'Rebuilding Sri Lanka' යටතේ ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස සඳහා වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහනේ සමාරම්භක වැඩසටහන අද (09) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ පුද්ගලයන්ට නිවාස ඉදිකර දීමේ වැඩසටහනේ පළමු අදියර අද ආරම්භ විය. එම වැඩසටහන යටතේ ආපදාවෙන් පූර්ණ ලෙස නිවාස අහිමි වූ නැවත එම ස්ථානයේම නිවාස ඉදිකළ හැකි පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර දීම සිදු කෙරෙන අතර, ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, පලාගල, පලුගස්වැව, ඉපලෝගම, තිරප්පනේ, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ව්‍යසනයෙන් පූර්ණ හානි සිදු වූ එම ස්ථානයේම නිවස ඉදිකරගත හැකි බවට තත්ත්ව සහතික ලද නිවාස 26ක් වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවසක වැඩ ආරම්භ කිරීම අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම අවස්ථාවට එක් වූ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසුවේ නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන් ලබා දෙන රුපියල් ලක්ෂ 50ක මුදල වාරික 03කින් ලබා දෙන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේ පැවසීය.
අද ලබා දෙන්නේ රුපියල් ලක්ෂ 50ක මුදලේ මුල් වාරික මුදලයි. මුල් වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20ක් සහ දෙවන වාරිකය ලෙස රුපියල් ලක්ෂ 15ක් සහ තවත් ලක්ෂ 15ක් වශයෙන් මෙම මුදල් ලබා දීම සිදු වෙනවා. ඒ නිසා කිසිදු සැකයක් ඇති කර ගන්න එපා. මෙම සෑම අවස්ථාවකම ලබා දෙන මුදල් එම කාර්යය සඳහා භාවිතා කරනවාද කියා අධීක්ෂණය කිරීම සිදු කෙරෙනවා. ඒ නිසා මේ ලබා දෙන මුදලින් නිසි ප්‍රතිලාභය ලබා ගන්නා ලෙස මම ප්‍රතිලාභින්ගෙන් ඉල්ලා සිටිනවා.


