රත්මලාන නව දුම්රිය වැඩ අංගනයට දොඹකර පද්ධති පහක් ආනයනය කෙරේ

රත්මලාන නව දුම්රිය වැඩ අංගනයට දොඹකර පද්ධති පහක් ආනයනය කෙරේ
  • SocialShare:

ආසියානු සංවර්ධන බැංකු ආධාර මත ක්‍රියාත්මක කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ රත්මලාන දුම්රිය අංගනයේ අලුතින් ඉදිකරනු ලබන කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය දොඹකර පද්ධති (Crane) පහක් මෙරටට ආනයකය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා දුම්රිය සේවාවේ නඩත්තු ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් රත්මලානේ ඉදිකෙරෙමින් පවතින නව දුම්රිය වැඩබිම (Workshop) සඳහා අවශ්‍ය ප්‍රධාන දොඹකර පද්ධති (Crane) පින්ලන්ත රජයෙන් ආනයනය කර ඇති අතර, ඒ වෙනුවෙන් වැයකර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් 1,352,342.73 කි.

මෙම දොඹකර පද්ධති ටොන් 50ක ධාරිතාවයකින් යුත් Electrically Operated Double Girder Overhead Travelling Cranes දෙකක්, එන්ජින් සහ බොගි එසවීම සඳහා ටොන් 15ක ධාරිතාවයකින් යුත් Crane දෙකක් සහ ටොන් 10ක ධාරිතාවයකින් යුත් Crane එකකින් සමන්විතය. අදාළ උපකරණ සවිකිරීමෙන් අනතුරුව රත්මලාන නව වැඩබිම තුළ දුම්රිය එන්ජින් නඩත්තු කටයුතු මෙම වසර තුළම ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මෙම පද්ධති ස්ථාපිත කිරීමත් සමග දුම්රිය එන්ජින් සහ බොගි නඩත්තු කිරීමේ කාලය අවම කරමින් සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හැකි වනු ඇති අතර, රත්මලාන නව දුම්රිය වැඩබිම, ශ්‍රී ලංකා දුම්රිය සේවාවේ නවීකරණ ව්‍යාපෘතියේ වැදගත් සංරචකයක් වනු ඇත.

ශ්‍රී ලංකා දුම්රිය ප්‍රවාහන සේවාවේ විශ්වසනීයත්වය සහ තිරසර ක්‍රියාකාරීත්වය වඩාත් ශක්තිමත් කිරීම සඳහා මෙම ආයෝජනය ප්‍රබල දායකත්වයක් ලබාදෙනු ඇත.