Sri Lanka Expo 2026 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

Sri Lanka Expo 2026 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
  • SocialShare:

ශ්‍රී ලංකාවේ අපනයන හැකියාවන් සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන "Sri Lanka Expo 2026" ජාත්‍යන්තර ප්‍රදර්ශනය නිල වශයෙන් දැනුම් දීම සහ එම ප්‍රදර්ශනයේ නිල වෙබ් අඩවිය www.srilankaexpo.lk එළි දැක්වීම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) කොළඹදී සිදු කෙරිණි.

මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය ජුනි මස 18 දින සිට 21 දින දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත අතර දේශීය ප්‍රදර්ශකයින් සහ විදේශීය ගැනුම්කරුවන්ට අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමට පහසුකම් සලසා ඇත.
දේශීය අපනයනකරුවන් 750ක් සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන්, ආයෝජකයින් සහ මාධ්‍යවේදීන් ඇතුලු 1,500ක් පමණ මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට නියමිත වේ. එසේම මෙම ප්‍රදර්ශනය මගින් ශ්‍රී ලංකාවේ අපනයන හැකියාවන් සහ ආයෝජන අවස්ථා ජාත්‍යන්තරයට රැනෙ යා හැකි වේ.
ශ්‍රී ලංකාවේ විවිධ අපනයන කර්මාන්ත ගෝලීය වෙළඳපොළවලට ප්‍රදර්ශනය කිරීම, ව්‍යාපාරිකයින්, ආයෝජකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම, ශ්‍රී ලංකාවේ හැකියාවන් කෙරෙහි ගැනුම්කරුවන්ගේ සහ ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනැගීම, දකුණු ආසියාවේ ප්‍රධාන වෙළඳ හා ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සහ 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක ජාතික අපනයන ඉලක්කය ළඟා කර ගැනීමට මාර්ග පහසුකම් සැලසීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණු වේ.
"ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 හුදු සිදුවීමක් පමණක් නොව, අපගේ අපනයනකරුවන්ට නව වෙළඳපොළවලට ළඟා වීමට, ජාත්‍යන්තර ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට සහ ශ්‍රී ලංකාවේ හොඳම දේ ප්‍රදර්ශනය කිරීමට උපායමාර්ගික වේදිකාවක් බවත් එය අපගේ ප්‍රතිපත්ති, අපගේ නිෂ්පාදන සහ අපගේ ජනතාව එක්ව ජාත්‍යන්තර වෙළඳපොළවල සැබෑ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරන වේදිකාවක් බවත් මෙම උත්සවයට සහභාගී වෙමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.