අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවට සුවයක් දෙන සුවසැරිය ගිලන් රථ සේවය

    මාර්තු 09, 2019

    සුවසැරිය ගිලන් රථ සේවය යටතේ තවත් ගිලන් රථ 42 ක් පසුගියදා මධ්‍යම පළාත වෙනුවෙන් බෙදා දීම සිදු විය. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාව සිදු කෙරුණි. මෙම කෙටි ලිපිය ඒ වෙනුවෙනි.

    "තව මිනිත්තු පහකට කලින් ගියා නම් ජීවිතේ බේරෙනවා කියලා තමයි දොස්තරලා කිව්වේ. ඒ වෙලාවේ කවුරුහරි උදව්වට ආවානම් මිනිත්තු පහක් නෙවෙයි මිනිත්තු පහලොවකටත් කලින් අපිට පුතාව ඉස්පිරිතාලෙට ගෙනියන්න තිබ්බා. පාරේ ගිය වාහන කීයකට නම් අත දැම්මද? ඒත් කවුරුත් නතර කළේ නෑනේ. ඒ වෙලාවේ කවුරු හරි වාහනයක් නවත්වලා අපේ පුතා ගෙනියන්න ඉදිරිපත් වුනා නම් එයා ජීවතුන් අතරනේ. "

    කාර්යාලයේ සේවය කරන අපේ සහෝදරයෙකුගේ අවමංල්‍ය අවස්ථාවට එක් වෙන්නට මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයට ගිය අපට ඒ නිවසේ සිටි කාන්තාවකගේ විලාප හඩ ඇසුනේ ඒ විදිහටයි. කාන්තාව විලාප තබමින් කියූ කරුණු පිළිබද අසා සිටින විට හදුන්වා නොදුන්නත් ඒ මියගිය තරුණයාගේ මව බව අපට ප්‍රත්‍යක්ෂ වුනා.

    තරුණයා මියගොස් සිටියේ රිය අනතුරකට ලක්වීමෙන් සිදු වූ තුවාල වලින් අධික ලෙස ලේ වහනය වීමෙන් කියලා අවමගුලට ආපු තලත්තෑනි පිරිමියෙක් කිව්වේ හැගුම්බරවයි. ඒ නිසා අනතුර ගැන බොහෝ දේවල් අපිටත් දැනගන්නට ලැබුනා.

     

    මේ හදිසි අභාවය සිදු වෙලා තිබුනේ හදිසි අනතුරකින්. අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක් යතුරු පැදියේ ගමන්ගත් තරුණයාව පසු පසින් ගොස් හප්පා පළා ගොස් තිබුනා. වට පිට හිටපු හැමෝම එතනට රැස් වෙලා තරුණයාව රෝහල් ගෙනියන්න උත්සාහ කළත් ඒ සදහා වාහනයක් සොයා ගන්න බැරි වෙලා තියෙනවා. අන්තිමට විනාඩි 10 කට විතර පස්සේ තමයි පාරේ ගමන් කළ රියදුරෙක් තමන්ගේ වාහනය නතර කරලා ඒ තරුණයාව රෝහලට ගෙනියන්න ඉදිරිපත් වෙලා තියෙන්නනේ. අද කාලේ මේ වගේ හදිසි අනතරු සිදු වුනාම උදව්වට එන්න ඉදිරිපත් වුනත් වාහනවල දාගෙන ඒ තුවාලකරුවන් රෝහල් වලට ගෙනියන්න වැඩි පිරිසක් කැමති නැහැ. වැඩි දෙනෙක් ඒ වෙලාවට හිමීහිට කර ඇරලා මාරු වෙන්න තමයි බලන්නේ. මොනවටද නැති ලෙඩ දාගන්නේ කියලා ඒ අයට හිතෙනවා ඇති. ඇයි ඉතිං සමහර වෙලාවට එහෙම ඉදිරිපත් වෙන්න ගිහිල්ලා පොලිසි ගානේ ගිහින් කට උත්තර දි දී රස්තියාදු වෙන්න වෙන වෙලාවලුත් තියෙනවානේ. අන්තිමට කලහොද පස්සෙන් එලවනවා වගේ වෙයි කියලා තමයි ගොඩක් දෙනා හිතන්නේ. අපේ රටේ එහෙම අවාසනාවන්ත අත්දැකීම් විදපු අයත් එමටයි. ඒ නිසා සමහර වෙලාවට මේ වගේ අවස්ථා වල උදව්වක් කරන්න හිත දුන්නත් ඒ සදහා ඉදිරිපත් වෙන්නේ නෑ.

     

    මෙන්න මේ වගේ වෙලාවක තමයි සල්ලි ගෙවලා හරි ගිලන් රථයක් ගන්න ක්‍රමයක් තියෙනවා නම් හොදයි කියලා අපිට හිතෙන්නනේ. සල්ලි ගෙවලා හරි ගන්න පුළුවන් නම් හොදයි කියලා හිතෙනකොට කවුරුහරි නොමිලේ ගිලන්රථ දෙන්නම් කිව්වොත් කොහොමට හිටීවිද? ඇති වන සතුට ගැන කියන්න වචනත් නැති වෙයි. ඒත් පුදුමෙට කාරණය නම් අපේ රටේ සුළු පිරිසක් ඒ වගේ ගිලන් රථ අපිට එපා කියලා කියපු එකයි. සමහර වෛද්‍ය සංගම් ඒ වගේ ගිලන් රථ වලින් රෝහල්වලට ගේන ලෙඩ්ඩු භාර ගන්නත් එපා කියලා නිවේදන නිකුත් කළා. ඒ විතරක් නෙවෙයි මේ ගිලන්රථ ගෙනාවොත් ගල් ගහන්න ඕනෑ කියලා කියන පිරිසක් ගැනත් අහන්න ලැබුනා. ඒත් අපේ රටේ නම් එහෙම කියපු සුළු පිරිසක් හිටිය බව අකමැත්තෙන් වුනත් කියන්න වෙනවා. කොහොම වුනත් දැන් ඒ පරණ කතා වැඩක් නෑ.

     

    සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන පරිදි වසරකට ලංකාව තුළ හදිසි අනතුරු නිසා මිය යන පුද්ගලයන් 25,000 කටත් වැඩියි. මෙම හදිසි අනතුරු වලදී මුහුණ දෙන ප්‍රධානතම ගැටළුව වන්නේ තුවාල ලැබූ පුද්ගලයන් රෝහල් දක්වා ප්‍රවාහනය කිරීමේ පහසුකම් නොමැති වීමයි. මේ නිසා අපි අර මුලින් කියපු මහනුවර තරුණයා වගේ සැලකිය යුතු පිරිසක් රෝහල්ගත කරන්නට පෙරම මිය යනවා. එය ඉතාම අවාසනාවන්ත තත්වයක්. මෙන්න මේ නිසා තමයි වත්මන් රජය ඉන්දියාවේ රජය සමග එකතු වෙලා සුවසැරිය කියන ගිලන් රථ සේවය ලංකාවට හදුන්වා දුන්නේ.

    මේ ගිලන් රථ සේවයේ ප්‍රධාන අරමුණ වුනේ හදිසි අනතරු වලට සහ හදිසි තත්වයන්ට පත්වන පුරවැසියන්ට නොමිලේම රෝහල දක්වා ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමයි. ඒ සදහා රෝගියාගෙන් කිසිදු ගාස්තුවක් අය කරන්නේ නෑ. ඇත්තෙන්ම මෙය වඩාත් වැදගත් වන්නේ දුප්පත් ජනතාවටයි.

    මේ ගිලන් රථයක රෝගියෙක් ගෙනියන කොට ලැබෙන තවත් වාසියක් තිබෙනවා. ගිලන් රථයට යොදවලා ඉන්න කාර්ය මණ්ඩලය මූලික ප්‍රථමාධාර පිළිබද පුහුණුවක් ලැබූ අයයි. ඒ නිසා පෞද්ගලික වාහනයකින් රෝහලක් දක්වා ගෙන යන රෝගියෙක් ගෙනියනවට වඩා වගකීමෙනුත් රෝගියාව ගෙනි යන්න පුළුවන්කම ලැබෙනවා. කොහොම වුනත් මේ වන විට සුවසැරිය ගිලන් රථ සේවය තව දුරටත් පුළුල් වෙලා. පසුගිය දවසක මහනුවරදී මධ්‍යම පළාතටත් මේ වගේ ගිලන් රථ 42 ක් බෙදා දුන්නා. ඒ උත්සවයට ආපු ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ මෙම සේවාව තව දුරටත් ව්‍යාප්ත කොට ලංකාව පුරාම සුවසැරිය ගිලන් රථ ලබා දෙන බවයි. ඒ සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2000 ක මුදලක් වෙන් කොට ඇති බවත් ආමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නා.

    මේ ගිලන්රථ සේවය කොච්චර දුරට ජනතාවට වැදගත් වෙලාද කියන එකට සාධක එමටයි. පසුගිය මාර්තු 04 වැනිදා වෙනකොට මෙම සේවය ලබා ගැනීමේ අරමුණීන් සුවසැරිය ක්ෂණික දුරකතන අංකයට නව ලක්ෂයකට ආසන්න පිරිසක් කතා කරලා තිබුනා. ඒ දුරකතන ඇමතුම් අතරින් එක්ලක්ෂ 70 දහසකට ආසන්න දුරකතන ඇමතුම් වලට ප්‍රතිචාර ලබාදීලා ගිලන් රථ සේවය ලබා දෙන්නටත් හැකියාව ලැබිලා තියෙනවා. එක් ලක්ෂ පනස් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් රෝහල්ගත කිරීමට මෙම සුවසැරිය සේවයට හැකියාව ලැබිලා තිබෙනවා. සාමාන්‍යයෙන් දිනකට සුවසැරිය ක්ෂණික දුරකතන ඇමතුම් සේවයට ඇමතුම් 450 කට ආසන්න ප්‍රමාණයක් ලැබෙනවා.

    ඒකෙන්ම පේනවානේ මේ සේවය ජනතාවට කොච්චර වැදගත්ද කියලා. අද වෙනකොට සුවසැරිය ගිලන් රථ 250 කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරා යොදවලා තියෙනවා. කොහොම වුනත් දැන් පරණ කතා වැඩක් නෑ. සුවසැරිය ලංකාවේ සෑම තරාතිරමකම ජනතාවට ඉදිරියේදී තව තවත් සේවය කරන ප්‍රජා සත්කාරක සේවයක් වෙලා ඉවරයි. ඉදිරියේදී තව දුරටත් මේ සේවාව පුළුල් වෙනවා නම් එය සමස්ථ ජනතාවටම වැදගත්. ඒ සේවය ලබා දීම වෙනුවෙන් ලංකා රජයට වගේම ඉන්දීය රජයටත් ස්තූතිය පළ කළ යුතුයි.

    මනෝෂිකා හේරත්
    මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya