නඩු භාණ්ඩ ඉවත් කිරීමෙන් රජයට රු. මිලියන 952ක ආදායමක්

නඩු භාණ්ඩ ඉවත් කිරීමෙන් රජයට රු. මිලියන 952ක ආදායමක්
  • SocialShare:

ශ්‍රී ලංකාව පුරා අධිකරණවල සුරක්ෂිතව තබා තිබූ දිගුකාලීන නඩු භාණ්ඩ ඉවත් කිරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 952ක ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පවසයි.

එසේම 2025 වසරේදී පමණක් මෙම නඩු භාණ්ඩ ඉවත් කිරීම මගින් රු. 952,896,911.74ක ආදායමක් රජයට ලැබී ඇති අතර, දඩ, මුද්‍රා ගාස්තු සහ අනෙකුත් ආදායම් සමඟ එකතුව අධිකරණ මගින් උපයා ඇති මුළු ආදායම රු. බිලියන 6.57ක් වේ.
ඒ අනුව අගවිනිසුරු පී. පද්මන් සුරසේන මහතාගේ මගපෙන්වීම යටතේ අධිකරණ සේවා කොමිෂන් සභාව මෙම නඩු භාණ්ඩ කඩිනමින් ඉවත් කිරීම සඳහා Clean Sri Lanka” වැඩසටහන සමඟ එක්ව විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා අධිකරණ අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුලු පාර්ශව රැසක් සහභාගී වි තිබේ.
වසර ගණනාවක සිට මහේස්ත්‍රාත් හා මහාධිකරණවල වාහන, දැව, වැලි, කාර්යාල උපකරණ, අවි, පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ඇතුලු විවිධ භාණ්ඩ විශාල ප්‍රමාණයක් සමුච්චිතව තිබූ අතර එය ඉඩ පහසුකම්, ආරක්ෂාව සහ කළමනාකරණයට දැඩි අභියෝගයක් වී ඇත.
මෙම තත්ත්වය ආර්ථික වශයෙන්ද බලපෑම් ඇති කළ අතර, අත්අඩංගුවට ගෙන ඇති වාහන බොහෝමයක් අධිකරණ භූමියේ භාවිත නොකර පැවතීමෙන් විනාශයට පත්ව තිබේ.
මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව හා පාරදෘශ්‍යතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.