වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) හෙවත් පොකුරු තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ඇතුළු වැවිලි ක්ෂේත්‍රයට අදාළ ආයතනවල මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.
“Ceylon Tea Village” වැඩසටහනේ මූලික අදියර යටතේ තේ ගම්මාන 144ක කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එහි සමාරම්භක වැඩසටහන 2026 ජූලි 15 වැනිදා දිස්ත්‍රික්ක 14ක් ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිත බව මෙහිදී සාකච්ඡා විය.
2030 වන විට ශ්‍රී ලංකාවේ නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
මෙම වැඩසටහන හරහා කුඩා තේවතු ගොවීන්ගේ දළු අස්වැන්න වැඩිදියුණු කිරීම, ආදායම් තත්ත්වය ඉහළ නැංවීම, අගය එකතු කළ තේ නිෂ්පාදන හඳුන්වාදීම, තේ කර්මාන්තය සංචාරක ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ කිරීම, නවීන හා තිරසාර වගා ක්‍රම හඳුන්වාදීම, තේ ගම්මාන ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ තේ නිෂ්පාදන සමූපකාර සමිති පිහිටුවීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.
අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, 2026 වසර තුළ ආරම්භ කිරීමට නියමිත තේ ගම්මාන 144 තෝරා ගැනීමේදී කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොවූ බවයි.ඒ වෙනුවට තේ පර්යේෂණ ආයතනය සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විද්‍යාත්මක හා තාක්ෂණික නිර්ණායකයන්ට අනුව එම තෝරාගැනීම් සිදුකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
ගුණාත්මක තේ නිෂ්පාදනය ඉහළ නැංවීම, නිෂ්පාදන ඵලදායීතාව වර්ධනය කිරීම සහ ඒ හරහා ගොවීන්ගේ ආර්ථික ශක්තිය තවදුරටත් වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ මූලික අපේක්ෂාවන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය සහ ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සභාපතිවරුන් හා නිලධාරීන් මෙන්ම රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ඇල්කඩුව වැවිලි සමාගම සහ කලුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ නියෝජිතයෝ ද සහභාගී වූහ.
Top of Form
Bottom of Form


