ඇමරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වූ ජාත්‍යන්තර “Walk for Peace” සාම පාගමන වැඩසටහන 2026 අප්‍රේල් 21 වැනිදා සිට ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව පූජ්‍ය ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති හිමි පැවසූහ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සඳහන් කළේ, පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයගේ මූලිකත්වයෙන් මෙම සාම පාගමන දින හතක් පුරා පැවැත්වෙන බවයි.
අප්‍රේල් 21වන දින ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මෙම සාම පාගමනේ කටයුතු ආරම්භ කෙරෙන අතර අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබා ගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයක්ද මෙම සාම පාගමනේ වැඩම කරවීමට නියමිතය.
එමෙන්ම, ඓතිහාසික රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව වෙත සාමයේ පණිවිඩය ලබා දීම සිදු කෙරේ.
අප්‍රේල් 22වන දා උදෑසන සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව නැවත දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල් 28වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතය.
සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් එහි වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත භාර දීමට නියමිතය. , පසුව එය ඇමරිකාවේදී පැවැත්වෙන විශේෂ ආගමික උත්සව මාලාවක් සහ මැයි 15 වැනිදා ටෙක්සාස් ජනපදයේ පැවැත්වෙන වෙසක් උත්සවය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබේ.


