මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා අපේක්ෂිතයන්ට සහනයක් වන රැකියා පොළ

    අප්‍රේල් 04, 2019

    "කොල්ලගේ කල වයසත් හරි. ඒත් ඉතිං කසාදයක් බදින එක තමයි ප්‍රශ්නේ. හරි හමන් රස්සාවක් නැතුව කොහොමද කසාදයක් කර ගන්නේ. දැන් රස්සාවක් නම් කීයක් කියලා හෙව්වද? හැමදාම ඉන්රට්විව් යනවා විතරයි. හරියන රස්සාවක් තාමත් නෑ. අපේ ඇස් දෙක පියවෙන්න ඉස්සෙල්ලවත් කොල්ලට රස්සාවක් ලැබුනොත් ලොකු දෙයක්."

    උසස් පෙළ විභාගයට පෙනී ඉදලා රස්සාවක් හොයන කොල්ලෙක් ඉන්න ගෙදරකින් ඔය වගේ කතාවක් ඇහුනේ නැත්නම් ඒක ටිකක් පුදුමයට කාරණයක්. තරුණ වයසට ආවාම හැමෝටම මුහුණ දෙන්න වෙන ප්‍රශ්නය ඕක තමයි. එදා සමාජයේ නම් රස්සාව වැඩියෙන් බලපෑවේ කොල්ලන්ට. ඒත් අද තත්වය වෙනස්. කොල්ලෝ වගේම කෙල්ලොත් රස්සාවල් කරනවා. ඒ නිසා සමහර තරුණ තරුණියන් රස්සා ප්‍රශ්නයෙන් පීඩා විදින ගොඩකට පැටලෙනවා.


    රස්සාවක් හොයා ගන්න එකටත් වඩා අමාරුම වැඩේ තමයි ඉන්ටර්විව් යන එක. මොකද එක එක රස්සාවල් වලට ඉන්ටර්විව් තියෙන්නේ එක එක පළාත් වල. ඒ නිසා සහතික ටික කර පින්නාගෙන තැනින් තැනට ඉන්ටර්විව් යන්න වෙනවා. ගිහිල්ලා ඉන්ටර්විව් එකට මුහුණ දුන්නාම තමයි ඒ රස්සාව හරියන්නේ නෑ කියලා තේරෙන්නේ. රස්සාවක් නැතිව අතමිට යහමිනුත් නැතිව ඉන්න කොට බස් එකට දීපු සල්ලිත් වටිනවා. මොකද ගමන් වියදම් සදහා ඒ මුදල හොයා ගන්න වෙන්නෙත් ගොඩක් අමාරුවෙන්නේ. අන්න ඒ වගේ වෙලාවට තමයි අපිට හිතෙන්නේ මේ ඉන්ටර්විව් ඔක්කොටම එකම දවසක ගිහිල්ලා තමන්ට ගැලපෙන රස්සාවක් හොයා ගන්න පුළුවන් විදිහේ මොනව හරි ක්‍රමයක් තියෙනවා නම් කොච්චර හොදද කියලා. රස්තියාදුවකතුත් නෑ. මුදල් නාස්තියකුත් නෑ.

     

    තරුණ තරුණියන් මුහුණ දෙන ඔන්න ඔය වගේ ගැටළු වලට විසදුම් දීම සදහා තමයි. මිනිස් බල සහ රැකී රක්ෂා දෙපාර්තමේන්තුව මගින් රැකියා පොළ කියන අලුත් සංකල්පය හදුන්වලා දීලා තියෙන්නේ. කම්කරු සහ වෘත්තීය සමිති සබදතා අමාත්‍යංශය යටතේ තමයි මේ දෙපාර්තමේන්තුව පිහිටුවලා තියෙන්නේ. රැකියා පොළ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙන්නේ රැකියා අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් සහ රැකියා ලබාදීමේ අරමුණින් සිටින ව්‍යාපාරිකයන් ඇතුළු ආයතන හිමිකරුවන් අතර හමුවක් සංවිධානය කර දීමයි.


    මේක හමුවක් කියනවටත් වඩා ජංගම රැකියා පොළක් කියලා කිව්වත් වරදක් නැහැ. මොකද, මේ හමුවේදී රැකියා පිරිනැමීමට බලාපොරොත්තුවෙන් සිටින සමාගම් සහ ඒවායේ හිමිකරුවන් එකම ස්ථානයකට කැදවා රැකියා බලාපොරොත්තුවෙන් සිටි කණ්ඩායම ඔවුන් මුන ගැස්සවීමක් කරනවා. එතනදී රැකියා පිරිනැමීමට බලාපොරොත්තුවෙන් සිටන පුද්ගලයන් තමන් සතු රැකියා විස්තර ඉදිරිපත් කරනවා. ඒ අනුව එතනට පැමි‍‍ණෙන රැකියා අපේක්ෂිතයන් ඒ රැකියා ලබා ගැනීම සදහා සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වෙනවා.

     

    දෙපාර්ශයවයටම සෑහීමකට පත් වෙන්න පුළුවන් නම් ඒ මොහොතේදීම රැකියාව ලබා දෙන්නත් ලබා ගන්නත් පුළුවන්. මේ විදිහට එක් රැකියා අපේකෂකයෙකුට රැකියා පොළේ තියෙන ඕනෑම රැකියා ලබා දෙන ආයතනයක සම්මුඛ පරීක්ෂණයට පෙනී ඉදලා කැමති නම් රැකියාව ලබා ගන්න පුළුවන්. ආයේ තැන් තැන් වල දවස ගානේ රස්තියාදු වෙවී රස්සාවල් හොයාගෙන ඉන්ටර්වීව් යන්න ඕනෑ නෑ. පාර්ශව දෙකටම හරිම පහසුයි. රස්තියාදුව, මග වියදම්, කාලය නාස්තිවීම්, මුදල් නාස්තිවීම් මේ මොනවත්ම නෑ.
    මේ රැකියා පොළ සංකල්පයෙන් තවත් වාසි තියෙනවා. එකක් තමයි රැකියාවන් පිරි නැමීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ට සම්ම්ඛ පරීක්ෂණ සංවිධානය කිරීමට වැය වෙන මුදල ඉතිරි වෙන එක. සාමාන්‍යයෙන් ඉන්ටර්විව් එකක් කැදවන කොට ඒ සදහා පුවත්පත්වල හෝ වෙනත් ක්‍රමයකින් දැන්වීම් පළ කරන්න වෙනවා. ඒ වගේම සම්මුඛ පරීක්ෂණයකට එන අයට සංග්‍රහ වියදම් වගේ අමතර වියදම් දරන්නත් වෙනවා. ඒ සදහා සුදුසු තැනක් හොයා ගන්නත් වෙනවා. සුදුස්සන් හමු වුනේ නැත්නම් ආපහු දැන්වීම් දාන්න වෙනවා. රැකියා පොළ සංකල්පය යටතේ ඒ ඔක්කොම ඉතිරියි.

    ඉන්ටර්විව් කරන ස්ථානය මිනිස් බල සහ රැකී රක්ෂා දෙපාර්තමේන්තුව මගින් සූදානම් කරලා දෙනවා. ඒ නිසා ඒ සදහා කිසිම මුදලක් දරන්නට ඔවුන්ට සිදු වෙන්නේ නෑ. රැකියා බලාපොරොත්තුවෙන් එන අයටත් දවස දෙක තුනේ රස්තියාදු වෙන්න ඕනෑ නෑ. එකම දවසක රැකියා පොල භූමියේ ඇවිදලා තමන්ට ගැලපෙන රස්සාවක් සම්බන්ධයෙන් තියෙන සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වෙන්න අවස්ථාව තියෙනවා. මිනිස්බල සහ රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීනුත් ඒ ස්ථානයේ ඉන්න නිසා අවශ්‍ය සියළුම සම්බන්ධිකරණ කටයුතු සිදු කොට නිසි තැනට අයදුම්කරුවන්ව යොමු කරනවා. අවශ්‍ය අනිකුත් සියළු මගපෙන්වීම් එහෙමත් කරලා දෙනවා. ඇත්තටම ඉන්ටර්විව් එකකට ගියාම දැනෙන මානසික පීඩනය වගේ පීඩනයක් දැනෙන්නෙත් නැතුවම ඒකට මුහුණ දෙන්න පුළුවන්.

    රැකියා පොළට එන රැකියා අපේක්ෂකයෙකුට රැකියාවක් නොලැබුනොත් ඒ පුද්ගලයාට අවශ්‍ය වෘත්තීය පුහුණුව සහ මග පෙන්වීම ලබා දීමටත් මෙම වැඩපිළිවෙල යටතේ කටයුතු සකස් කොට තිබෙනවා. ඒ අනුව රැකියා අපේක්ෂකයාගේ සුදුසුකම් සපුරා ගැනීම සදහා අවශ්‍ය සුදුසුම පාඨමාලාවන් සොයා දීලා, එම ස්ථාන වලට යොමු කරනවා. වෘත්තීය පුහුණුවෙන් පස්සේ ආපහු අර රැකියා ලබා දෙන ආයතනයට කතා කරලා එම තරුණයා හෝ තරුණිය එම ආයතනයට ඉදිරිපත් කරනවා.

    මේ වැඩසටහනේ තියෙන සාර්ථකත්වය දැන් බොහෝ දෙනෙක් දන්නවා. ඒ නිසා තමයි පහුගියදා මහනුවර පැවති රැකියා පොළට රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් 2500 කට වඩා වැඩි පිරිසක් පැමිණියේ. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රෙය් පැවති මෙම රැකියා පොළ නිසා එම පරිශ්‍රය පිරී ඉතිරී ගොස් තිබුනා. මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි රැකියා පොළ ආරම්භ වුනේ. මේ වැඩේ තියෙන සාර්ථකත්වය නිසා දිසාපතිතුමාත් ඉතා
    කැමැත්තෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය භූමිය මේ සත් කාර්ය සදහා ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි අවශ්‍ය අනිකුත් සියළුම සහයෝගයත් ලබා දුන්නා.

    සම්මුඛ පරීක්ෂණයට පැමිණි රැකියා අපේක්ෂිතයන්ට රැකියා පිරිනැමීමේ අරමුණින් ආයතන 75 කට අධික ආයතන සංඛ්‍යාවකුත් මේ අවස්ථාව සදහා සහභාගී වුනා. සම්මුඛ පරීක්ෂණය සදහා ඉදිරිපත් වූ පිරිසගෙන් 500 ක් පමණ පිරිසට එම මොහොතේදීම රැකියා අවස්ථා ලබාදීමට අවශ්‍ය පසුබිම සකස් වෙලා තිබුනා. තවත් 500 කට වැඩි පිරිසක් දෙවැනි සම්මුඛ පරීක්ඹණයට තෝරා ගෙන තිබුනා. ඉදිරියේදී ඔවුන්ටත් බොහෝ විට රැකියා ලැබෙයි. සාමාන්‍යෙයෙන් රජයේ කාර්යාලයකින් සිදු කෙරෙන්නේ මහජනතාවට එදිනෙදා අවශ්‍ය කරන දෛනික කටයුතු සදහා සේවය ලබා දීමයි.විවිධ බලපත්‍ර ලබාදීම, සහතික ලබා දීම, ඉඩම් ගැටළු, සහ සහනාධාර ලබාදීම් වැනි කටයුතු ඒ අතරින් ප්‍රධානයි. නමුත් එම සාමාන්‍ය සේවාවන්ගෙන් ඔබ්බට ගොස් රැකියා විරහිත තරුණ තරුණියන් වෙනුවෙන් මෙවැනි සම්බන්ධීකරණ කටයුත්තක් සිදු කර දීමට කටයුතු කිරීම කැපී පෙනෙනවා. සත්‍ය වශයෙන්ම එය මහජන සේවයකට එහා ගිය පුණ්‍ය කර්මයක් ලෙසත් හදුන්වන්න පුළුවන්. ඒ නිසා මිනිස් බල සහ රැකි රක්ෂා දෙපාර්තමේන්තුව සිදු කරන මෙම සේවයට අපගේ උපහාරය පිරි නැමිය යුතුයි.

     

    මනෝෂිකා හේරත්.
    මහනුවර දිස්ත්‍රික් මාධ්‍යඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya