AgriGreen Initiative සඳහා යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 8 ක ප්‍රදානයක්

AgriGreen Initiative සඳහා යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 8 ක ප්‍රදානයක්
  • SocialShare:

“කෘෂි හරිත මුලපිරීම (AgriGreen Initiative) – තිරසාර කෘෂිකර්ම පිළිවෙත් තුළින් හරිත ආර්ථික වර්ධනය” ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් නව ව්‍යාපෘතියක් සඳහා යුරෝපා සංගමය විසින් යුරෝ මිලියන 8 ක ප්‍රදානයක් ලබා දීමට එකඟ වී ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රදාන ගිවිසුම ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය (EU) අතර නිල වශයෙන් අත්සන් කර හුවමාරු කර ගන්නා ලදී.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ යුරෝපා සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ සහයෝගීතා ප්‍රධානී ආචාර්ය Johann H. Hesse මහතා  මෙම ප්‍රදාන ගිවිසුමට අත්සන් තැබීය.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය සහ යුරෝපා සංගමය සමඟ ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

තිරසාර පරිභෝජන හා නිෂ්පාදන පිළිවෙත් ප්‍රවර්ධනය කරමින් ආහාර සුරක්ෂිතතාව සහතික කරන හරිත ආර්ථික වර්ධනයක් කරා රට පරිවර්තනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

එමෙන්ම, තරුණයින් සහ කාන්තාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් රබර් අංශයේ තෝරාගත් නිෂ්පාදන දාමයන් තුළ වඩාත් තිරසාර හා පාරිසරික වශයෙන් වටිනා කෘෂිකාර්මික පිළිවෙත් වෙත මාරුවීම උත්ප්‍රේරණය කිරීමද මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරයි.

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා, යුරෝපා සංගමය විසින් ලබා දෙන වටිනා සහයෝගය පිළිබඳ අවංක කෘතඥතාව පළ කළ අතර, මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයට සෘජුවම අනුකූල වන බව අවධාරණය කළේය.

තවද, වෙළඳපොළ කේන්ද්‍ර කරගත් අගය එකතු කිරීම, අපනයන වෙළඳපොළ පුළුල් කිරීම සහ ඒකාබද්ධතාවය වැඩිදියුණු කිරීමේ ජාතික ප්‍රයත්නයන්ට මෙම ව්‍යාපෘතිය වැදගත් දායකත්වයක් ලබා දෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.

මෙම ගිවිසුම ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින ශක්තිමත් සහ අඛණ්ඩ හවුල්කාරිත්වයට සාක්ෂියක් වන අතර, පාරිසරික තිරසාරභාවය, සමස්ත වර්ධනය සහ දිගුකාලීන ආර්ථික ප්‍රත්‍යස්ථතාවය සඳහා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.