ඩෙංගු උවදුර මර්දනයට 'ප්‍රජා ශක්ති' ජාතික ව්‍යාපාරය රට පුරා දැවැන්ත ක්‍රියාන්විතයක් අරඹයි

ඩෙංගු උවදුර මර්දනයට 'ප්‍රජා ශක්ති' ජාතික ව්‍යාපාරය රට පුරා දැවැන්ත ක්‍රියාන්විතයක් අරඹයි
  • SocialShare:

දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය මර්දනය කිරීමේ අරමුණින් ඩෙංගු මර්දන ක්‍රියාකාරකම් අද (22) සිට ජූනි 26 දක්වා දිවයින පුරා ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ප්‍රජා සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ සඳහා අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ උපදෙස් පරිදි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය  විශේෂ වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇත.

මෙම වැඩපිළිවෙල යටතේ දිවයිනේ සියලු ප්‍රජා සංවර්ධන සභා (CDC) රැස් කරමින් වත්මන් ඩෙංගු අවදානම පිළිබඳ දැනුවත් කිරීම සහ ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් මර්දන සැලසුම් සකස් කිරීම සිදු කර ඇත. ඒ සඳහා අවශ්‍ය තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) කාර්යාල මගින් ලබා ගැනීමට ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන් කටයුතු කර තිබේ.

මෙහිදී පාසල්, පෙර පාසල්, ආගමික ස්ථාන, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන සංවිධානය කෙරේ. මාර්ග දෙපස, වැව්, ඇළ දොළ සහ වෙරළාසන්න ප්‍රදේශවල පිරිසිදු කිරීමත්, ජලය රැස්වන ප්ලාස්ටික්, ටින් හා පොලිතීන් වැනි අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමත් වැඩසටහනට ඇතුළත් වේ.

පෞද්ගලික නිවාස හා ගෙවතු තුළ ටයර්, පොල්කටු, බඳුන්, වැහිපිළි හා ශීතකරණ ජල තැටි වැනි මදුරු බෝවිය හැකි ස්ථාන සතියකට වරක් විනාඩි 30ක් වෙන් කර පරීක්ෂා කර පිරිසිදු කරන ලෙස ජනතාව දැනුවත් කෙරේ.

අධි අවදානම් කලාපවලට ප්‍රමුඛතාවය ලබා දෙන අතර පළාත් පාලන ආයතන, සෞඛ්‍ය අංශ, පොලීසිය සහ ක්ෂේත්‍ර නිලධාරීන් එක්ව ඒකාබද්ධ ශ්‍රමදාන, දැනුවත් කිරීමේ වැඩසටහන් සහ අත්පත්‍රිකා බෙදාහැරීම්ද සිදු කිරීමට නියමිතය.

මෙම වැඩසටහන ප්‍රජා සංවර්ධන සභා මසකට වරක් ක්‍රියාත්මක කළ යුතු පොදු ක්‍රියාකාරකම්වලින් එකක් ලෙස සැලකෙන අතර එහි ප්‍රගතිය ඡායාරූප මගින් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත යොමු කරන ලෙසද උපදෙස් ලබාදී ඇත.

රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දියත් කෙරෙන මෙම ජාතික කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා සමස්ත මහජනතාවගේ සක්‍රීය කැපවීම සහ සහයෝගය අමාත්‍යාංශය අපේක්ෂා කරයි.