විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කෙරේ

විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කෙරේ
  • SocialShare:

විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම අද (29) පෙරවරුවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

2021 වසරෙන් පසු විද්‍යාවේදී හෙද උපාධිධාරීන් III ශ්‍රේණියේ තනතුරු සඳහා සිදුකරන පළමු බඳවා ගැනීම මෙය වීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වසර පහකට පසුව උපාධිධාරී හෙද බඳවා ගැනීම් යළි ආරම්භ කිරීමට හැකිවීම රජය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.

තවද 2025 – 2029 කාලසීමාව තුළ හෙද සේවයට නවකයන් 13,600 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර ඇති අතර, එම ඉලක්කයෙන් 50%ක් මේ වසර අවසන් වනවිට සපුරාලීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ වනවිට මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ හෙද නිලධාරීන් 43,553 දෙනෙකු සේවයේ නිරතව සිටින අතර, පසුගිය වසර දෙක තුළ පමණක් III ශ්‍රේණියේ හෙද කාර්ය මණ්ඩල 3,441 දෙනෙකු සේවයට බඳවාගෙන ඇති බවද අනාවරණය කෙරිණි.

එමෙන්ම දිවයින පුරා හෙද විදුහල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 7,800කට ආසන්න පිරිසක් මේ වනවිට වෘත්තීය පුහුණුව ලබමින් සිටින අතර, ජාතික හෙද අභ්‍යාස විද්‍යාල පද්ධතිය සඳහා තවත් නවක සිසුන් 3,000 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන ඇති බවද සඳහන් විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන්, හෙද විදුහල්පතිවරුන්, වෘත්තීය සමිති නියෝජිතයින් සහ පත්වීම්ලාභීන්ගේ දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.