ශ්‍රී ලංකාව සෑම විටම මධ්‍යස්ථව සහ ජාත්‍යන්තර නීතියට අනුකූලව කටයුතු කරන බවත් ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දෙන නිරන්තර සහය පිළිබඳව කෘතඥ වන බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් එස්. පෝල් කපූර් මහතා සමඟ අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙම සාකච්ඡාව අතරතුර, විශේෂයෙන් මැදපෙරදිග පැවැති යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීමට ලබා දුන් සහය පිළිබඳව අමාත්‍යවරයා ස්තුතිය පළ කළ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට ප්‍රදානය කරන ලද මුහුදු යාත්‍රා සහ ගුවන් යානා වෙනුවෙන් ද රජයේ කෘතඥතාව පිරිනැමීය.
ශ්‍රී ලංකාවේ ආරක්ෂිත හා ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය වී ඇති බැවින් ඇමෙරිකානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු සඳහා ආරාධනා කරන බව සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජය උනන්දුවෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා පෝල් කපූර් මහතා වෙත වැඩිදුරටත් දැන්වූවේ ය.
එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් එස්. පෝල් කපූර් මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර පවතින සබඳතාව ඉහළින්ම අගය කරන බවයි. එමෙන් ම මෙම හමුව අතරතුර දී වර්තමානයේ ආරම්භ වී ඇති ඇමෙරිකා - ඉරාන ගිවිසුම පිළිබඳව ද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වූ අතර, එම ගිවිසුමේ සාර්ථකත්වය වෙනුවෙන් අමත්‍යවරයා සිය සුබපැතුම් එක් කළේ ය. එමෙන් ම එළඹෙන ජුලි 04 වන දින සැමරීමට නියමිත 250 වන ඇමරිකානු නිදහස් සැමරුම වෙනුවෙන් ද ඇමරිකා එක්සත් ජනපදයට සහ එරට වැසියන්ට අමත්‍යවරයා සුබපැතුම් ඒක් කර තිබේ.


