රාජ්‍ය ඔසුසල 65 වන ශාඛාව හෙට නාරාහේන්පිටදී විවිෘත කෙරේ

රාජ්‍ය ඔසුසල 65 වන ශාඛාව හෙට නාරාහේන්පිටදී විවිෘත කෙරේ
  • SocialShare:

ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරි ව  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල - නාරාහේන්පිට  ශාඛාව අංක 209, කිරුල පාර, නාරාහේන්පිට, ස්ථානයේ දී හෙට (26)  පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ජනතා අවශ්‍යතාවය පරිදි දිවයින පුරා රාජ්‍ය ඔසුසල් ශාඛා ස්ථාපිත කිරීමේ විශේෂ වැඩපිළිවෙළට සමගාමී ව මෙම ඔසුසල ස්ථාපිත කරන ලදි.

මෙම රාජ්‍ය ඔසුසල ශාඛාව මගින් ද පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට මිල දී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන්, වයස අවුරුදු 05 ට අඩු දරුවන් සදහා සහ  “රණවිරු විරුසර” කාඩ්පත් හිමියන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිත ව ඖෂධ නිකුත් කිරීම ට නියමිතය.  

නවීන තාක්‍ෂණ උපකරණ යොදා ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තත්ත්ව රසායනාගායේ දී අවස්ථා හතරක දී ම පරීක්ෂාවට ලක්කීරීමෙන් පසු ඖෂධ වෙළෙපොළට යොමු කරන බැවින් ජනතාවට විශ්වාසයෙන් යුතුව ඖෂධ ලබාගැනීමට මෙම ශාඛාවෙන් අවස්ථාව ලැබෙනු ඇත.

ශ්‍රී ලාංකීය ජනතාවට උසස් තත්වයෙන් යුත් ප්‍රත්‍යක්ෂ ඖෂධ සාධාරණ මිලට ලබාදීමේ ප්‍රමුඛ අරමුණින් මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින්  1971 වර්ෂයේ දී ආරම්භ කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වසර 53කට අධික කාලයක් මෙරට ජනතාවට ගුණාත්මක ඖෂධ සාධාරණ මිලට සැපයීම සිදුකරයි.