ඩිජිටල් පොදු යටිතල පහසුකම් (Digital Public Infrastructures) සහ ඒ මත පදනම් වූ GovTech App / Service Marketplace ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
2025.10.21වැනිදා ගනු ලැබූ තීරණයකට අනුව, ඩිජිටල් සංවර්තන වැඩසටහනේ අදියර 1 හි තුන්වන කාර්ය ප්‍රවාහය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
රු. මිලියන 563 ක ආයෝජනයක් යටතේ, 2026–2027 කාලසීමාව තුළ අදියර තුනක් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ව්‍යුහය තුළ ඩිජිටල් නිෂ්පාදන සහ සේවාවන් සඳහා මධ්‍යගත හා විනිවිදභාවයකින් යුත් වෙළෙඳපොළක් නොමැති වීම හේතුවෙන් විසිරුණු සහ අකාර්යක්ෂම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නිර්මාණය වී ඇත.
එමෙන්ම ,රාජ්‍ය ආයතන බොහෝවිට තාක්ෂණික විසඳුම් තනි තනිව ප්‍රසම්පාදනය කිරීම හේතුවෙන් ද විවිධාකාරයේ ගැටලු උද්ගත වී තිබේ.
එයට පිළියමක් ලෙස ඩිජිටල් නිෂ්පාදන සහ සේවා තෝරා ගැනීම සඳහා කුසලතා පදනම් කර ගත් පද්ධතියක් හඳුන්වා දී ඇත.
වෙළෙඳපොළ බාධක අවම කිරීම මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුලු පුළුල් සැපයුම්කරුවන් පිරිසකට රජයේ ඩිජිටල් සේවා කොන්ත්‍රාත්තු සඳහා ප්‍රෙව්ශය ලබා දීම සහ රජයේ ආයතනවලට ගුණාත්මක සහ පිරිවැය සඵලදායී විසඳුම් එක් ස්ථානයකින් (One-stop -shop) තෝරා ගැනීමට අවස්ථාව සලසා දීම ද අපේක්ෂා කෙරේ.


