මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලාංකේය දේශපාලනයේ කාන්තාවන් සඳහා වැඩි ඉඩකඩක් ලබා දීමට පියවර

    දෙසැම්බර් 11, 2015

    ලාංකේය දේශපාලනයේ කාන්තාවන් සඳහා වැඩි ඉඩ කඩක් ලබා දීමේ මුල්ම පියවර ගැනීමට දැන් මුල පුරා ඇති බවත් ඊට අදාළ තීරණය පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී සම්මත කරගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) දින පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රකාශ කළේය.

     

    අග්‍රාමාත්‍යතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

    “ගරු කතානායකතුමෙනි,

    ලාංකේය දේශපාලනයේ කාන්තාවන් සඳහා වැඩි ඉඩ කඩක් ලබා දීමේ මුල්ම පියවර ගැනීමට අප දැන් මුල පුරා ඇති බව මම මේ සභාවට සතුටින් දැනුම් දෙන්නට කැමතියි. ඊට අදාළ තීරණය පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී අප සම්මත කරගත්තා.

    විශේෂයෙන්ම ආසියානු රටවල කාන්තාවන් දේශපාලනයට එක්වී තියෙන්නේ පවුල් පසුබිම මතයි. ස්වාමියාගෙන් පසුව බිරිඳ. පියාගෙන් පසුව දියණිය. සොහොයුරාගෙන් පසුව සොහොයුරිය ආදී වශයෙන්. ඊට පිටින් දේශපාලනයට එක්වීමේ අවස්ථා අපේ රටවල ඇත්තේ ඉතා අඩුවෙන්. මේ සඳහා විවිධ සමාජ, ආර්ථික හා දේශපාලනික හේතු ඇති බව අප දන්නවා.

    මේ සීමාවන් තුළ වුව ද, ආසියාතික කාන්තාවන් දේශපාලන ක්ෂේත්‍රයේ ඉදිරියට ගොස් තියෙනවා. ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි කරන්නට අපේ රටට හැකි වුණා. ඒ විතරක් නෙවෙයි, විධායක ජනාධිපතිනියක්ද අපේ රටෙන් බිහි වුණා. අසල්වැසි ඉන්දියාවෙන්ද අගමැතිනියක් බිහි වුණා. ජනාධිපතිනියක් බිහිවුණා. බංගලා දේශයේ අගමැතිවරියන් දෙදෙනෙක් බිහිවුණා.

    ඒ අකාරයෙන් ලැබුණු සීමිත අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නට අපේ රටේත්, අසල්වැසි රටවලත් කාන්තාවන් සමත් වී තියෙනවා. නමුත් අපේ රටේ පවත්නා සමාජ පරිසරය අනුවත්, මැතිවරණ ක්‍රමය අනුවත්, කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නට ඇති හැකියාව ඉතා අඩුයි.

    ගරු කතානායකතුමෙනි,

    එක්සත් ජාතික පක්‍ෂය මේ තත්වය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලේම ගැඹුරින් සොයා බැලූබව ඔබත් දන්නවා. රෝසි සේනානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුමිය මේ සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා. විවිධ කාන්තා සංවිධාන සහ කාන්තා ක්‍රියාකාරිනියන් සමග සාකච්ඡා කරමින් දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ ක්‍රමවේදයන් ගැන එතුමිය සොයා බැලූවා.

    සර්ව පාක්‍ෂික පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රී තුමියත් එතුමියට විශාල සහයක් ලබා දුන්නා. සේනානායක මහත්මිය 2013 අගෝස්තු 07 වන දා පුද්ගලික යෝජනාවක් ලෙස පලාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතට සංශෝධනයක් ගෙන ආවා. කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා වූ ඒ සංශෝධනය එවක පාර්ලිමේන්තුව සලකා බැලූවේ නෑ.

    ජනවාරි 08 වන දා විප්ලවය සඳහා පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පෙළ ගැසුණු විවිධ සංවිධාන සහ දේශපාලන පක්‍ෂ සමගත් අප මේ තත්වය ගැන සාකච්ඡා කළා. දේශපාලනයේදී කාන්තා නියෝජනය වැඩි කරන බව අප ජනාධිපතිවරණයේදී ජනතාව ඉදිරියේ පොරොන්දු වුණා.

    ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පිහිටුවන ලද දින සියයේ ආණ්ඩු කාලය තුළදීත් අප කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රයේ නිසි තැන ලබා දීම පිළිබඳව දිගින් දිගටම කරුණු විමසා බැලූවා.

    ඒ අවස්ථාවේ දී පක්‍ෂ සියල්ල ඊට එකඟ වුණා. නමුත් ක්‍රමවේදය පිළිබදව විවිධ අදහස් තිබුණා.

    ඒ අනුව අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අප ඉදිරිපත් කළ “මාස හැටකින් අලූත් රටක් හදන පංචවිධ ක්‍රියාවලියප්‍රතිපත්ති ප්‍රකාශයේ අප මෙසේ සඳහන් කළා.

    “පලාත් පාලන මට්ටමෙන් ජනතා නියෝජිතයන්ගෙන් 25% ක් කාන්තාවන් සඳහා වෙන් කිරීමෙන්ද, මැතිවරණ සඳහා මැතිවරණ ලැයිස්තු වලින් අවම වශයෙන් 25% ක් කාන්තාවන්ට ලබා දෙන ලෙස දේශපාලන පක්‍ෂ දිරි ගැන්වීමෙන් ද, කාන්තාවන්ට දේශපාලන නියෝජනය ලැබෙන බවට තහවුරු කිරීම සඳහා කටයුතු කරන්නෙමු.

    ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයේ දී තවත් පක්‍ෂ ගණනාවක් තමන්ගේ මැතිවරණ ප්‍රකාශනවල මේ පිළිබඳව සඳහන් කළා.

    සම්මුතිවාදී යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසු අප ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතිවරුන් සමගත්, මේ පිළිබඳව උනන්දුවක් දැක්වූ අනෙකුත් දේශපාලන කණ්ඩායම්, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය සමගත් සාකච්ඡා කළා. එතැනදී අප හමුවේ තිබූ ප්‍රධාන ගැටළුව වූයේ කිසිවෙකුටත් අවැඩක් නොවෙන පරිදි කාන්තා නියෝජනය වැඩි කරන ක්‍රමවේදය හඳුනා ගැනීමයි. 

    කාන්තා නියෝජනය වැඩි කිරීමේදී, මෙතෙක් දේශපාලනයේ නියුතුව සිටි පිරිමි අපේක්‍ෂකයන්ගේ අවස්ථා අහිමි වෙතැයි කියා සමහරු කල්පනා කළා. කාන්තාවන්ට මේ මැතිවරණ ක්‍රමය තුළ තරග කිරීම අසීරු නිසා කාන්තාවන්ගේ අවස්ථා සීමා වෙතැයි කියා තවත් සමහරු කල්පනා කළා. ඒ නිසා කිසිදු පාර්ශවයක අවස්ථා අහිමි නොවන පරිදි නව ක්‍රමවේදයක් සකස් කර ගැනීම අප ඉදිරියේ තිබූ අභියෝගය වුණා.

    ඒ අභියෝගය ජය ගැනීමට දැන් අපට හැකිවී තිබෙනවා. පලාත් පාලන මට්ටමෙන් 25% ක කාන්තා නියෝජනයක් සඳහා වන යෝජනාව අප පසුගිය කැබිනට් මණ්ඩලයේදී නීති කෙටුම්පතක් ලෙස සම්මත කර ගත්තා. හැම පළාත් පාලන සභාවකම කාන්තා ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැකියි. ජාතික ලැයිස්තුව මෙන්ම මුළු ප්‍රාදේශීය සභාව හෝ නගර සභාව තුළ එක් එක් පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබාගත් ඡන්ද අනුපාතය අනුව එම ලැයිස්තුවේ කාන්තා නියෝජනය සඳහා කොටසක් වෙන් කරනවා. දැනට පවතින සංඛ්‍යාව 2/3 කින් වැඩි කළාම සභාවේ 25% ක් කාන්තා නියෝජනය බවට පත් වෙනවා.

    ගරු කතානායකතුමෙනි,

    ඇත්තටම මේ මූලික පියවරක්. මේ ආකාරයෙන් කාන්තා නියෝජනය පලාත් පාලන මට්ටමෙන් ඉහළ නැංවීම ඔස්සේ අනාගතයට ශක්තිමත් පදනමක් සැකසෙනවා. අපට අලූත් ව්‍යවස්ථාව සකස් කරන අවස්ථාවේ දී ඒ බව සාකච්ඡා කරන්න පුලූවන්. ඒ පදනම මතින් කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය තව තවත් ඉහළ නැංවීමට අවකාශ සැලසෙනවා.

    මේ යෝජනාව පක්‍ෂ නායකයින් සමගත් සාකච්ඡා කළා. ඉන් අනතුරුව ලබන ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඒ කෙටුම්පත ඉදිරිපත් කරනවා. මට අද ලැබුණු වාර්තාව අනුව මේ පිළිබඳ ගැසට් නිවේදනය අද දහවල් පළ කෙරෙනවා. ඒ පිළිබඳ අවශ්‍ය කෙටුම්පත්වල පිටපත් අද පාර්ලිමේන්තුවට ලබා දෙනවා. ඒ අනුව පළමු කියවීම දෙසැම්බර් 19 වැනිදාට පෙර දැනුම්දීමට හැකි වේවි. මේ යෝජනාව සම්මත කර ගැනීමට සහය ලබා දී, කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රයේ නිසි තැන ලබා දීමේ සැලැස්මට දායක වන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

    කාන්තා නියෝජනය වැඩි කරලීමේ යෝජනාව යථාර්ථයක් බවට පත් කර ගැනීමේ ක්‍රියාවලියේදී, පලාත් පාලන අමාත්‍යතුමාගෙනුත්, වනිතා කටයුතු ඇමතිතුමියගෙනුත්, මැතිවරණ කොමසාරිස් තුමාගෙනුත් ලැබුණු සහයෝගය අප ඉතාම අගය කරනවා.

    ඒ වගේම මේ වෙනුවෙන් වෙහෙසුණු රෝසි සේනානායක මහත්මියටත්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිතුමියටත්, සර්ව පාක්‍ෂික පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයටත්, කාන්තා සංවිධාන ක්‍රියාකාරිනියන්ටත්, මගේ විශේෂ ස්තුතිය පළ කර සිටිනවා.

    ඒ වගේම මේ වැඩකටයුත්ත මුළු පාර්ලිමේන්තුවේම වැඩකටයුත්තක් ලෙස සැලකිය යුතු බවද මම මෙහිදී අවධාරණය කරනවා.

    මා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කළ ප්‍රකාශයක් ගැන කරුණු පැහැදිලි කිරීමට කැමතියි. මාගේ ප්‍රකාශයේ සඳහන් වූයේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ගැන නොවෙයි. එහි යම් යම් ඉහළ නිලධාරීන් දෙදෙනෙක් පිළිබඳවයි. අද සංවිධාන ගණනාවක් ජනාධිපතිතුමාත්, මාවත්, සෞඛ්‍ය ඇමැතිතුමාවත්, අනෙකුත් ඇමැතිවරුන්වත් හමුවීමට ඉල්ලා තිබුණා. අපට සියලූ දෙනාවම මුණගැසීමට නොහැකි තත්ත්වයක් තිබෙනවා. විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ජනාධිපතිවරයා හා සෞඛ්‍ය ඇමැතිවරයා හමුවී කළ සාකච්ඡාව අපි පිළිගෙන තිබෙනවා. මාව හමුවූ සංවිධාන නැවත ජනාධිපතිවරයා හමුවන්නේ නැහැ. එයින් සිදු වන්නේ අපේ කාලය මිඩංගු කිරීමක්. මා වෙලාවක් නොදුන්නැයි ජනාධිපතිවරයාට පවසා තිබෙනවා. එය ඇත්ත. හේතුව, මන්ත්‍රීවරුන් හමුවීමට ද මා කාලය වෙන් කළ යුතුයි. රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසයක් තිබෙනවා නම් නැවත මා හමුවීමට පැමිණෙන්නේ කුමකට දැයි තේරෙන්නේ නැහැ. එයින් පිළිබිඹු වන්නේ ඔවුන්ට ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිබඳ විශ්වාසයක් නොමැති බවයි. මේ සංගමය ජනාධිපතිවරයාත්, සෞඛ්‍ය ඇමතිවරයාත් සමග කළ සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් මා එකඟත්වය පළ කළා. එසේ වී තිබිය දී ඒ කාරණාව සම්බන්ධයෙන්ම නැවතත් කාලයක් වෙන් කිරීමේ තේරුමක් නැහැ.

    මා විශේෂයෙන්ම සඳහන් කළේ තිබෙන වැඩසටහන් පිළිබඳවයි. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය දේශපාලනය කරන්නේ නැහැ. නමුත් එම සංවිධානයේ ඇතැම් නිලධාරීන් එම සංවිධානය දේශපාලනයට යොදා ගෙන තිබෙනවා. මාගෙන් විමසා සිටි නිසා මා එක් කරුණක් පිළිබඳව අදහස් දක්වන්නම්. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා වීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. එදා සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වී පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ පසු වෛද්‍යවරුන් එතුමාට සහයෝගය දීම වැළැක්වීමට විශාල නායකත්වයක් ගනු ලැබුවේ වෛද්‍ය පාදෙනිය මහතායි. එදා අප ඡන්ද ව්‍යාපාරයේ නියලූණු නිසා ඔවුන් අපව හමුවුණා. වෛද්‍යවරුන් බහුතරයක් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට කැමැත්ත පළ කළා. නමුත් පාදෙනිය මහතා එය වැළැක්වීමට විශාල උත්සාහයක් ගත්තා. මේ බව මා හට පැවසුවේ වෛද්‍යවරුන්මයි. වෛද්‍යවරුන් සියලූ දෙනාම එවැනි කරුණක් සිදු නොවූ බව ඒකමතිකව පවසනවා නම් මාගේ මේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට සූදානම්. ඇත්ත වශයෙන්ම පාදෙනිය මහතා මේ වැඩකටයුතුවලට සම්බන්ධ නොවී දළයි ලාමාතුමා මෙන් දේශපාලන වැඩ කටයුතු වලින් ඈත් වී සිටි බව සියලූම වෛද්‍යවරුන් කියා සිටිනවානම් මාගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට මා සූදානම්.

    මැතිවරණවල දී අප ප්‍රකාශ කළේ සීපා ගිවිසුම වෙනුවට නව ගිවිසුමකට එළැඹෙන බවයි. ඒ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කළා පමණක් නොව, පසුගිය මහ මැතිවරණයේ දී ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, යුරෝපා සංගමය, අමෙරිකාව සමග වෙළෙඳ ගිවිසුමකට යාම සඳහා වරමක් ඉල්ලා සිටියා. එම ගිවිසුම් ඇති කර ගන්නේ කිසිඳු කොන්දේසියකට යටත් නොවී බවත් කියා සිටියා. අප ක්‍රියා කළේ ජනතාවගේ වරම අනුවයි. මේ සම්බන්ධයෙන් සැක කර ඇතැම් සංගම් ඉදිරිපත් වී මලික් සමරවීර අමාත්‍යවරයා මුණගැසී සාකච්ඡා කළා. මේ සාකච්ඡාවට හේරත් මහතා පැමිණියේ අවසාන මොහොතේදීයි. එසේ පැමිණි හේරත් මහතා එළියට ගොස් සීපා ගිවිසුම වෙනත් නමකින් එළියට එන බවට අසත්‍ය ප්‍රකාශ කළා. ඒ මහතා එසේ ප්‍රකාශ නොකළ බව පවසා ඔහුගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නවා නම් කිසිඳු ප්‍රශ්නයක් නැහැ. ගැටුම් ඇති කර ගැනීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැහැ. එවිට පාදෙනිය මහතා මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් කඩේ ගිය බවට මා කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට මා සූදානම්. නමුත් එසේ නැතිනම් ඔහු රාජපක්‍ෂ සුපර් මාර්කට් එකට ගියා කියා ප්‍රකාශ කිරීමට අපට සිදුවෙනවා.“

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya