වස්ගමුව ජාතික වනෝද්‍යානය පිළිබඳව කථා කරන විට අපට නිතැතින් සිහියට නැගෙන්නේ අලි ඇතුන්ය. ලංකාවේ උසින් වැඩිම අලි ඇතුන් ජීවත්වන වනෝද්‍යානය ලෙස ප්‍රසිද්ධියක් උසුලන්නේ වස්ගමුව ජාතික වනෝද්‍යානයයි. මෙය හෙක්ටයාර් 40000 ක පමණ භුමි භාගයක් පුරා පැතිරී පවති. පෙර රජ දවස පැවති සෞභාග්‍යය මේ වනාන්තරය පුරා පැතිර පවත්නා වැවි අමුණු අපට කියාපායි. පසුව මෙම ප්‍රදේශය වන සතුන්ගේ වාස භුමියක් බවට පත් වි ඇත. 1937 රක්ෂිත භුමියක් ලෙස ප්‍රකාශිත මෙම භුමිය වන සතුන්ගේ හා ඔවුන්ගේ වාසස්ථානවල සුරක්ෂිත භාවය උදෙසා 1984 දී ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
වස්ගමුව ජාතික වනෝද්‍යානය නැරඹීමට සුදුසුම කාලය ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලය ලෙස සැලකෙන අතර සෑම දිනකම පෙ.ව.6.00 සිට ප.ව.6.00 දක්වා කාලය තුල වන සතුන් නැරඹීමට හැක. වන සතුන් නැරඹිමට යන ඔබට ඒ සදහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා ඇත. එමෙන්ම සංචාරකයන්ට වන සතුන් නැරඹිමටත් ඒ පිළිබද අධ්‍යනය කිරීමටත්,විනෝද වීමටත් කඳවුරු බිම් 7 ක් ද වනෝද්‍යානය තුළ ස්ථාපිත කර ඇත.
ඔබගේ නවාතැන් පහසුකම් සපුරාලීම සදහා කදුරුපිටිය, මහවැලිගඟ අසබඩ, වවුල් එබේ හා අංගමැඩිල්ල යන ස්ථානයන්හි නිවාඩු නිකේතන ඉදිකර ඇති අතර නිවාඩු නිකේතන හා කඳවුරු වෙන් කරවා ගැනීමට ඔබට අවශ්‍ය නම් E ටිකටින් හරහා එම පහසුකම් සලසා ඇත. නැතහොත් බත්තරමුල්ල වනජීවි ප්‍රධාන කාර්යාලය( 2888585 ), වස්ගමුව වන ජීවි කාර්යාලය (0663669046 ) මගින් ඔබේ අවශ්‍යතාවය ඉටු කරවා ගතහැකිය.
වස්ගමුව ජාතික වනෝද්‍යානය නැරඹිමට යන ඔබ එහි ඇති පුරාවිද්‍යාත්මක හා පාරිසරික වැදගත්කමත්, වනෝද්‍යානය හා බැදී පවතින ජනජීවිතය පිළිබඳවත් දැනුවත් වීම වැදගත්ය. එහෙයින් මේ ලිපිය තුලින් ඹබඒ පිළිබඳ දැනුවත් කිරීමට ද අපේක්ෂා කෙරේ.
අතීතයේදී මෙම ප්‍රදේශය වලසුන්ගෙන් පිරි ප්‍රදේශයක්ව පැවතුන හෙයින් මෙම වලස්ගොමුව පසුව වස්ගමුව ලෙස ප්‍රචලිත වී ඇත. නමුත් වර්තමානයේ මෙම වනෝද්‍යානය අලි ඇතුන් 500 කට පමණ රැකවරණය සලසයි. නියං පවතින කාලයේදී කාලානුරෑපීව ඔවුන් සංක්‍රමණික මං පෙත් ඔස්සේ මින්නේරිය, මාදුරු ඔය, කවුඩුල්ල, රිවස්ටර් පතන,සෝමාවතී වැනි අවට වනාන්තර වෙත සංක්‍රමණය වෙති. මේ හේතුවෙන් වස්ගමුව වනෝද්‍යානය තුල නිරන්තරයෙන් රැදෙනුයේ අලි ඇතුන් 150 -200 ත් අතර ප්‍රමාණයක් බව එහි උද්‍යාන භාරකරුවු ආර්.ඒ.ඩී.ඩී.ඩී.සමරනායක මහතා අප සමඟ පැවසිය.
ජෛව විවිධත්වය අතින් සංකීර්ණ ලක්ෂණ පෙන්නුම් කරන වස්ගමුව ජාතික වනෝද්‍යානය අලි ඇතුන්ට පමණක් නොව වලසුන් දිවියන්, මුවන්, කුළුහරකුන්, වල් ඌරන්, ගෝනුන්,හාවුන්, වල් බළලුන් වැනි සතුන්ගේ ද නිවහන වී ඇත. ප්‍රමාණයෙන් ඉතා විශාල කිඹුලන් වනෝද්‍යානයේ වැව්වල දක්නට ලැබෙන සුලභ දර්ශනයකි. එපමණක් නොව තලගොයි, කටුස්සන්, වවුලන් වැනි ක්ෂිරපායී සත්ව විශේෂ 23 ක් හා උරග විශේෂ 35 ක් ඇතුළු ලොකු කුඩා සතුන් දහස් ගණනකට මේ වනෝද්‍යානය එක සේ සෙවන දේ.
එමෙන්ම අළු ගිරවා, උපබස්සා, වතරතුමල් කොහා, වළිකුකුලා, රන් මූණත් කොට්ටෝරුවා වැනි ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂින් ඇතුළු පක්ෂි විශේෂ 143 ක් හා සමනල විශේෂ 52 ක් පමණ මෙහි ජිවත්වන බවද හඳුනාගෙන ඇත . මෙම පක්ෂින් නිරීක්ෂණය කිරීම සදහා වෙනම ස්ථාන මෙම වනෝද්‍යානයේ ස්ථාපිත කර ඇත.
මෙම සතුන්ට සෙවන සලසමින් පලු, බුරුත, කළුවර, කුඹුක්, මිල්ල වැනි වටිනා ගස් වර්ගද ඖෂධීය ගුණයෙන් යුත් අතිඋඩයන්, බිං කොහොඹ වැනි පැලෑටි ද ඉලුක් පොහොන් වැනි තෘණ ශාකද මෙම වනය පුරා එකසේ ව්‍යාප්තව පවතී.
වර්තමානයේ අලි ඇතුන්ට මෙන්ම ලොකු කුඩා වන සතුන් දහස් ගණනකට රැකවරණය සලසන වස්ගමුව වනෝද්‍යානයේ ඓතිහාසික වටිනාකම පිළිබඳව සලකා බලමු. මෙම වනෝද්‍යානය තුල පිහිටි යුඳගනාපිටිය නමින් හැදින්වෙන ප්‍රදේශය එදා එළාර දුටුගැමුණු සටනේදී දුටුගැමුණු රජු සේනා සංවිධානය කළ ප්‍රදේශය ලෙස සැලකේ. රාම රාවණා යුද්ධයේදී රාවණා රජු යුද්ධ කටයුතු සඳහා මෙම ප්‍රදේශය පාවිචිචි කල බව පැවසේ.
එමෙන්ම ඓතිහාසික බුදුරුවාය බුදු පිලිමය හා පැරණි රජ මාලිගයේ නටබුන් අදද මෙහි දක්නට ඇත. පෙර රජ දවස වාරි කර්මාන්තය පිළිබද අපට සිහිගන්වමින් කාලිංග ඇල හා පරාක්‍රමබාහු රජුගේ නැගණිය වු මාලා දේවිය විසින් ඉදිකරවුවායි සැලකෙන මාලගමුව වැව අදද වන බිමට සිසිලසක් එක් කරයි.උල්පත් හත ශිලා ලේඛනය , මැද උල්පත ශිලා ලේඛනය ද එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම අපට පසක් කර දෙයි.
වනෝද්‍යානය තුල ඇති විල්මිටිය , දම්බරාව, කිරියාය, කදුරුඔය, මාලගමුව වැනි විශාල වැව් හා ස්වාභාවික කුඩා වැව් වනයට සිසිලසක් එක් කරන අතර සතුන්ගේ ජල අවශ්‍යතාවයන්ද සපුරාලති.
නියං සමයේදී ඇතිවන ජල අවශ්‍යතාවය සපුරාලීම සදහා විශාල වැව් වල රොන්මඩ ඉවත් කර වැව් බැමි සකස්කර වැඩි ජල ප්‍රමාණයක් රදවා ගැනීමට පියවර ගෙන ඇත. ස්වභාවික කුඩා ජලාශවල රොන්මඩ ඉවත් කර ට්‍රැක්ටර් හා බවුසර් මගින් කෘතීමව ජලය සැපයීම සිදු කරන බව ද සමරනායක මහතා පැවසීය.
නමුත් දැඩි නියං සමයේ දී මෙම ජල ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හා වැසි නොමැති වීම නිසා ඇතිවන ආහාර හිගකමද නිසා අලි ඇතුන් සංක්‍රමණික මංපෙත් ඔස්සේ වෙනත් වනාන්තර වෙත සංක්‍රමණය වේ .වස්ගමුව වනෝද්‍යානයත් අවට අනෙකුත් වනෝද්‍යානත් වන මං පෙත් ඔස්සේ එකිනෙක සම්බන්ධ වේ. අද මේ සාම්ප්‍රදායික අලි සංක්‍රමණික මංපෙත් අහුරමින් ගම්මාන ඇතිවී තිබෙන අතර අලීන්ගේ සංක්‍රමණය සිදුවන්නේ මේ ගම්මාන හරහා ය. අලි මිනිස් ගැටුම් ඇති වීමට මෙය එක් හේතුවක් වී ඇති බව ද පෙනේ.
අතීතයේදි කඩිනම් මහවැලි ව්‍යාපාරය නිසා විශාල භුමි ප්‍රමාණයක් වන සතුන්ට අහිමිවී ගිය අතර මේ වන විට මොරගහකන්ද හා කළුගඟ ව්‍යාපෘති නිසා ද වනෝද්‍යානයේ හෙක්ටයාර් 4000 ක භුමි ප්‍රමාණයක් වන සතුන්ට අහිමිවී ගොස් ඇත.
මෙලෙස තම වාස භූමි අහිමි වීමත් වනෝද්‍යානයේ පවතින නියං තත්ත්වයත් නිසා අලි ඇතුන් ආහාර සොයා ගම්මාන වෙත පැමිණීම සිදු වේ . මෙම ප්‍රදේශයේ බොහෝ විට කුඹුරු ගොවිතැන් කරනුයේ උද්‍යානයට මායිම්වය.මේ නිසා තම ගොයම අලීන්ගේ ආහාරය බවට පත්වීම වැළැක්වීමට රාත්‍රිය පුරා පැල් රැකීමට ගොවීන්ට සිදුවී ඇත.අලීන්ගෙන් ගම්මාන රැක ගැනීමට මේ වන විට අභය භුමිය වටා කිලෝමිටර් 85 ක දුරක විදුලි වැටක් තිබුනද එයින් 100% ක් ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී ඇති බව පෙනේ.
අලීන්ගෙන් හානි සිදුවන මායිම් ගම්මානයක් වු හදුන්ගමුව කුඹුක්ඔය ගම්මානයේ සුමනාවතී මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් "බොහොමයක් රෑට අපට නිදා ගන්න ලැබෙන්නේ නැහැ. අපේ ගොවිතැන් බේරගන්න රාත්‍රියට පැල් රකින්න ඕන. මාස් කන්නයට තමා වඩාත් කරදර. වී ටික ගෙදරට ගෙනල්ල දාගන්න බැහැ. ඇවිත් කාල යනවා . ගස් කොළන් විනාශ කරනවා. වන ජීවි නිලධාරින් ඇවිල්ල ආධාර දෙනවා. ඒ වගේම ඔවුන් ඇවිත් අලි එලවල ගියත් අලි ආපසු එනවා . අපට මේ ප්‍රශ්නයට ස්ථිර විසදුමක් ලබා දෙන්න කියල තමයි අපි ඉල්ලන්නේ යයි "පැවසීය.
මෙහිදී අපට අදහස් දැක්වු තවත් ගොවි මහතකු වු උක්කු බණ්ඩා මහතා, හැම ගෙදරකටම විදුලිය ලැබී තිබෙන නිසා එදාට වඩා අද අලි කරදර ටිකක් අඩු වෙලා තිබෙනවා. නමුත් අලීන්ගෙන් අපේ වගාවන් බේරගන්න ඒවා රකින්න වෙලා යි පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු රත්නායක මහතා, බොහෝ විට අලි විදුලි රැහැන් මතට ගස් කඩා දමා ඒ මතින් ගම්මාන වලට යනවා. ඒ වගේම මිනිසුන් ගම්මානවල සිට හරක් දක්කාගෙන යාමේදි මේ විදුලි වැටට හානි සිදුවුවත් ඔවුන් ඒ ගැන සැලකිලිමත් වන්නේ නැහැ. මේ වන විට විදුලි වැට ආරක්ෂා කිරීම කාර්යය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පවරා ඇති නමුත් මේ කාර්යය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පමණක් තනිව කළ හැකි දෙයක් නොවෙයි. ඒ සදහා ජනතාවගේ සහාය අවශ්‍යයි . නමුත් ඒ සදහා ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය ඉතා අඩුයි පැවසීය.
මේ හේතුවෙන් අලි ඇතුන් ගම් වැදීම වැළැක්වීම සදහා විකල්ප ක්‍රම භාවිත කිරීමට වන ජීවි දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. මින් එක් ක්‍රමයක් වන්නේ ජීව වැටක් ඇති කිරීමයි. හණ, බෝගන්විලා, දෙහි වැනි කටු සහිත ශාක උද්‍යාන මායිමේ රෝපණය කිරීම මගින් අලීන් ඒ හරහා ගමන් කිරීමෙන් වලකින බව වන ජීවී නිලධාරීන් පවසති.
තවත් විකල්ප ක්‍රමයක් වන්නේ උද්‍යාන මායිමේ සිට මීටර් 10 ක් දුරක් දක්වා අලි ඇතුන් ආහාරයට නොගන්නා තල,බණ්ඩක්කා ,තලනබටු වැනි භෝග වර්ග වගා කිරීමයි.
රජය විසින් මෙලෙස ගම් වැසියන්ගේ ආරක්ෂාව උදෙසා ක්‍රියා කරන්නාසේම ඔවුන්ට ස්වයං රැකියා සදහා පුහුණුව හා ණය ආධාර ලබා දීමටද කටයුතු කර ඇත. මේ තුලින් ඔවුන්ගේ ජන ජීවිතය නගා සිටුවීමත් ඔවුන් සිය ජීවනෝපාය උදෙසා දර එකතු කිරීම, මී පැණි එකතු කිරීම, දඩයම් කිරීම වැනි දෑ සදහා වනය තුලට පැමිණීම වැළැක්වීමත් අරමුණ වේ.
රජය විසින් මෙලෙස ගම් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ග ගෙන ඇතිවා සේම සතුන්ගේ ආරක්ෂාව සදහාද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙහිදී ජාතික වනෝද්‍යානය තුලට අනවසරයෙන් ඇතුල්වන්නන් සදහා රු.15000 - 50000 දක්වා දඩ මුදලක් ගෙවීමට හෝ වසර 2ක සිර දඩුවමක් ලැබිමටද සතෙකු දඩයම් කලහොත් රුපියල් 20000 සිට ලක්ෂයක් දක්වා හෝ වසර 2-5 දක්වා සිර දඩුවමක් ලබා දිමටද හැකි වන පරිදි නීති සම්පාදන කර ඇත.
මෙම සියළු ක්‍රම උපයෝගී කර ගනිමින් අලි මිනිස් ගැටුම අවම කිරිමට ගන්නා උත්සාහයේ ප්‍රතිඵල ඇති බව සංඛ්‍යා ලේඛණ බලන විට පැහැදිලි වේ.
මෙහිදී 2014 වගා හානි 219 ක්, දේපල හානි 18 ක්, ජීවිත හානි 4ක් ද සිදුවී ඇති නමුත් මේ වසරේ මේ වනවිට සිදුවී ඇත්තේ බරපතල දේපල හානි 10 ක් හා වගා හානි 45 ක් බව අනාවරණය වී ඇත. පසුගිය වසරේ අලි මරණ 4ක් වාර්තා වී තිබුනද මෙම වසර තුල මේ දක්වා එක් අලි මරණයක් හෝ ජීවිත හානියක් සිදු වී නොමැති බව වන ජීවී දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙයි.
වස්ගමුව ජාතික වනෝද්‍යානයෙන් සංචාරක ව්‍යාපාරයට ලැබෙන්නේ විශාල දායකත්වයක් . 2012 වසරේදී සංචාරක ව්‍යාපාරය තුලින් වස්ගමුව ජාතික උද්‍යානය ලැබු ආදායම මිලියන 4 ක් පමණ වන අතර මෙම වසර තුල මේ වන විට ලැබී ඇති ආදායම මිලියන 2 ක් පමණ බව සංඛ්‍යා ලේඛණ වලින් පෙනේ.
මීට හේතුව වී ඇති එක් කරුණක් නම් යුද්ධය පැවති අවධියේ දේශිය විදේශිය සංචාරකයන්ට නැරඹිමට හැකිවුයේ යුද්ධය නොපැවතුන වස්ගමුව, විල්පත්තුව හා කුමන වැනි අභය භුමි පමණී. නමුත් යුද්ධය අවසන් වීමත් සමඟම අනෙක් උද්‍යානද විවෘත වීම නිසා ඔවුන් එම ස්ථාන නැරඹිමට යොමුවී ඇති බව පෙනේ.
අනෙක් කරුණ නම් වසර 4 ක් තිස්සේ වස්ගමුව ජාතික වනෝද්‍යානයට පැමිණෙන මාර්ගය ඉදිකරමින් පැවතීමයි. එහෙයින් මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මාර්ග ප්‍රතිසංස්කරණය කඩිනම් කර වස්ගමුවෙහි සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම බලධාරීන්ගේ වගකීමයි.
මේ ගැටළු සියල්ලට විසඳුම් සෙවීමේදි රජයත් ජනතාවත් එක්ව කටයුතු කල යුතුය. මේ සදහා ජනතාවගෙන් ලැබෙන සහාය ඉතා වැදගත්. අලි වැටවල් ක්‍රමවත් සැලැස්මකට අනුව ඉදි කිරිමත් රජයේ වගකීම වන අතර එය ආරක්ෂා කර ගැනීමට සහාය වීම ජනතාවගේ යුතුකමයි.
එමෙන්ම අලි ඇතුන්ගේ වාසභුමි තුල මිනිසුන් පදිංචි කිරීමෙන් වැළකීම මේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීමට රුකුලක් වනු ඇත.
වස්ගමුව වනෝද්‍යානය නැරඹිමට යන ඔබ පොලිතීන් හා ප්ලාස්ටික ද්‍රව්‍ය අභය භුමිය තුල අත්හැර දමා යෑමෙන් හා වනය ගිනි ගැනීම් වලට ලක් වන ආකාරයේ ක්‍රියාකාරකම් වල යෙදීමෙන් වලකින ලෙසත් උද්‍යාන භාර සමරනායක මහතා ඉල්ලා සිටි.
වස්ගමුව ජාතික වනෝද්‍යානයත් එහි වෙසෙන වන සතුන් නරඹන ඔබ ඉන් ඉමහත් සතුටට ලක්වන බව නොරහසකි. නමුත් ඉන් ඹබ්බට යමින් මෙම වනෝද්‍යානයෙන් පරිසරයට ලැබෙන ඔබට නොපෙනෙන දේ පිළිබඳවත් ඔබ දැනුවත් කිරිම කාලෝචිතය.
දිනෙන් දින වැඩි වන කර්මාන්ත, වාහන හා දහනයන්ගෙන් පරිසරයට මුදා හරින අහිතකර වායුන් පිරිසිදු කර නැවත ලබා දෙන්නේ තුරුලතාවන්ය. එසේනම් හෙක්ටයරේ 40000 ක තුරු වියනින් පිටවන වායු ප්‍රමාණය මැනිය හැකිද එක් උස හරිත ශාකයකින් වසරක් තුල පිරිසිදු කරන වායු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 113 කි. එහි සාමාන්‍ය වටිනාකම රුපියල් 3,400 කට අධිකය. එසේනම් වස්ගමුව වනෝද්‍යානයේ එවන් ශාක 1000 කින් ලැබෙන වටිනාකම රුපියල් මිලියන 3.4 කට අධික වේ.
මෙලෙස අපට පෙනෙන නොපෙනෙන සම්පත් වලින් අනුන මේ වස්ගමුව ජාතික වනෝද්‍යානය මතු පරපුර උදෙසා රැක ගැනීම අපගේ යුතුකමයි.
සටහන - අමිතා ප්‍රසන්ති
ඡායාරූප - සරත් ධර්මසිරි