අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “රට රකින ජන මහිමය” ජන හමුව අමතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කරන ලද කතාව

    නොවැම්බර් 07, 2018

    රට රකින ජන මහිමය” ජන හමුව අමතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කරන ලද කතාව (2018-11-05)

    මම ඉතාමත් සතුටු වෙනවා වසර 04 කට පසුව, නැවත මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමත් සමග එකම වේදිකාවකට එන්න ලැබීම පිළිබඳව. මිත‍්‍රවරුනි, නොවැම්බර් මාසය ලංකාවේ පුදුම මාසයක්, 2014 නොවැම්බර් 21 වනදා තමයි මම එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවෙන් ඉවත් වුණේ. අවුරුදු 04කට පස්සේ මේ 2018 නොවැම්බර් මාසයේ තමයි අපි තමුන්නාසේලා නැවත එක වේදිකාවකට ඇවිල්ලා ඉන්නේ.

     

    මේ රටේ අග‍්‍රාමාත්‍ය ධූරයේ හිටපු රනිල් වික‍්‍රමසිංහ මහත්තයා එයින් ඉවත් කරලා ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධූරයට පත් කළේ ඇයි, මෙහි අරමුණු කුමක්ද, මෙයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද, මෙයින් සිදු වූයේ කුමක්ද, මෙයින් සිදු විය යුත්තේ කුමක්ද, මේ පුටුවට මාරු කළේ ශරීර දෙකක් නොවේ. මේ පුටුවට මාරු කළේ මිනිස්සු දෙන්නෙක් නෙවේ. මේ මාරු වුනේ මේ රටට අහිතවත්, දේශයට අහිතවත් අපට නොගැළපෙන අපේ සිතුම් පැතුම් හඳුනා නොගත් දේශීයත්වය අගය නොකරන විදේශීය න්‍යාය පත‍්‍රවලට වැඩ කරන දර්ශනයයි අපි අගමැති පුටුවෙන් ඉවත් කළේ කියලා මම පැහැදිලිව තමුන්නාන්සේලාට කියන්න ඕන.

     

    එහෙමනම් මේ පුටුවට පත් කළේ කවුද, මේ පුටුවට පත් කළේ අපට, රටට ගැළපෙන දේශයට ගැළපෙන දේශීය සංස්කෘතිය හඳුනන, දේශීයත්වය අගය කරන, විදේශීය දේශපාලන න්‍යාය පත‍්‍ර ප‍්‍රතික්ෂේප කරන ඔබේ අපේ සැබෑ මිනිසෙක් වූ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ නිසයි මම කිව්වේ මෙය පුද්ගලයන් දෙදෙනෙක් වෙනස් කිරීමට වඩා පුළුල් පරමාර්ථයක්, පුළුල් දැක්මක්, පුළුල් වෙනසක්. දේශපාලන වශයෙන් රටට විය යුතු වෙනසක්, කළයුතු දෙයක්, අගමැති පුටුවට නොගැළපෙන දර්ශනයක් ඉවත් කර ගැළපෙන දර්ශනයක් හිඳුවීමත් කියන එක තමුන්නාන්සේලාට කියන්න ඕන.

     

    අද මෙතන ඉන්න තමුන්නාන්සේලා එක්සත් ජාතික පාක්ෂිකයෝ නෙවෙයි, තමුන්නාන්සේලා මට සමාවෙලා මේ දේ මට කතා කරන්න ඉඩ දෙන්න ඕන. මේ රටේ එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන, ඩී.එස්. සේනානායක දර්ශනයට, ඩඩ්ලි සේනානායක දර්ශනයට ඇලී ගැලී මේ රටේ පැහැදිලි සමාජ දේශපාලන වෙනස්කම් කිරීමේ ඉතිහාසයක් තිබෙන ඒ වැදගත් දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයේ, වැදගත්කම එදා රැකදුන් නායකයන් කෙරෙහි විශ්වාසය තබා අද නායකයන් පසුපස යන මේ රටේ ආදරණීය එක්සත් ජාතික පාක්ෂිකයිනි මේ කතාව අහන්න.

     

    ඔබ මගෙන් අහන ප‍්‍රශ්නයක් තිබෙනවා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීම පිළිබඳව. කුමක් ද ඒ ප‍්‍රශ්නය 2015 ජනවාරි 08 වනදා හැට දෙලක්ෂ පනස්දහසකට ආසන්න සංඛ්‍යාවකින් මාව ජනාධිපති ධූරයට පත් කරන්න නායකත්වය ගත් මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයන් මගෙන් අහන ප‍්‍රශ්නයක් තිබෙනවා. ඒ ප‍්‍රශ්නය මීට දින 04කට කලින් මා මිත‍්‍ර ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමාත් මගෙන් ඇහුවා. කරූ ජයසුරිය මහත්තයට මීට දවස් 04කට කලින් එන්න කියලා අපි දෙන්නා කතා කළා. මම එතුමාට පැයක් කතා කරලා කිව්වා මේ වෙනස කරන්න හේතුව. මගේ කතාව අහගෙන ඉඳලා පැයකට පස්සේ කරූ ජයසූරිය මහත්තයා මගෙන් අහපු ප‍්‍රශ්නය, ආණ්ඩුවට එකතු වෙන්න ඊයේ පෙරේදා හවසට හවසට මාව හමුවුණු එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුනුත් මගෙන් ඇහුවා.

     

    ඒ ප‍්‍රශ්නය මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයනුත් මගෙන් අහනවා. කුමක්ද ඒ ප‍්‍රශ්නය. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ප‍්‍රබල සහයෝගයෙන් බලයට පත් වූ ඔබට, මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම විනා වෙනත් විකල්පයක් තිබ්බේ නැද්ද කියලා ඒ හැම කෙනෙක්ම මගෙන් අහනවා. මම පැහැදිලිව කියන්නට ඕන, කථානායකවරයා මගෙන් ඒ ප‍්‍රශ්නය ඇහුවම මම එතුමට කිව්වා කථානායකතුමනි, ඔබට මතක නැද්ද මීට මාස 08 කට පෙර ඒ විකල්පය මම ඔබට ඉදිරිපත් කළා. මිත‍්‍රවරුනි, ඔබ ඡන්දය දීලා ජයග‍්‍රහණය කළ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ, රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් පස්සේ කරූ ජයසූරිය මගේ හිතවත් කථානායකතුමාට මම කිව්වා, මට රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රතිපත්ති හා වැඩපිළිවෙළ ගැළපෙන්නේ නැහැ, ඔහුත් එක්ක මට වැඩ කරන්න බැහැ. ඒ නිසා කරු ජයසූරිය මැතිතුමනි, ඔබ අගමැති පුටුව භාරගන්න කියලා මම කරු ජයසූරිය මහත්තයට කිව්වා.

     

    මීට මාස 08 කට පෙර මම ඇවිටිලි කළා කරු ජයසුරිය මහත්තයට. අවසානයේ කරු ජයසූරිය මහත්තයා තුන්වෙනි දවසේ මට කිව්වා ජනාධිපතිතුමාගේ ඉල්ලීමට මම එකඟ වෙන්නම්, හෙට හම්බවෙන්න පුළුවන්ද, මම කිව්වා එන්න හම්බවෙන්න. පහුවදා හවස 5.00 ට වෙලාව දුන්නා, මාව හම්බ වෙන්න තනියම එනවා කියපු කරු ජයසූරිය මහත්තයා මගේ නිල නිවසට ආවා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයා එක්ක. ඇවිල්ලා තොල්පොටවල් වෙව්ල වෙව්ල මට කිව්වා, අනේ මේ අගමැතිතුමාට මට විරුද්ධ වෙන්න බෑනේ කියලා.

     

    මේ රටේ මේ කතාව අහගෙන ඉන්න ආදරණීය එක්සත් ජාතික පාක්ෂිකයනි, මම මගේ ඒ ව්‍යායාමය එතනින් අතහැරියේ නැහැ. අදින් මාස 02 කට පෙර ඒ උත්සහයේ ඊළඟ පියවර මම තිබ්බා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහත්තයට මම ගෙදරට එන්න කියලා කිව්වා ඔබේ නායකයා මට ගැළපෙන්නේ නැහැ. මේ දර්ශනය රටට ගැළපෙන්නේ නැහැ. ඔහුත් එක්ක මට වැඩකරන්න බැහැ කියලා. මම සජිත්ට කිව්වා , මම කරු ජයසූරියට කිව්වා ඔවුන් පස්ස ගැහුවා. මම කිව්වා සජිත්, රනිල් අයින් කරමු ඔබ අගමැතිකම භාරගන්න කියලා මම ඉල්ලීමක් කළා. අනේ කරු ජයසූරිය මහත්තයා වගේම සජිත් පේ‍්‍රමදාස මහත්තයත් කිව්වා නායකතුමා එක්ක නම් මට බැහැ හැප්පෙන්න කියලා. ඒක නිසා මම කල්පනා කළා රටට ගැළපෙන නායකයෙක් හොයන්න. ඒ නිසා මම තීන්දු කළා රටට ගැළපෙන නායකයෙක් පිළිබඳ තීරණයක් ගන්න.මේ රටේ දේශීයත්වය අගය කරන, සංස්කෘතිය හඳුනන, රටට ආදරය කරන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමනක් මාත් එක්ක යන්න, මට ගැළපෙන මිනිහෙක් මම හෙව්වා. කරු ජයසූරිය බෑ කිව්ව අගමැතිකම, සජිත් පේ‍්‍රමදාස බෑ කියපු අගමැතිකම, රනිල් වික‍්‍රමසිංහ එක්ක හැප්පෙන්න බැහැ කියලා සජිත් කියපු, කරු කියපු අගමැතිකම රනිල් එක්ක හැප්පෙන්න නෙවයි, රනිල් පෙරළගෙන යන්න පුළුවන් මහින්ද රාජපක්ෂව මම අගමැති කෙරුවා කියලා කියන්න ඕන.

     

    විදේශ න්‍යාය පත‍්‍රවලට අපිට වැඩ කරන්න බැහැ. පහුගිය අවුරුදු තුන හමාරකට වැඩි කාලයක් මේ රටේ අහිංසක දුප්පත්, දුගී ජනතාව පීඩාවට පත් කළා රනිල් වික‍්‍රමසිංහගේ ආර්ථික, දේශපාලන දර්ශනය. සුපිරි පන්තිය සැප විඳින තත්ත්වයට පත් කෙරුවා. ස්වදේශීය ජනයාගේ ස්වදේශීය සිතුම් පැතුම් ඔහු ප‍්‍රතික්ෂේප කෙරුවා. ස්වදේශීකත්වයට වටිනාකමක් නොදී, විදේශීය චින්තනයෙන් නව ලිබරල්වාදී දේශපාලන දර්ශනයක් කි‍්‍රයාත්මක කරන්න පටන් ගත්තා. සිංහල, දෙමළ, මැලේ, මුස්ලිම්, බර්ගර් ජනතාවගේ සිතුම් පැතුම් සමගිය ඔහුට අමතක වුණා.

     

    රටේ ප‍්‍රශ්න විසඳීම ඔහුට අමතක වුණා. ආණ්ඩුවේ තීන්දු ගත්තේ ඇමති මණ්ඩලය නොවේ, ආණ්ඩුවේ තීන්දු ගත්තේ ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ නෙවෙයි, ආණ්ඩුවේ තීන්දු ගත්තේ ජනපති, අගමැති නොවේ. ආණ්ඩුවේ තීන්දු ගත්තේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා සහ ඔහුගේ සමීපතමයන් එක්වයි.

     

    මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති ධූරයට පත් කරලා අද වෙනකොට සියලු මහානායක ස්වාමින්වහන්සේලා හමුවෙලා ආවා. අස්ගිරි, මල්වතු, රාමඤ්ඤ සියලු මහනායක හිමිවරුන්. ඒ වගේම අපේ මැල්කම් රංජිත් කාදිනල්තුමා හමු වෙලා ආවා. ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ වැඳලා ආවා.

     

    රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ගියාද මහා නායක හාමුදුරුවරු හම්බ වෙන්න. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ගියාද ජය ශී‍්‍ර මහා බෝධිය වඳින්න. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ගියාද කාදිනල්තුමා හම්බවෙන්න.

     

    මම බොහොම පැහැදිලිව කියන්න ඕන, මගේ දේශපාලන ජීවිතය අවුරුදු 51. ඒ අත්දැකීම් එක්ක, ඒ දැනුම සහ අවබෝධය එක්ක මම තනියම තීන්දු අරගෙන නැහැ මේ වෙනස කිරීමේදී. නීති විශාරදයින්, පරිණත දේශපාලනඥයන්, මේ පිළිබඳ පුළුල් දැනුමක් තියෙන විද්වතුන්. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාරද දැනුමත් තිබෙන අය මේ සියලුදෙනා එකට එකතු කරලා ඔවුන්ගේ උපදෙස් අනුව තමයි, ව්‍යවස්ථාවනුකූලව නීතියට එකඟව මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති ධූරයට පත් කළේ. රනිල් වික‍්‍රමසිංහ මහත්තයව ඒ තනතුරෙන් ඉවත් කළේ. කැබිනට් මණ්ඩලය විසුරුවා හැරියේ. නව ඇමතිවරු පත් කෙරුවේ. නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරුවේ. ඒ නිසා ව්‍යවස්ථානුකූලව, නීතියට එකඟව ඒ සියලු දේ කරලා තිබෙන බව ඔබ දන්නවා වගේම මේ පිළිබඳ චෝදනා කරන සියලුදෙනාට මම කියනවා. මේ පිළිබඳව විසදාගත යුතු යම්කිසි නීතිමය ප‍්‍රශ්නයක් තිබෙනවනම්, මේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්, මේ රට නීතිගරුක රටක්, අපක්ෂපාති අධිකරණයක් තියෙන රටක්. ඒ ඕනෑම කෙනෙකුට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ පිළිබඳ විමසීමක් කරන්න, ඒ සඳහා ඉඩ කඩ තිබෙනවා.

    ඒ නිසා පාර්ලිමේන්තුව අපි ශක්තිමත් කරනවා. 113 ගැන සැක හිතන්න එපා. 113 හදලා ඉවරයි. පාර්ලිමේන්තුව ශක්තිමත් කරලා අපේ දේශපාලන දර්ශනය තුළ, රට ඉදිරියට අරගෙන යන්න ඉඩ දෙන්න කියලා මම ගරු රනිල් වික‍්‍රමසිංහ මහත්තයගෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා.මේ රටේ ජනතාව, උගත් තරුණ පරපුර, වැඩ කරන පන්තිය, කම්කරුවෝ, රජයේ සේවකයෝ, ගොවියෝ, ධීවරයෝ ඒ සියලුදෙනා රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ ඒ පීඩාකාරී ආර්ථික දර්ශනයෙන් නිදහස් කරගත යුතු වෙනවා.

     

    තැඹිලි විකුණන මිනිහටත් බඳු ගැහුවා. ලොතරැයි විකුණන මිනිහටත්, පාර අයිනේ පලතුරු විකුණන මිනිහටත් බදු ගැහුවා. මේවට විරුද්ධව මා අවුරුදු තුනකට වැඩි කාලයක් සටන් කෙරුවා. මෙහිදී රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ එකම උත්සාහය ජාත්‍යන්තරයට වැරදි අදහස් දීම පමණයි. නමුත් අපිට මෙහිදී තිබෙන ලොකුම ශක්තිය, ව්‍යවස්ථාවනුකූලව, නීත්‍යානුකූලව, නිවැරදිව ඒ සියලු දේ කරලා තිබෙනවා වගේම මේ තීන්දුවේදී අපිට තිබෙන ලොකුම ශක්තිය මේ රටේ පොදු ජනතාවගෙන්, අති බහුතරයක් සියයට අසුවක් අපි ගත්ත තීන්දුව සමග සිටින බව අපිට බොහොම පැහැදිලිව පේනවා. ඒ නිසා ජනතා බලවේගය එක්ක සෙල්ලම් කරන්න එපා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයෝ, ජනතාවගේ කැමැත්ත, ජනතාවගේ හෘද සාක්ෂිය ඒ සියල්ල තේරුම් අරගෙන වැඩකරන්න කියලා මම ඒ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

     

    අපි කළයුතු වෙනස්කම් ඉදිරියේදී පැහැදිලිව ඉටු කරනවා . ඒ වගේම මම කියන්න ඕන රටේ තියෙන ආර්ථික ප‍්‍රශ්න විසඳීම වගේම, අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයත්, මමත් අලුත් ආණ්ඩුවක් විදිහට උතුරේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳීම සඳහා සම්පූර්ණයෙන් කැපවෙනවා කියන එක මම ඔබට පැහැදිලිව කියන්න ඕන. මෙතන ඉන්නවා මේ අවුරුදු තුන හමාරේ, හතරේ කැබිනට් එකේ හිටපු ඇමතිවරු සියලුදෙනා දන්නවා උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න කැබිනට් මණ්ඩලය තුළ කටයුතු කරද්දි මොනතරම් ප‍්‍රශ්න මතු වුණාද කියලා.

     

    උතුරේ අහිංසක ජනතාවට නිවාස 50,000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට අයිතිකාරයෝ කියාගන්න අවුරුදු තුන හමාරක් ඇමතිවරු රණ්ඩු වුණා. එක ගෙයක් හැදුවේ නැහැ. වෙනත් ව්‍යාපෘති කි‍්‍රයාත්මක වුණා. මේ නිවාස 50,000 ව්‍යාපෘතියට අතිවිශාල මුදලක් ලැබිලා තිබුණේ, මේ මුදල අයිතිකරගන්න රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කළා. රවී කරුණානායක මහත්තයා මුදල් ඇමති විදියට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. ස්වාමිනාදන් හිටපු අමාත්‍යවරයා මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. ඒ ගැටුම තුළ අවුරුදු තුන හමාරක් එක ගෙයක්වත් හදන්න බැරි වුණා. ඒ නිසා මම ඉතාම පැහැදිලිව කියනවා අපි කරගෙන යන්නේ පිරිසිදු වැඩපිළිවෙළක්. රටම පිළිගන්න වැඩපිළිවෙළක්. ජාත්‍යන්තරය පිළිගන්න වැඩපිළිවෙළක්. එක්සත් ජාතින්ගේ මහ ලේකම්තුමා මීට දින තුනකට කලින් මා සමග කතා කළා. මම එතුමාට මේ පත්වීම පිළිබඳ පැහැදිලි කළා. ව්‍යවස්ථාපිත තත්ත්වය පැහැදිලි කළා. එතුමා මට කිව්වා ඔබ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්න ගන්නා තීන්දුවලදී ඉතා පැහැදිලිව අපි ඔබට සහයෝගය දෙනවා. ඒ පිළිබඳව අපේ ප‍්‍රශ්නයක් නැහැ කියන එක. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්තුමා සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජික රටක් විදියට, මිත‍්‍රශීලි රටක් විදියට ඉතා පැහැදිලිව මම කියනවා අපිට ඒ ලැබුණු ආශිර්වාදය මම ඉතාමත් අගය කරනවා කියන එක.

     

    අපේ ඉතාමත් හිත මිත‍්‍ර වසර දහස් ගණනක සම්බන්ධතාවයක් තිබෙන මිත‍්‍ර ඉන්දීය රාජ්‍ය මගෙන් ඈත් කරන්න ඉතා අසත්‍ය ප‍්‍රචාර රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ කණ්ඩායම ගෙනියනවා. මාව ඝාතනය කිරීමට කරන ලද කුමන්ත‍්‍රණය හෙළි වීමත් සමග, ඒ පරික්ෂණ කටයුතු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට මම ඉදිරිපත් කළ කරුණු වරදවා රහසිගතව මාධ්‍යවලට දීලා ඉන්දීය මිත‍්‍රත්වය අපෙන් ඈත් කරන්න ඉතා පහත් විදියට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා සහ ඔහුගේ කණ්ඩායම කටයුතු කෙරුවා.

     

    නමුත් මම ඉතාම පැහැදිලිව කියනවා. අපිට බෞද්ධ දර්ශනය ලැබුණේ ඉන්දියාවෙන්. වසර දහස් ගණනක ආර්ථික, සංස්කෘතික සබඳතා අපිට ඉන්දියාව සමග තිබෙනවා. අපේ විදේශ ප‍්‍රතිපත්තිය තුළ ලෝකයේ සෑම රටක් සමගම ඇතිකරගෙන තිබෙන නොබැදි විදේශ ප‍්‍රතිපත්තිය තුළ ඉන්දීය මිත‍්‍රත්වයත් ශක්තිමත් කිරීමට මම සෑමවිටම කටයුතු කරනවා කියන එක ඉතාම පැහැදිලිව මේ අවස්ථාවේ කියන්න ඕන.

    අපි තමුන්නාන්සේල සියලුදෙනා එකතුවෙලා හොඳ රටක් හදමු. අපි හොඳ ගමනක් යමු. අපි අපේ තිබෙන වැරදි අඩුපාඩු හදා ගමු. අපි නිවැරදි වෙමු. මේ රටේ දුප්පත් අහිංසක පොදු ජනතාවගේ සිතුම් පැතුම් අපි ඉෂ්ට කරමු. අපි සමෘද්ධිමත් ආර්ථියක් ගොඩනගමු. ඉවසීමෙන්, සාමය ශක්තිමත් කරමින්, පොදු දේපළ ජාතික සම්පත් ආරක්ෂා කරමින් මේ දිනවල ඇතිවී තිබෙන දේශපාලන නොසන්සුතාවය සන්සුන් කරගෙන සෑම කෙනෙක්ම සාමයට කැපවෙමු. කිසිම කෙනෙකුට හිරිහැරයක් කරන්න එපා. කිසිම ගැටුමක් ඇතිකරගන්න එපා.

     

    පොදු දේපළ රකින්න, ජාතික සම්පත් රකින්න, දේශපාලන ප‍්‍රතිවාදින්ට ආදරයෙන් කතා කරන්න. ඔවුන්ට කරුණු පැහැදිලි කරන්න. ඒ සියලු දෙයින් අපි වඩා යහපත් රටක් හදමු. මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමා, නව ඇමති මණ්ඩලය තමුන්නාන්සේලා අපි සියලුදෙනා එක්වෙලා මේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය, අනෙකුත් ගෞරවනීය සියලු පූජකතුමන්ලා ඒ සෑම කෙනෙකුගේම අවවාද අනුශාසනා පෙරදැරි කරගෙන අපේ සංස්කෘතියට, අපේ දේශයට, උපේ උරුමයන්ට ගැළපෙන ඒ අපේකම් සියල්ලට වටිනාකමක් දෙමින් ඔබෙත්, මගෙත් ආදරණීය මාතෘ භූමිය ගොඩනගමු. ශක්තිමත් කරමු ඉදිරියට යමු.

     

    අවසාන වශයෙන් කතානායක කරු ජයසූරිය මැතිතුමාට මම යමක් කියන්න ඕන. ගරු මැතිතුමනි, ඔබ ඉතා හොද සිංහල, බෞද්ධ නායකයෙක්. ඔබ ගෞරවනීය මහා සංඝරත්නය ළඟින් ඇසුරු කරන කෙනෙක්. ඔබ ඉතාමත් යහපත් ජීවිතයක් ගතකරන කෙනෙක්. ඒ නිසා අපේ ගෞරවනීය මහා නායක ස්වාමින් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබා ගන්න, ඒ වගේම කාදිනල්තුමා, පූජකතුමන්ලාගේ අවවාද අනුශාසනා ලබා ගන්න. මේ තිබෙන තත්ත්වයේ දී සාමය ආරක්ෂා කරගෙන, නීත්‍යානුකූලව, ව්‍යවස්ථානුකූලව මා කළ කටයුතුවලට සහයෝගය දීලා ප‍්‍රජාතන්ත‍්‍රවාදි නායකයෙක් විදියට, අසරණ ජනතාව අතර ගැටුම් ඇති කරන්නේ නැතිව ඔබෙත්, මගෙත් ආදරණීය මාතෘභූමිය ගොඩනගන්න අපි එකාවන්ව වැඩ කරමු.

    ඔබ සියලුදෙනාට මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමින් මොන විදියේ බලවේග ආවත්, මොන විදියේ තර්ජන එල්ල කළත්, මොන විදියේ පීඩාවන් කළත් මම තැබූ පය, ගත් තීන්දුව ඉදිරියටම යනවා මිසක් පසුපසට නොගන්නා බව ප‍්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya