රාජ්‍ය ඔසුසල් ජාලයේ 64 වන රාජ්‍ය ඔසුසල් ශාඛාව කිරිබත්ගොඩ දී විවෘත කෙරේ

රාජ්‍ය ඔසුසල් ජාලයේ 64 වන රාජ්‍ය ඔසුසල් ශාඛාව කිරිබත්ගොඩ දී විවෘත කෙරේ
  • SocialShare:

ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරි ව  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC)  රාජ්‍ය ඔසුසල - කිරිබත්ගොඩ ශාඛාව පසුගියදා රාජ්‍ය ඖෂධ නීතිගත  සංස්ථාවේ සභාපති වෛද්‍ය මනූජ් සී. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසල් ජාලයේ 64 වන නව රාජ්‍ය ඔසුසල් ශාඛාව මෙය වන අතර අංක 163, නුවර පාර, කිරිබත්ගොඩ යන ස්ථානයේ මෙම ඔසුසල ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබුණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත ජනතා අවශ්‍යතාවය පරිදි දිවයින පුරා රාජ්‍ය ඔසුසල් ශාඛා ස්ථාපිත කිරීමේ විශේෂ වැඩපිළිවෙළට සමගාමී ව මෙම ඔසුසල ස්ථාපිත කරන ලදී.

මෙම රාජ්‍ය ඔසුසල ශාඛාව මගින් ද පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට මිල දී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන්, වයස අවුරුදු 05 ට අඩු දරුවන් සදහා සහ  “රණවිරු විරුසර” කාඩ්පත් හිමියන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිත ව ඖෂධ නිකුත් කිරීම ද විශේෂත්වයකි.

නවීන තාක්‍ෂණ උපකරණ යොදා ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තත්ත්ව රසායනාගායේ දී අවස්ථා හතරක දී ම පරීක්ෂාවට ලක්කීරීමෙන් පසු ඖෂධ වෙළෙපොළට යොමු කරන බැවින් ජනතාවට විශ්වාසයෙන් යුතුව ඖෂධ ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලාංකීය ජනතාවට උසස් තත්වයෙන් යුත් ප්‍රත්‍යක්ෂ ඖෂධ සාධාරණ මිලට ලබාදීමේ ප්‍රමුඛ අරමුණින් මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින්  1971 වර්ෂයේ දී ආරම්භ කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වසර 53කට අධික කාලයක් මෙරට ජනතාවට ගුණාත්මක ඖෂධ සාධාරණ මිලට සැපයීම සිදුකරයි.

මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත  සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ මෙවන් සම්පත් සුභසිංහාඅරච්චි මහතා ඇතුළු ව රාජ්‍ය ඖෂධ නීතිගත  සංස්ථාවේ නිලධාරීන්, සේවකයින්, කිරිබත්ගොඩ ප්‍රදේශයේ වෙළද ව්‍යාපාරකයින් ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.