ශ්‍රී ලංකාව තුළ ඉන්දීය ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදය (Indian CEO Forum) නියෝජනය කළ පිරිසක් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) පැවැත්විණි.
මෙරට තුළ කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි ප්‍රමුඛ පෙළේ ව්‍යාපෘති පහක් හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.
ඉන්දියාවේ සාර්ථක ඩිජිටල් ආකෘති ආදර්ශයට ගනිමින් දේශීය ෆින්ටෙක් ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම, ඖෂධ, ඇඟලුම් සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි ඒකාබද්ධ ව්‍යාපාර ආරම්භ කිරීම, බැංගලෝර් – කොළඹ තාක්ෂණික ව්‍යවසායකත්ව කොරිඩෝවක් නිර්මාණය කිරීම මෙන්ම වරාය හා සංචාරක ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදයේ සභාපති කිෂෝර් රෙඩ්ඩි මහතා, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ උමේෂ් ගෞතම් මහතා, ඉන්දීය රාජ්‍ය බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරිනී ඇනීටා සොන්ටුමයිරා මහත්මිය, පවර්ටෙක් (Powertech) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ගෞරව් මේතා මහතා සහ අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.


