පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් 4 දෙනෙක් සාක්ෂි ලබාදීම ඊයේ (24) සිදු විය.
වගඋත්තරකාර පොලිස්පතිවරයාද ඇතුළුව ඔහුගේ සාක්ෂි ලැයිතුවේ සාක්ෂිකරුවන් 15 දෙනෙකු සාක්ෂි ලබාදීමට නියමිත අතර ඊයේ (23) දින වගඋත්තරකාර පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදීම සිදුවිය. එසේම අද දින සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවන් සිව්දෙනාද ඇතුළුව මේ වන විට වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ සාක්ෂි ලැයිතුවේ සාක්ෂිකරුවන් 5 දෙනෙකු සාක්ෂි ලබාදී අවසන් ය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් කමිටුව අද පෙ.ව. 9.30 රැස්වූ අතර ප.ව. 8.10 දක්වා සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීම සිදු විය.
එසේම වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ සාක්ෂි ලැයිස්තුවේ ඉතිරි සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලබාගැනීම සඳහා පරීක්ෂණ කමිටුව අද (25) පෙ.ව 9.30 ට රැස්වීමට නියමිතය.


