දරවැව වශයෙනි. හම්බන්තොටින් (මත්තල) අධිවේගය නිමාවට පත්වේ.

    වැටිය සිට අන්දරවැව දක්වා කොටසේ සූරියවැව නගරයට අන්තර්හුවමාරුවක් පවතින අතර ඒ හරහා දැනට හුදෙකලා වී ඇති සූරියවැය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ද පහසු ප්‍රවේශ මාර්ගයක් හිමිවනු ඇත. එමෙන්ම අන්දරවැව අන්තර් හුවමාරුව ඔස්සේ හම්බන්තොට මාගම්පුර වරාය දක්වා දිවෙන ප්‍රවේශ මාර්ගයක් ද ඉදිකෙරේ.

    ව්‍යාපෘතියේ පරිසර ඇගැයුම් වාර්තාවට අනුව වෙනත් අධිවේගී මාර්ගවලට (දැනට නිමවී ඇති වැඩ සිදුකරමින් පවතින සහ ඉදිරියේදී තැනීමට නියමිත) සාපේක්ෂව අඩු පරිසර හානියකින් යුතුව මාතර සිට මත්තල දක්වා කොටස ඉදිකළ හැකි බව පෙන්නුම් කෙරේ. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ මුළුමනින්ම තැනිතලා භූමියක් දිගේ මාර්ගය ඉදිවන බැවින් ඉහළ උන්නතාංශවලට ගමන්කිරීමේ අවශ්‍යතාවයක් නොපැවතීම සහ එම ප්‍රදේශයේ ජල මාර්ගවල පිහිටීම ද ඉතා අවම බැවිනි. කෙසේ වෙතත් වලවේ ගඟ හරහා අධිවේගී මාර්ගය ඉදිවන අතර ගඟ හරහා මීටර 600ක දිගින් යුත් පාලමක් ඉදිවේ.

    මෙම සමස්ත ව්‍යාපෘතියේ ඉංජිනේරු උපදේශකත්වය, චයිනා රේල්වේ ෆස්ට් සර්වේ ඇන්ඩ් ඩිසයින් ආයතනය ද කොන්ත්‍රාත්කරු ලෙස චයිනා ස්ටේට් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනියරින් සමාගම යන චීන සමාගම් ක්‍රියාකරයි.

    මේ වන විට කොට්ටාව සිට ගොඩගම දක්වා දක්ෂිණ මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර 126ක් වන අතර මත්තල දක්වා දිගු කිරීමෙන් අනතුරැව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර 222ක් වනු ඇත. මේ වන විට දක්ෂිණ අධිවේගය කොළඹ පිටත වටරවුම් අධිවේගයේ කඩවත දක්වා වූ කිලෝ මීටර 24ක කොටස සමඟ යා වී ඇති නිසා කඩවත සිට හම්බන්තොට දක්වා එක් අධිවේගී මාර්ගයක් ඔස්සේ ගමන් ගැනීමේ අවස්ථාව මේ වසර අවසාන වන විට මෙරට ජනතාවට උදාවනු ඇත.

    හම්බන්තොට දක්වා මාර්ගය ඉඳි කිරීමෙන් පසුව කතරගම වන්දනාවේ යන වන්දනාකරුවන්ට දිනකදි කතරගම වන්දනා මාන කරගෙන පහසුවෙන් පැමිණීමට හැකි වනු ඇත. කොළඹ සිට හම්බන්තොට දක්වා ගමන් කිරීමට පැය 2 1/2ක පමණ කාලයක් ප්‍රමාණවත් වනු ඇත. ඒ අනුව කතරගම දක්වා යාමට උපරිම ව‍ශයෙන් පැය 3 1/2ක් ගත වනු ඇත. උදෑසන කොළඹින් පිටත්ව පෙරවරු 10.30 කතරගම පූජාවට සහභාගි වී අවශ්‍ය නම් සෙල්ල කතරගම ආදී ස්ථානවලට ගොස් එදින පස්වරුවේ යළි කොළඹට පැමිණිය හැකිය.

    ලබන වසරේදී මාතර කොළඹට ආසන්න වුවාක් මෙන් කතරගමද කොළඹට ආසන්න වනු ඇත. දකුණු පළාතේ භාණ්ඩ කඩිනමින් කොළඹට ගෙන ඒමට වෙළෙඳුන්ට හැකියාව ලැබෙනු ඇත. සංවර්ධනයේ කඩිනම් භාවය වන්නේද එයයි

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya