රජයේ පරිසර ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් සාගර සහ වෙරළ කලාපයේ තිරසාර පැවැත්ම සඳහා වෙරළට හා සාගරයට ඍජුව හෝ වක්‍රාකාරව අපද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීමටත්, වෙරළ කලාපයේ සංවේදී පරිසර පද්ධති හඳුනාගෙන එම පද්ධති සුරක්ෂිත කිරීමටත් පරිසර අමාත්‍යංශය සහ ඊට අනුබද්ධිත ආයතන විසින් ක්‍රියාමාර්ග රැසක් ගනිමින් පවතී.
එහි එක් පියවරක් වශයෙන් සාගර වෙරළ කලාප හඳුනාගෙන දේශීය විදේශීය සංචාරකයන් සඳහා පහසු පිරිසිදු වෙරළක් ලබා දීම වෙනුවෙන් නිල් ධජ (Blue flag) වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සම්පත් සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ Clean Sri Lanka ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම නිල් ධජ වැඩසටහන කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මැතිතුමාගේ සහභාගීත්වයෙන්, තලල්ල වෙරළ තීරයේ දී අද (27) දින පැවැත්විණ.
මෙම අවස්ථාව සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහාපතිතුමා, සමාන්‍යාධිකාරීතුමා ඇතුළු නිළධාරීන්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ නිළධාරීන් මෙන් ම Clean Sri Lanka ලේකම් කාර්යාලයේ නිළධාරීන් සහ මාතර දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.
මෙම වැඩසටනේ දී නිල් ධජ වෙරළ තීරයක් සඳහා වන අවබෝධතා ගිවිසුම් හුවමාරු වූ අතර තලල්ල නිල්ධජ වෙරළ නිල ෆේස්බුක් පිටුව දියත් කිරිම, තලල්ල නිල්ධජ වෙරළෙහි ප්‍රධාන පුවරුව විවෘත කිරිම, ජිවිතාරක්ෂක පුහුණු වැඩසටහන ආරම්භ කිරීම සහ ජිවිතාරක්ෂක කුළුණුවලට මුල්ගල තැබීමත් වෙරළ තීරය පිරිසිදු කිරීමත් සිදු කෙරිණි.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම උදෙසා මෙන්ම වෙරළ පරිසර පද්ධතිය අලංකාරව සහ පිරිසිදුව තබා ගැනීම මෙම වැඩසටහනේ මුලික අරමුණ වන අතර ඒ සමගම නිල් ධජ (Blue Flag) වෙරළක් නිර්මානය කිරීම තුළින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයාගත හැකි අතර, ඒ ඒ පළාත්වල ජනතාවට සෑම ක්‍රමයකින්ම නීත්‍යානුකූලව මුදල් උපයා ගැනීමට හැකියාව ඇත.
වෙරළ පාරිසරික කළමනාකරණය තුළින් කළමනාකරණ කමිටු පිහිටුවීම, වෙරළ මෙහෙයුම්වලට බලපාන නීති රීතිවලට එකඟ වීම, පිරිසිදු වෙරළ, ඇල්ගී, වෘක්ෂලතා මෙන්ම ස්වභාවික සුන්බුන් වෙරළ තීරයේ ප්‍රදර්ශනය කිරීම, සනීපාරක්ෂක පහසුකම් තිබීම, අවශ්‍ය තරමට අපද්‍රව්‍ය බැහැර කිරීමේ බඳුන් රැඳවීම, වැසිකිලි කැසිකිලි නිසි ලෙස පිරිසිදු කිරීම, අනවසර කඳවුරු, රිය පැදවීම, බල්ලන් සහ ගෘහාශිත සතුන් ඇතුළත් කිරීම් නොකිරීම, වෙරළ සහ වෙරළ උපකරණ නිසි ලෙස නඩත්තු කිරීම, තිරසාර ස්ථීර ප්‍රවාහන ක්‍රමද මෙම සහතිකය ලබා ගැනීමට වැදගත් වේ.
විශේෂයෙන්ම මෙම නිල් ධජ (Blue Flag) සහතිකය ලබා ගැනීම තුළින් රටේ සංවර්ධන ක්‍රියාවලිය නිම කළ නොහැකි තරමට ශක්තිමත් වේ. ඒ සමග මෙම සහතිකය ලබා ගැනීම සඳහා මහජන ආරක්ෂණ පියවර ගැනීම, වෙරළේ ප්‍රථමාධාර උපකරණ ස්ථාපනය කිරීම, දූෂණ සහ අපරාධ අවම කලාපයක් බිහි කිරීම, නිසි ලෙස පිරිසිදු පානීය ජලය පහසුකම් හා ශාරීරික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා සියලුම පහසුකම් සැලසීම, ශාරීරික ආබාධිත ඇති අය සඳහා සියලු පහසුකම් සැපයීම ද සිදු කළ යුතු වේ.


